Skip to content

පටුනට යන්න

ඇයි මේ තරම් බයිබල් පරිවර්තන?

ඇයි මේ තරම් බයිබල් පරිවර්තන?

මේ වෙද්දී බයිබලයේ විවිධ සංශෝධන නැත්නම් විවිධ පරිවර්තන වැඩි ගණනක් තියෙන්නේ ඇයි? බයිබලය හොඳින් තේරුම්ගන්න ඒවා උදව් වෙනවාද? නැත්නම් බාධාවක් වෙලාද? ඒවාට උත්තර දැනගන්න ඒ බයිබල් පරිවර්තනය කළේ කවුද කියලත් ඒවා පරිවර්තනය කළේ ඇයි කියලත් අපි බලමු.

බයිබලය මුලින්ම ලිව්වේ කොයි කාලයේදීද, ඒවා ලිව්වේ කවුද කියලා අපි මුලින්ම බලමු.

මුල් බයිබලය

බයිබලයේ කොටස් දෙකක් තියෙනවා. “දෙවිගේ පරිශුද්ධ ප්‍රකාශයන්” ඇතුළත් මුල් කොටසේ තියෙන්නේ පොත් 39යි. (රෝම 3:2) දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියවුණු ඒ කොටස ලියන්න පටන් අරන් තියෙන්නේ ක්‍රි.පූ. 1513දී. ලියලා ඉවර කරලා තියෙන්නේ ක්‍රි.පූ. 443දී. පරණ ගිවිසුම විදිහටත් හඳුන්වන ඒ කොටසට අයිති පොත් වැඩි හරියක් ලියවිලා තියෙන්නේ හෙබ්‍රෙව් භාෂාවෙන් නිසා ඒ කොටස හෙබ්‍රෙව් ලියවිලි විදිහටත් හඳුන්වනවා.

පොත් 27ක් ඇතුළත් දෙවෙනි කොටසෙත් සඳහන් වෙන්නේ “දෙවිගෙන් ලැබුණු පණිවිඩයක්.” (1 තෙසලෝනික 2:13) ක්‍රි.ව. 41 ඉඳන් ක්‍රි.ව. 98 දක්වා කාලයේදී ඒ පොත් ලියන්න දෙවියන් යේසුස්ගේ ගෝලයන්ව පාවිච්චි කළා. අලුත් ගිවිසුම විදිහටත් හඳුන්වන ඒ කොටසේ වැඩි හරියක් පොත් ලියවිලා තියෙන්නේ ග්‍රීක භාෂාවෙන් නිසා ඒක ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ල විදිහටත් හඳුන්වනවා.

ඒ කොටස් දෙකේ පොත් 66 එකතු කරලා තමයි මුල් බයිබලය හදලා තියෙන්නේ. ඒත් තවත් පරිවර්තන ඕනෙ වුණේ ඇයි? හේතු තුනක් බලමු.

  • මිනිසුන්ට තමන්ගේම භාෂාවෙන් බයිබලය කියවන්න උදව්වක් විදිහට.

  • පිටපත්කරුවන් අතින් වුණු වැරදි නිවැරදි කරලා මුල් පිටපත්වල තිබුණු අදහස් ඒ විදිහටම ඇතුළත් කරන්න.

  • භාෂාව අලුත් වෙද්දී අවශ්‍ය සකස් කිරීම් කරන්න.

මුලින්ම හදපු පරිවර්තන දෙකකට ඒ කරුණු තුන බලපෑවේ කොහොමද කියලා දැන් බලමු.

ග්‍රීක “සෙප්ටුඅජින්ට්” පරිවර්තනය

යේසුස් පොළොවට එන්න අවුරුදු 300කට විතර කලින් යුදෙව් ජාතික විශාරදයන් හෙබ්‍රෙව් ලියවිල්ල ග්‍රීක භාෂාවට පරිවර්තනය කළා. ඒක හැඳින්නුවේ ග්‍රීක “සෙප්ටුඅජින්ට්” කියලයි. ඒ පරිවර්තනය ඕන වුණේ ඇයි? ඒ කාලේ හිටිය යුදෙව්වන් අතරින් වැඩිදෙනෙක් කතා කළේ ග්‍රීක භාෂාව. ඒ අයටත් “ශුද්ධ ලියවිල්ල” ගැන හොඳ අවබෝධයක් ලබා දෙන්න උදව්වක් විදිහටයි ඒ පරිවර්තනය මුදා හැරියේ.—2 තිමෝති 3:15.

ග්‍රීක භාෂාව කතා කරපු යුදෙව් ජාතියට අයිති නැති මිලියන ගාණකටත් බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න ඒ පරිවර්තනය උදව් වුණා. විශාරදයෙක් වන ඩබ්ලිව්. එෆ්. හවඩ් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “මුල් සියවසේ මැදභාගයේ ඉඳන් ක්‍රිස්තියානි පල්ලියේ අය ඒ බයිබලය පාවිච්චි කළා. සිනගෝගයක් සිනගෝගයක් ගාණේ ගිහින් ‘යේසුස් තමයි ගැලවුම්කරු’ කියලා ඔප්පු කරන්න එයාලා ඒක පාවිච්චි කළා.” (ක්‍රියා 17:3, 4; 20:20) යුදෙව්වන් හුඟදෙනෙක්ට ‘“සෙප්ටුඅජින්ට්” පරිවර්තනය එපා වෙන්න ඒක හේතුවක් වුණා’ කියලා විශාරදයෙක් වන එෆ්. එෆ්. බෲස් කියලා තියෙනවා.

කාලයත් එක්කම යේසුස්ගේ ගෝලයන්ට ග්‍රීක ලියවිල්ලේ පොත් ලැබුණාට පස්සේ එයාලා ඒවා ග්‍රීක භාෂාවට පරිවර්තනය කරලා තිබුණු හෙබ්‍රෙව් ලියවිල්ලට (“සෙප්ටුඅජින්ට්” පරිවර්තනයට) එකතු කළා. ඒ විදිහට තමයි අද අපි පාවිච්චි කරන සම්පූර්ණ බයිබලය ලැබුණේ.

“ලතින් වල්ගේට්” පරිවර්තනය

විශාරදයෙක් වන ජෙරෝම් අවුරුදු 300කට විතර පස්සේ ලතින් භාෂාවට බයිබලය පරිවර්තනය කළා. ඒක හැඳින්නුවේ “ලතින් වල්ගේට්” කියලා. හැබැයි ඒ වෙනකොටත් ලතින් භාෂාවෙන් බයිබල් තිබුණා. එහෙනම් ජෙරෝම් අලුත් බයිබලයක් සකස් කළේ ඇයි? ඒ ගැන එක විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. “ඒ වෙද්දී තිබුණු බයිබල් පරිවර්තනවල වැරදි අදහස් නිවැරදි කරන්නත් මුල් පිටපත්වල තිබුණේ නැති අදහස් අයින් කරලා මුල් පිටපත්වල තිබුණ අදහස් එකතු කරන්නත්” ජෙරෝම්ට ඕනෙ වුණා.—The International Standard Bible Encyclopedia.

වෙනත් ලතින් බයිබල්වල තිබුණු ගොඩක් වැරදි එයා නිවැරදි කළා. ඒත් ටික කාලෙකට පස්සේ පල්ලියෙන් “ලතින් වල්ගේට්” බයිබලය විතරක් පාවිච්චි කරන්න කියලා නියෝග කළා. ඒ නිසා සියවස් ගාණක්ම මිනිසුන්ට කියවන්න අවසර තිබුණේ ඒ බයිබලය විතරයි. ඒ වෙද්දී ගොඩක් මිනිසුන් ලතින් භාෂාව දැනගෙන හිටියේ නැති නිසා බයිබලය කියවලා තේරුම්ගන්න ඒ අයට බැරි වුණා.

අලුත් බයිබල් පරිවර්තන

ඒ කාලේ ඇතුළත බයිබලය වෙනත් භාෂාවලට පරිවර්තනය වුණා. ක්‍රි.ව. 5වෙනි සියවසේදී පරිවර්තනය කරපු සිරියැක් ‘පෙෂිට්ටා’ ඒ අතරින් එකක්. ඒත් ක්‍රි.ව. 14වෙනි සියවසේදී තමයි වැඩිදෙනෙක්ට කියවලා තේරුම්ගන්න පුළුවන් වෙන විදිහට බයිබලය පරිවර්තන කළේ.

14වෙනි සියවසේදී එංගලන්තයේ හිටපු ජෝන් වයික්ලිෆ් බයිබලය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. ඒ පරිවර්තනය ඕනෙම කෙනෙක්ට කියවලා තේරුම්ගන්න පුළුවන් වුණා. ඊට ටික කාලෙකට පස්සේ යොහානස් ගුටන්බර්ග් පළවෙනි මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කරපු නිසා බයිබල් විශාරදයන්ට පුළුවන් වුණා විවිධ භාෂාවලින් බයිබල් සකස් කරලා යුරෝපය පුරාම ඒවා බෙදාහරින්න.

ඉංග්‍රීසි භාෂාවෙන් වැඩියෙන් බයිබල් පරිවර්තනය වෙන්න පටන්ගත්තාම සමහරු ඒ ගැන ප්‍රශ්න කළා. පූජකයෙක් වුණු ජෝන් වයික්ලිෆ් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “භාෂාව අලුත් වෙද්දී ඒකට අනුව පරිවර්තන සකස් කළේ නැත්නම් මිනිසුන්ට ඒක තේරුම්ගන්න බැහැ.”

බයිබලයේ මුල් පරිවර්තන ගැන ලේසියෙන්ම හොයලා බලන්න දැන් බයිබල් විශාරදයන්ට පුළුවන්. බයිබලය මුලින් ලියවුණු භාෂාවන් ගැන එයාලට වඩාත් නිවැරදි අවබෝධයකුත් තියෙනවා. මෑතකදී බයිබලයේ ඉපැරණි අත්පිටපත් සෑහෙන ප්‍රමාණයක් හොයාගෙනත් තියෙනවා. ඒ නිසා මුල් බයිබලයේ තිබුණු තොරතුරු වඩාත් නිවැරදිව තේරුම් අරන් ඒවා බයිබලයට ඇතුළත් කරන්න විශාරදයන්ට දැන් පුළුවන්කම තියෙනවා.

විවිධ බයිබල් පරිවර්තන තියෙන එක ඇත්තටම ප්‍රයෝජනවත්. හැබැයි සමහර පරිවර්තන ගැන අපි පරිස්සම් වෙන්න ඕනේ. * කෙනෙක් බයිබලය පරිවර්තනය කරන්නේ ඇත්තටම දෙවියන් ගැන එයාගේ හිතේ තියෙන ආදරේ නිසා නම් ඒ වගේ පරිවර්තනයකින් සෑහෙන ප්‍රයෝජන ගන්න පුළුවන්.

 

^ 24 ඡේ. මේ සඟරාවේ 2008 මැයි 1 කලාපයේ පල වුණු “නිවැරදි බයිබල් පරිවර්තනයක් තෝරාගන්නා අයුරු” කියන ලිපිය බලන්න.