Skip to content

පටුනට යන්න

අනාගතවක්තෘවරුන්ගෙන් දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

අනාගතවක්තෘවරුන්ගෙන් දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

අතීතයේදී දෙවියන් තමන්ගේ අනාගතවක්තෘවරුන්ව පාවිච්චි කරලා මිනිසුන්ට වැදගත් පණිවිඩ දැනුම් දීලා තියෙනවා. ඒ අනාගතවක්තෘවරුන්ගෙන් අපිට දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? දැන් අපි අනාගතවක්තෘවරුන් තුන්දෙනෙක් ගැන බලමු.

ආබ්‍රහම්

දෙවියන් හැමෝටම එක හා සමානව සලකනවා. හැම කෙනෙක්ටම ආශීර්වාද කරන්න ඔහු ආසාවෙන් බලන් ඉන්නවා.

දෙවියන් අනාගතවක්තෘවරයෙක් වන ආබ්‍රහම්ට මෙහෙම පොරොන්දු වුණා. “පොළොවේ සියලු ජාතීහු නිසැකවම ඔබ මාර්ගයෙන් ආශීර්වාද ලබාගන්නෝය.”—උත්පත්ති 12:3.

පාඩම: දෙවියන් අපිට හුඟක් ආදරෙයි. කෙනෙක් දෙවියන්ට කීකරු වෙනවා නම් ඒ කෙනා මොන ජාතියකට අයිති වුණත් එයා ගැහැණු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් දරුවෙක් වුණත් එයාට ආශීර්වාද කරන්න දෙවියන් ආසාවෙන් බලන් ඉන්නවා.

මෝසෙස්

දෙවියන් දයාවෙන් පිරුණු කෙනෙක්. ඔහු ගැන දැනගන්න උත්සාහ කරන අයට ඔහු ආශීර්වාද කරනවා.

සියලු බලැති දෙවියන් ආශ්චර්යයන් කරන්න මෝසෙස්ට බලය දුන්නා. ඒත් එයා දෙවියන්ගෙන් මෙහෙම ඉල්ලුවා. “ඔබේ මාර්ග මට කියා දෙන්න. එවිට ඔබව හොඳින් දැන හඳුනා ගෙන හැමදාමත් ඔබට ප්‍රසන්න කෙනෙක් ලෙස ජීවත් වීමට මට හැකි වෙයි.” (නික්මයාම 33:13) ඒ ඉල්ලීම ගැන සතුටු වුණු දෙවියන් තමන් වැඩ කරන විදිහ ගැනත් තමන්ගේ ගුණාංග ගැනත් මෝසෙස්ට දැනගන්න සැලැස්සුවා. උදාහරණෙකට මෝසෙස් දැනගත්තා තමන්ගේ නිර්මාතෘ ‘දයාන්විත, කරුණාවන්ත’ දෙවි කෙනෙක් කියලා.—නික්මයාම 34:6, 7.

පාඩම: කෙනෙක් දෙවියන් ගැන දැනගන්න උත්සාහ කරනවා නම් එයා ගැහැණු වුණත් පිරිමි වුණත් දරුවෙක් වුණත් ඒ ඕනෙම කෙනෙක්ට ආශීර්වාද කරන්න දෙවියන් කැමැත්තෙන් ඉන්නවා. ඔහුට නමස්කාර කරන්න ඕන විදිහ ගැනත් ඔහු අපිට ආශීර්වාද කරන්න ආසාවෙන් ඉන්නවා කියන එක ගැනත් ශුද්ධ ලියවිල්ලේ දෙවියන් කියලා තියෙනවා.

යේසුස්

යේසුස් අනුකම්පාවෙන් පෙලඹිලා විවිධ ලෙඩ රෝග තිබුණු අයව සුව කළා

යේසුස් ගැනත් ඔහු කියපු කරපු දේවල් ගැනත් ඉගෙනගන්නවා නම් හැමදාටම දෙවියන්ගේ ආශීර්වාද ලබන්න අපිට පුළුවන්.

යේසුස් ජීවිතය ගත කරපු විදිහ ගැන සහ ඔහු උගන්වපු දේවල් ගැන ශුද්ධ ලියවිල්ලෙන් ඕන තරම් තොරතුරු දැනගන්න අපිට පුළුවන්. හුඟක් ආශ්චර්යවත් ක්‍රියා කරන්න දෙවියන් යේසුස්ට බලය දුන්නා. ඒ නිසා අන්ධ, බිහිරි, කොර අයව පවා සුව කරන්න යේසුස්ට පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි මැරුණු අයට ආපහු ජීවිතය ලබා දෙන්නත් යේසුස්ට පුළුවන් වුණා. ඒ හැම දේකින්ම යේසුස් පෙන්වලා දුන්නේ අනාගතයේදී දෙවියන් මිනිසුන් වෙනුවෙන් කරන්න යන දේවල් ගැනයි. ඒ ආශීර්වාද ලබාගන්න අපි කරන්න ඕන දේ ගැන ඔහු මෙහෙම කිව්වා. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.”—යොහන් 17:3.

යේසුස් දයාවෙන් පිරුණු කරුණාවන්ත කෙනෙක්. ගැහැණු, පිරිමි, බාල, මහලු හුඟදෙනෙක් යේසුස් කරපු මේ ආරාධනාව පිළිගත්තා. “මා මෘදු ගුණැති නිහතමානී කෙනෙකු වන නිසා මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න. එමගින් ඔබට මහත් සහනයක් ලබාගත හැකියි.” (මතෙව් 11:29) ඒ කාලේ හිටපු අය කාන්තාවන්ව පහත් කරලා සැලකුවත් යේසුස් කාන්තාවන්ට කාරුණිකව සහ ගෞරවයෙන් සැලකුවා.

පාඩම: යේසුස් මිනිසුන්ට හුඟක් ආදරය කළා. අපි එකිනෙකාට සලකන්න ඕන විදිහ ගැන ඔහු කදිම ආදර්ශයක් තියලා තියෙනවා.

යේසුස් සියලු බලැති දෙවියන් නෙවෙයි

“අපට සිටින්නේ එක දෙවි කෙනෙක්” සහ යේසුස් ක්‍රිස්තුස් කියන්නේ දෙවියන්ගේ පණිවිඩකරුවෙක් කියලා ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. (1 කොරින්ති 8:6) දෙවියන් තමන්ට වඩා උසස් කියලත් තමන්ව පොළොවට එව්වේ දෙවියන් කියලත් යේසුස්ම පැහැදිලිව කියලා තියෙනවා.—යොහන් 11:41, 42; 14:28. *

^ 17 ඡේ. යේසුස් ක්‍රිස්තුස් ගැන වැඩි විස්තර දැනගන්න www.isa4310.com/si වෙබ් අඩවියේ තියෙන ‘ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය’ කියන සඟරාවේ 8වෙනි සහ 9වෙනි කොටස් බලන්න.