Skip to content

පටුනට යන්න

සියලු දේ අභිභවා යන ප්‍රේමය

සියලු දේ අභිභවා යන ප්‍රේමය

සියලු දේ අභිභවා යන ප්‍රේමය

“ඉතිහාසයේ ප්‍රථම වතාවට අලුත් ආගමික කණ්ඩායමක් බිහි වුණා. ඔවුන් ජාති කුලමල භේදයකින් තොරව තම කැමැත්තෙන්ම සේවය කිරීමට ඉදිරිපත් වූ පිරිසක්. ඔවුන් සියලුදෙනාම එකා මෙන් දෙවි ඉදිරියේ සේවය කරනවා” යැයි එක් පොතක සඳහන් වුණා.—A History of Christianity.

සැබෑ ක්‍රිස්තියානි ආගම රෝම අධිරාජ්‍යය පුරා පැතිරී යන විට එම ආගමේ යම් වෙනසක් තිබෙන බව ජනයා දුටුවා. ඔවුන් දුටුවේ ලොව වටා සිටින විවිධ ජාතීන්ට අයත් මනුෂ්‍යයන් සාමයෙන් හා එක්සත්කමින් ජීවත් වීමට ඉගෙනගෙන ඇති ආකාරයයි. එම ආගම අදහන අයගේ එක්සත්කමට රහස ඔවුන් තුළ තිබූ අවංක ප්‍රේමයයි. එය හුදු හැඟීම් නිසා ඇති වූ ප්‍රේමයක් නොව දෙවි විසින් උගන්වන ලද ප්‍රතිපත්ති මත ඇති වූ ප්‍රේමයක්.

එම ප්‍රතිපත්ති යේසුස් ක්‍රිස්තුස් විසින් උගන්වනු ලැබුවා පමණක් නොව ක්‍රියාවෙන්ද පෙන්නුවා. ඔහු වෛරයට හා මිනිසුන් විසින් ඔහුව පහත් කර සැලකූ අවස්ථාවේදී එම ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කළා. (1 පේතෘස් 2:21-23) ගලීල වැසියන් බොහෝවිට ගොවිතැන් හා ධීවර කර්මාන්තයේ නියැලුණු අයයි. ඒ නිසා යෙරුසලමේ යුදෙව් ආගමික නායකයන් එම වැසියන්ව පහත් කොට සැලකුවා. යේසුස්ද ගලීල වැසියෙක් වූ නිසා ඔවුන් ඔහුවද සැලකුවේ ඒ ආකාරයටයි. (යොහන් 7:45-52.) නමුත් යේසුස් දක්ෂ ගුරුවරයෙක් වූ නිසා පොදු ජනයා ඔහුව සැලකුවේ මහත් ගෞරවයෙන්. මෙය ආගමික නායකයන් තුළ ඊර්ෂ්‍යාවක් ඇති කළ අතර ඔහු ගැන බොරු පැතිරවීමටත් අවසානයේදී ඔහුව මරණයට පත් කිරීමටත් ඔවුන් මං සෙව්වා.—මාක් 15:9, 10; යොහන් 9:16, 22; 11:45-53.

නමුත් යේසුස් “නපුරට නපුර” කළේ නැහැ. (රෝම 12:17) එම ආගමික නායකයන්ගෙන් කෙනෙක් යේසුස්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසූ විට යේසුස් ඊට කාරුණිකව පිළිතුරු දුන්නා. (යොහන් 3:1-21) තමා ගැන වැරදි ආකල්පයක් තිබූ ආගමික නායකයෙකුගේ නිවසට පවා ගොස් යේසුස් ඔහු සමඟ ආහාර වේලක් ගත්තා. එම පුද්ගලයාට යේසුස් ගැන වැරදි ආකල්පයක් තිබූ බව අප දන්නේ කොහොමද? පුරාණයේදී නිවසට පැමිණෙන අමුත්තෙකුගේ පාද සේදීම සාමාන්‍ය සිරිතක්. නමුත් එම තැනැත්තා යේසුස්ගේ පාද සේදුවේ නැහැ. ඒ ගැන කෝප නොවූ යේසුස් ඔහුට දයානුකම්පාව හා සමාව දීමේ ඇති වටිනාකම ගැන ඉගැන්නුවා.—ලූක් 7:36-50; 11:37.

යේසුස් කිසිවෙකුව පහත් කළේ නැහැ

යහපත් සමරිතානුවරයාගේ උපමාව යේසුස් පැවසූ ප්‍රසිද්ධ උපමාවලින් එකක්. සොර සතුරන්ගේ ප්‍රහාරයට ලක් වූ යුදෙව් ජාතිකයෙකුව සමරිතානු ජාතිකයෙකු විසින් ඔහුගේම වියදමින් ඇප උපස්ථාන කරන ආකාරය එහි සඳහන් වෙනවා. (ලූක් 10:30-37) සමරිතානුවරයාගේ එම ක්‍රියාව එතරම් සුවිශේෂි එකක් වන්නේ මන්ද? යුදෙව්වන් හා සමරිතානුවන් අතර මිත්‍රත්වයක් තිබුණේ නැහැ. ඔවුන් කෙනෙකුව පහත් කොට සැලකීමට ‘සමරිතානුවා’ යන යෙදුම භාවිත කළා. යේසුස්ව පහත් කොට සැලකීමටද පරිසිවරුන් යොදාගත්තේ සමරිතානුවා යන යෙදුමයි. (යොහන් 8:48) එවැනි තත්වයක් තිබියදී සියලු අසල්වැසියන්ට එක හා සමානව සැලකීමේ ඇති වැදගත්කම කාවැද්දීමට යේසුස්ට ඊට වඩා උචිත උපමාවක් තවත් තිබුණේ නැහැ.

සැමට එක හා සමානව සැලකීම ගැන යේසුස් කතා කළා පමණක් නොව තම ක්‍රියාවෙන්ද එය කර පෙන්වූවා. උදාහරණයකට ඔහු සමරිතානු ලාදුරු රෝගියෙකුවද සුව කළා. (ලූක් 17:11-19) තමාට සවන් දීමට කැමති වූ සමරිතානුවන්ට යේසුස් ඉගැන්වූවා පමණක් නොව එම ජාතියේ ස්ත්‍රියක් සමඟ දීර්ඝ සාකච්ඡාවක්ද කළා. එයද සුවිශේෂි දෙයක්. (යොහන් 4:7-30, 39-42) මන්ද යුදෙව් නායකයෝ කිසිම ස්ත්‍රියක් සමඟ එනම් තමන්ගේම ඥාති ස්ත්‍රියක් සමඟවත් ප්‍රසිද්ධියේ කතා කළේ නැහැ.

කෙනෙකු තුළ අන් අයව පහත් කොට සැලකීමේ නැඹුරුවාවක් තිබුණත් ඔහු එම ආකල්පය ඉවත් කිරීමට වෑයමක් දරනවා නම් දෙවි එවැනි කෙනෙකුව සලකන්නේ කෙසේද? මේ සම්බන්ධයෙන් බයිබලයේ දී තිබෙන සැනසීම ගෙන දෙන මඟ පෙන්වීම් දැන් අපි සලකා බලමු.

දෙවි ඉවසිලිවන්තයි

යුදෙව්වන් අන් අයව පහත් කොට සැලකූ අතර පළමු ශත වර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් බවට පත් වූ බොහෝ අය අතරද ඒ ආකල්පයම තිබුණා. ඒ නිසා අලුතින් ක්‍රිස්තියානීන් බවට පත් වූ යුදෙව් නොවන අය කෙරෙහිද ඔවුන් එම ආකල්පය පෙන්වන්න පටන්ගත්තා. යෙහෝවා දෙවි මෙම ගැටලුවට විසඳුමක් ලබා දුන්නේ කෙසේද? ඉවසිලිවන්තව ක්‍රිස්තියානි සභාවට ඉගැන්වීමෙනුයි. (ක්‍රියා 15:1-5) දෙවි ඉවසිලිවන්තව ක්‍රියා කළ නිසා මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආකාරයට ‘ජාති කුලමල භේද තුරන් වී’ “සභාවන් දිගටම ඇදහිල්ලේ ස්ථිර වන්නත් දිනෙන් දින ගණනින් වැඩි වන්නත්” පටන්ගත්තා.—ක්‍රියා 16:5.

අපට මෙයින් ඉගෙනගත හැකි පාඩම කුමක්ද? අධෛර්ය නොවී ප්‍රඥාව හා ගුණ යහපත්කම වර්ධනය කරගැනීමට බලය ලබා දෙන මෙන් දෙවිට “ඇදහිල්ලෙන්” යාච්ඤා කළ යුතු බවයි. (යාකොබ් 1:5, 6) මෙම ලිපි මාලාවේ පළමු ලිපියේ සඳහන් කළ ජෙනිෆර්, තිමති, ජෝන් සහ ඔල්ගා ඔබට මතකද? ජෙනිෆර් පාසැල් යන කාලයේදී ක්‍රිස්තියානියෙකුට තිබිය යුතු හොඳ ගුණාංග ඇය වර්ධනය කරගෙන තිබුණා. ඇගේ ජාතිය හා ඇගේ පෙනුම ගැන අන් අය උසුළු විසුළු කරද්දී ඇය ඒවා ගණන් නොගෙන සිටීමට පුරුදු වුණා. එමෙන්ම පන්තියේ වෙනත් ළමයෙකුට විහිළු තහළු කරද්දී ඒ කෙනා වෙනුවෙන් කතා කිරීමටත් ඇයව සැනසීමටත් ජෙනිෆර් ඉදිරිපත් වුණා.

තිමතිගේ පන්තියේ ළමයි ඔහුගේ ජාතිය පහත් කරමින් කතා කරද්දී ඔහු ඉවසීමෙන් කටයුතු කළා. ඒ ගැන ඔහු මෙසේ පවසනවා. “මම හැමතිස්සේම සැලකිලිමත් වුණේ දෙවිගේ නාමයට අගෞරවයක් නොවන ආකාරයට කටයුතු කරන්නයි. ඒ වගේම ‘දිගටම යහපතෙන් නපුර පරාජය කරන්නත්’ නපුරට ඉඩ නොදීමටත් අපි වග බලා ගන්න ඕනේ.”—රෝම 12:21.

හව්සා ජාතික මිතුරාව පහත් කොට සැලකූ ජෝන්ද තම ආකල්ප වෙනස් කරගත්තා. ඔහු මෙවැනි දෙයක් පවසනවා. “පාසැල් යන කාලයේ මට හව්සා ජාතික යාළුවෝ කිහිපදෙනෙක්ම හිටියා. දවසක් මම එක යාළුවෙක් එක්ක එකතු වෙලා පාසැලේ පැවරුමක් කළා. ඒ කාලයේදී අපි දෙන්නා හොඳ යාළුවන් වුණා. දැන් මම අනික් අය දෙස බලන්නේ ඔවුන්ගේ ජාතිය හෝ වර්ගය අනුව නොවෙයි. එක් එක් පුද්ගලයන් හැටියටයි.”

ඔල්ගා හා ඇය සමඟ ගිය ඇගේ මිතුරිය විරුද්ධවාදිකම් ඉවසමින් නොසැලී සිටියේ කවුරුන් හෝ බයිබල් පණිවිඩයට ඇහුම්කන් දෙයි යන බලාපොරොත්තුවෙනුයි. ඔවුන් සිතූ ලෙසම බොහෝදෙනෙකුගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ ගැන ඔල්ගා මෙහෙම කිව්වා. “අවුරුදු 50කට විතර පස්සේ එක් කෙනෙක් මට ලස්සන පුංචි මල්ලක් දුන්නා. ඒ මල්ල ඇතුළේ තිබුණ පුංචි පුංචි ගල්වල ක්‍රිස්තියානියෙකු තුළ තිබිය යුතු ගුණාංග වන ප්‍රේමය, යහපත්කම, කරුණාවන්තකම, සමාදානය වැනි වචන කොටලා තිබුණා. ඔහු මට ඒ මල්ල දීලා කිව්වා ‘එදා ඔයාලට ගල් ගහපු පිරිමි ළමයි එක්ක මමත් හිටියා’ කියලා. ඔහු දැන් ක්‍රිස්තියානි සහෝදරයෙක්. ඔහුයි ඔහුගේ භාර්යාවයි ඒ මල්ලත් එක්ක සුදු රෝස මල් 24ක් මට දුන්නා.”

කිසිදා කිසිවෙකුව පහත් නොකරන කාලයක්

කිසිවෙකු අන් අයව පහත් කොට නොසලකන කාලයක් ළඟදීම පැමිණෙනවා. ඒ කෙසේදයත් ‘මතුපිටින් දකින දේ අනුව විනිශ්චය නොකරන’ යේසුස් ක්‍රිස්තුස් මේ පොළොවේ පාලකයා වීමට නියමිත නිසයි. (යෙසායා 11:1-5NW) එමෙන්ම මේ පොළොවේ වාසය කරන වැසියන් යේසුස් හා යෙහෝවා දෙවි විසින් උගන්වන ලබන නිසා ඔවුන් තුළ තිබෙන්නේද යේසුස් තුළ ඇති ආකල්පයමයි.—යෙසායා 11:9.

එවැනි ඉගැන්වීම් තුළින් ඔහුගේ සෙනඟව අලුත් සමාජයක ජීවත් වීම සඳහා දැන් සිටම සුදානම් කරමින් සිටිනවා. නිවාස බයිබල් පාඩම් තුළින් නොමිලේ ලබා දෙන මෙම අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලැබීමට ඔබටත් හැකියි. * දෙවි තරාතිරම් බලන්නේ නැහැ. ඔහුගේ කැමැත්ත නම් “සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය.”—1 තිමෝති 2:3, 4.

[පාදසටහන]

^ 18 ඡේ. නොමිලේ පවත්වන බයිබල් පාඩමකින් ප්‍රයෝජන ලබන්න ඔබත් කැමති නම් ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වන්න. එසේත් නැත්නම් මෙම සඟරාවේ 5වෙනි පිටුවේ ඇති ලිපිනයකට ලියන්න.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මනුෂ්‍යයන්ව පහත් කර සැලකීමේ ආකල්පය සම්පූර්ණයෙන්ම තුරන් වී යනවා

[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දෙවිගේ ප්‍රතිපත්ති

‘කිසි කෙනෙකුට නපුරට නපුර නොකරන්න. දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න.’ (රෝම 12:17-21) මෙයින් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? අන් අය අපට නපුරු දේවල් කළත් අපට හැකියි ඔවුන්ට යහපත් දේ කරන්න. ‘ඔවුහු කිසි හේතුවක් නැතිව මට වෛර කළා’ කියා යේසුස් පැවසුවා. ඒත් ඔහු නම් ඔවුන්ට එසේ සැලකුවේ නැහැ.—යොහන් 15:25.

‘අපි හිස උදුම්මා නොගනිමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.’ (ගලාති 5:26) ඊර්ෂ්‍යා කිරීම හා හිස උදුම්මා ගැනීම වැනි නරක ගුණාංග නිසා දෙවි හා අප අතර තිබෙන මිත්‍රත්වය පළුදු වෙයි. එමෙන්ම අන් අයට වෛර කිරීමටත් අන් අයව පහත් කර සැලකීමටත් හේතු වෙයි.—මාක් 7:20-23.

“අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.” (මතෙව් 7:12) මේ ගැන සිතන්න. ‘අන් අයමට සලකනවාට මම කැමති කොහොමද?’ ඔබත් අන් අයගේ වයස, ජාතිය, සමේ වර්ණය, භාෂාව හා සංස්කෘතිය කුමක් වුණත් සියල්ලන්ටම එක හා සමානව සලකන්න.

“ක්‍රිස්තුස් අපව පිළිගත් ලෙසම, දෙවිගේ තේජස පිණිස එකිනෙකාව පිළිගන්න.” (රෝම 15:7) විවිධ පසුබිම් හා සංස්කෘතීන්වලට අයත් අයව විශේෂයෙන්ම දෙවිගේ සේවකයන්ව දැන හඳුනා ගැනීමට ඔබ වෑයම් කරනවාද?—2 කොරින්ති 6:11.

“මාගේ පියා හෝ මව හෝ මාව අත්හැරියත් යෙහෝවා දෙවි වන ඔබ මාව භාරගනු ඇත.” (ගීතාවලිය 27:10NW) අන් අය ඔබට කෙසේ සැලකුවත් ඔබ දෙවිට විශ්වාසන්තව සිටිනතාක් කල් දෙවි ඔබව අත් හරින්නේ නැහැ.

[7වන පිටුවේ පින්තූරය]

මංකොල්ලකරුවන්ට හසු වූ යුදෙව්වෙකුට සමරිතානුවරයෙකු උපකාර කරයි