Skip to content

පටුනට යන්න

ගෙවල් දොරවල් අහිමි වුණත් දෙවිට සේවය කරන්න ඒ දේවල් බාධාවක් වුණේ නැහැ

ජෝර්ජියාව | 1998-2006

තර්ජන හමුවේ නොසැලී දෙවිට සේවය කරයි!

තර්ජන හමුවේ නොසැලී දෙවිට සේවය කරයි!

විරුද්ධවාදිකම් එල්ල වුණත් සහෝදරයන් රැස්වීම් තියන එක නතර කළේ නැහැ. වැඩිමහල්ලෝ සහෝදරයන්ගේ ආරක්ෂාව ගැන හිතලා හුඟක් දේවල් සැලසුම් කළා. සහෝදර අන්ඩ්‍රේ කාර්බොනූ කැනඩාවෙන් ආපු නීතිඥයෙක්. එයා මෙහෙම කියනවා. “රැස්වීම් තියද්දී සහෝදරයෙක් එළියට වෙලා ෆෝන් එකකුත් අතේ තියාගෙන මුර කෙරුවා. කවුරු හරි ප්‍රශ්න ඇති කරන්න එනවා කියලා තේරුණොත් එයා ඉක්මනටම වැඩිමහල්ලන්ට දැනුම් දුන්නා.”

ගින්නෙන් විනාශ වුණු ශමෝයන් පවුල ජීවත් වුණු නිවස (වමේ) සහ ගිනිබත් කරපු පොත් පත් ගබඩාවක් (දකුණේ)

ප්‍රශ්නවලට මුහුණ දීපු හැම වෙලාවකදීම ශාඛා කාර්යාලයෙන් සහෝදරයෝ දෙන්නෙක් ඇවිත් අපිව ශක්තිමත් කෙරුවා. ඒ ගැන සහෝදර අන්ඩ්‍රේ මෙහෙම කියනවා. “කොච්චර ප්‍රශ්නවලට මුහුණ දුන්නත් සහෝදරයන්ගේ මුහුණුවල කිසිම බයක්, දුකක් පේන්න තිබුණේ නැහැ. හැමෝම හිටියේ හරිම සතුටින්. ආපු අයට ඒ අයව දැකලා හරිම පුදුමයි.”

උසාවියෙන් එළියේ වගේම ඇතුළෙත් සහෝදරයන් විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නා

අලුතින් පාඩම් කරපු අයත් තර්ජනවලට බය වුණේ නැහැ. එක කාන්තාවක් මෙහෙම කියලා තියෙනවා. “සාක්ෂිකරුවන්ට පහර දෙන විදිහ මම ටීවී එකෙන් දැක්කා. ඒක දැක්කාම මට තේරුණා නියම ක්‍රිස්තියානීන් කවුද කියලා. ඒකයි මම සාක්ෂිකරුවන් එක්ක දිගටම බයිබලය පාඩම් කරන්න හිතුවේ.”

බය නැතුව සහෝදරයන් වෙනුවෙන් පෙනී හිටියා

ප්‍රශ්න ගැටලු තිබ්බ කාලේ සහෝදරයන්ගේ විශ්වාසය සහ නිර්භීතකම පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. එයාලා දේශනා සේවයේ පුළුවන් උපරිමයෙන් හවුල් වුණා. අපේ නීතිඥයන් පවා සහෝදරයන් වෙනුවෙන් බය නැතුව පෙනී හිටියා.

ජනමාධ්‍යවලින් පෙන්නලා තිබුණේ සාක්ෂිකරුවන් පවුල් කඩාකප්පල් කරන, වෛද්‍ය ප්‍රතිකාර ගන්නේ නැති, ආණ්ඩු විරෝධී සෙනඟක් විදිහටයි. නීතිඥයෙක් ඒ වගේ අය වෙනුවෙන් පෙනී හිටියොත් ඒක එයාගේ නමට හානියක්. එයාගේ රැකියාව පවා නැති වෙන්න ඉඩ තිබුණා.

ජෝර්ජියාවේ සහෝදරයන්ට විරුද්ධව දාලා තිබුණු නඩුවලදී එයාලාට උදව් කරපු ඇමරිකාවේ නීතික අංශයේ සහෝදරයන්

ජෝන් බර්න්ස් කැනඩාවේ ශාඛා කාර්යාලයෙන් ආපු නීතිඥයෙක්. එයා මෙහෙම කියනවා. “නීතිඥයන් හැටියට වැඩ කරපු සහෝදරයන් බය නැතුව උසාවියට ඇවිත් තමන්ගේ සහෝදරයන් වෙනුවෙන් කතා කෙරුවා.” ඒ සාක්ෂිකරුවන් ‘ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීමට’ නිර්භීතව ඉදිරිපත් වුණා.—ෆිලි. 1:7.

සාක්ෂිකරුවන් වෙනුවෙන් ජෝර්ජියානුවන් කතා කළා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව එල්ල කරන මැර ප්‍රහාර නතර වුණේ නැහැ. ඒ නිසා 2001 ජනවාරි 8වෙනිදා සාක්ෂිකරුවන් පෙත්සමක් අත්සන් කරන්න සැලසුම් යෙදුවා. සාක්ෂිකරුවන්ට විරුද්ධව කරන ප්‍රහාරවලින් එයාලාව ආරක්ෂා කරන්න කියලත් ඒකට වග කියන්න ඕනෙ අයව අධිකරණය ඉදිරියට ගේන්න කියලත් ඒකෙන් ඉල්ලලා තිබුණා.

පෙත්සමක් සකස් කළේ ඇයි කියලා සහෝදර බර්න්ස් මේ විදිහට පැහැදිලි කළා. “අපිට විරුද්ධව කරපු දේවල්වලට ජෝර්ජියානුවන්ගෙන් වැඩිදෙනෙක් කැමති නැහැ කියලා පෙන්නලා ඒකෙන් ඒ දේවල් පිටිපස්සේ හිටියේ ආගමික අන්තවාදීන් ටිකදෙනෙක් විතරයි කියලා තේරුම් කරලා දෙන්නයි අපිට ඕනෙ වුණේ.”

සති දෙකක් ඇතුළත ජෝර්ජියානු වැඩිහිටියන් 1,33,375දෙනෙක්ම පෙත්සමට අත්සන් කළා. ඒ අයගෙන් වැඩිදෙනෙක් ඕතඩොක්ස් ආගමේ. ඒ පෙත්සම ජනාධිපති ෂෙවාඩ්නාඩ්සේට ඉදිරිපත් කළත් විරුද්ධවාදිකම් නතර වුණේ නැහැ. ආගමික අන්තවාදීන් දිගටම සාක්ෂිකරුවන්ට විරුද්ධව ප්‍රහාර එල්ල කෙරුවා.

සාක්ෂිකරුවන්ට විරුද්ධව එල්ල කරපු මැර ප්‍රහාර හෙළාදකිමින් ජෝර්ජියානුවන් දහස් ගාණක් අත්සන් කළ පෙත්සම

මේ පීඩා කාලෙදි වුණත් සාක්ෂිකරුවන් යෙහෝවා දෙවිගේ ආශීර්වාද අද්දැක්කා. අන්තවාදීන් දිගටම පීඩා එල්ල කරද්දී යෙහෝවා දෙවි අවංක හදවත් ඇති හුඟදෙනෙක්ට සත්‍යය දැනගන්න උදව් කළා.

අසත්‍ය උගන්වන ආගම්වලින් නිදහස

බබිලීනා කරතිෂ්විලි ඕතඩොක්ස් ආගමේ කෙනෙක්. වයස අවුරුදු 30 ගණන්වලදී එයා ගමින් ගමට ගිහිල්ලා මිනිසුන්ට සාන්තුවරුන් ගැන කියලා දුන්නා.

දෙවියන් ගැන ඉගෙනගන්න තිබුණු ආසාව නිසා සෙමනේරියක පවත්වපු දේශනවලටත් එයා සහභාගි වුණා. දවසක් එක පූජකයෙක් ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම’ කියන පොත පෙන්නලා මෙහෙම කිව්වා. “පුළුවන් නම් සාක්ෂිකරුවන්ගෙන් මේ පොත ඉල්ලගන්න. මේකෙන් බයිබලය ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.”

බබිලීනාට පුදුම හිතුණා. මොකද එයාට සාක්ෂිකාරයන් ගැන හොඳ පැහැදීමක් තිබුණේ නැහැ. ඒත් දැන් පූජකයාම කියනවා එයාලාගේ පොත් කියවන්න කියලා. බබිලීනා මෙහෙම හිතුවා. ‘පූජකයාම එහෙම කියනවා නම් මම මොකටද මෙතන ඉන්නේ.’ ඊටපස්සේ එයා පෝටිවල ඉන්න සාක්ෂිකරුවන්ව හම්බ වෙලා බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා.

තමන් කරපු සමහර දේවල් වැරදියි කියලා බයිබලයෙන් දැනගත්තාම බබිලීනා අවශ්‍ය වෙනස්කම් කරන්න දෙපාරක් හිතුවේ නැහැ. එයා මෙහෙම කිව්වා. “රූපවලට නමස්කාර කරන එක වැරදියි කියලා බයිබලයෙන් දැක්කාම මම සම්පූර්ණයෙන්ම ඒක නැවැත්තුවා.” යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක් වෙන්න තීරණය කරද්දී එයාගේ වයස අවුරුදු 80කටත් කිට්ටුයි.

බබිලීනා, එයාගේ මිනිපිරී ඉසබෙලාට බයිබලයේ සත්‍යයන් කියලා දුන්නා

ඒත් බව්තීස්ම වෙන්න කලින් 2001දී බබිලීනා අසනීප වෙලා මිය ගියා. පස්සේ එයාගේ මිනිපිරී ඉසබෙලා සාක්ෂිකාරයෙක් වුණා. එයා අදටත් දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා.

එලීසෝට ඕන වුණේ කන්‍යා සොහොයුරියක් වෙන්නයි

එලීසෝ සිඩ්සිෂ්විලි කන්‍යා සොහොයුරියක් වෙන්න තීරණය කරනකොට එයාට වයස අවුරුදු 28යි. ටික්බුලි අවට කන්‍යාරාමයක් තිබුණේ නැති නිසා 2001දී එයා ටිබිලිසිවලට ගියා. එහෙදී කන්‍යාරාමයකට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙන කල් එයා ගුරුවරියක් හැටියට වැඩ කරන්න පටන්ගත්තා. එයා උගන්නපු එක ළමයෙක්ගේ අම්මා කෙනෙක් තමයි නූනු. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්.

එලීසෝ මෙහෙම කියනවා. “මම නූනු එක්ක නිතරම බයිබලයේ තියෙන දේවල් ගැන කතා කෙරුවා. ඕතඩොක්ස් ආගම හරි කියන මතයෙමයි මම හිටියේ. ඒත් නූනු හරිම ඉවසීමෙන් මට බයිබලයෙන් දේවල් පැහැදිලි කරලා දුන්නා. එක දවසක් එයා මට ‘දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?’ කියන සඟරාව දුන්නා. අපි ඒකෙ ඡේද කියවලා බයිබල් පදත් බැලුවා. එතකොට මට තේරුණා රූපවලට නමස්කාර කරන එකට දෙවි කොහොමටවත් කැමති නැහැ කියලා.”

පස්සේ එලීසෝ ගමේ පල්ලියට ගිහිල්ලා පූජකයාගෙන් ප්‍රශ්න වගයක් ඇහුවා. ඒවාට පූජකයා දීපු උත්තරවලින් එයාට තේරුණා පල්ලියේ උගන්නන දේවල් බයිබලයට එකඟ නැහැ කියලා. (මාක් 7:7, 8) ඒ නිසා එයා සාක්ෂිකරුවන් එක්ක දිගටම බයිබලය පාඩම් කරලා පස්සේ බව්තීස්ම වුණා.

කන්‍යා සොහොයුරියක් වෙන්න කැමැත්තෙන් හිටපු එලීසෝ සිඩ්සිෂ්විලි (වමේ) සහ නූනු කොපලියානි (දකුණේ)

විරුද්ධවාදිකම් මැද්දේ නමස්කාර මධ්‍යස්ථාන ගොඩනඟයි

2001 වෙද්දී සභා ගණන ගොඩක් වැඩි වෙලා තිබුණු නිසා නමස්කාර මධ්‍යස්ථාන 70ක් විතර අලුතින් ඉදි කරන්න ඕනෙ කියලා ගණන් බලලා තිබුණා. ඒ නිසා විරුද්ධවාදිකම් මැද්දේ වුණත් නමස්කාර මධ්‍යස්ථාන ගොඩනැඟීමේ ව්‍යාපෘතියක් පටන්ගත්තා.—එස්රා 3:3.

වැඩි දවසක් යන්න කලින් ඉදි කිරීම් කණ්ඩායමක් ටිබිලිසිවල සභා කිහිපයක් පාවිච්චි කරපු ගොඩනැඟිල්ලක් අලුත්වැඩියා කරන්න පටන්ගත්තා. පස්සේ ටිබිලිසිවල සහ බටහිර ජෝර්ජියාවේ චියාතුරාවල ඉදි කිරීම් ව්‍යාපෘති දෙකක් පටන්ගත්තා.

ටිබිලිසිවල කලින් තිබුණු නමස්කාර මධ්‍යස්ථානය (වමේ) සහ ඒ වෙනුවට අලුතින් ඉදි කරපු නමස්කාර මධ්‍යස්ථානය (දකුණේ)

චියාතුරා ව්‍යාපෘතියේ වැඩ බලාගත්තේ සහෝදර ටමාසි කුට්සිෂ්විලි. එයා මෙහෙම කියනවා. “ඉදි කිරීම් වැඩවලට හැමදාම 15දෙනෙක් ආවා. ඒ පැත්තේ අය දැනගත්තා එතන අපි අලුතින් ශාලාවක් හදනවා කියලා. අපේ වැඩ නවත්තලා ශාලාව කඩලා දාන්න කට්ටිය සැලසුම් කරනවා කියලා ආරංචි වුණු අවස්ථාත් තිබුණා.”

සාක්ෂිකරුවන්ව බය කරන්න ඒ වගේ දේවල් කිව්වත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉදි කිරීමේ වැඩ හොඳට කරගෙන යන්න පුළුවන් වුණා. ටමාසි මෙහෙම කියනවා. “මාස තුනෙන් නමස්කාර මධ්‍යස්ථානය හදලා ඉවර කළා.” *

කාලයක් පුරා බලන් හිටපු සහනය

අත්අඩංගුවට ගත් ඕතඩොක්ස් අන්තවාදීන් සහ ඔවුන්ගේ නායකයා වන වාසීලී කලවිශ්විලි

2003 ඔක්තෝබර් මාසයේදී සම්ට්‍රෙඩියාවල ඉදි කිරීම් ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒත් මේ අවස්ථාවේ අන්තවාදීන් තර්ජනය කරලා නිකං හිටියේ නැහැ. දවසක් එයාලා ඇවිත් ගොඩනැඟිල්ල බිමට සමතලා කරලා දැම්මා.

ඒත් මේ වගේ විරුද්ධවාදිකම් වැඩි කාලයක් වුණේ නැහැ. 2003 නොවැම්බර් මාසෙදි ජෝර්ජියාවේ ආණ්ඩුව වෙනස් වුණ නිසා සාක්ෂිකරුවන්ට ආගමික කටයුතුවල හවුල් වෙන්න යම් ප්‍රමාණයක නිදහසක් ලැබුණා. ඒ විතරක් නෙමෙයි අපේ සහෝදරයන්ට විරුද්ධවාදිකම් එල්ල කරපු ඕතඩොක්ස් අන්තවාදීන් කිහිපදෙනෙක්වම අත්අඩංගුවටත් ගත්තා. සාක්ෂිකරුවන් කාලයක් පුරා බලන් හිටපු සහනය ඔවුන්ට ලැබුණා.

දෙවිගේ සෙනඟට ආශීර්වාද බහුලව ලැබුණා

විරුද්ධවාදිකම් නතර වුණත් එක්කම ජෝර්ජියාවේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට හුඟක් ආශීර්වාද ලැබුණා. 2004 දිස්ත්‍රික් සමුළුවේදී ‘ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනය’ ජෝර්ජියන් භාෂාවෙන් මුදාහැරපු එක ඔවුන්ට ලැබුණු එක ආශීර්වාදයක්.

2006 ‘ගැලවීම අත ළඟයි’ කියන දිස්ත්‍රික් සමුළුවත් ජෝර්ජියානුවන්ට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද ඒ සමුළුවේදී පාලක මණ්ඩලයේ සහෝදර ජෙෆ්රි ජැක්සන් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ කියන සම්පූර්ණ බයිබලය ජෝර්ජියන් භාෂාවෙන් මුදාහැරියා. ඇවිත් හිටිය අයගේ සතුට ඉහ වහා ගියා.

2006දී ජෝර්ජියන් භාෂාවෙන් මුදාහැරිය ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’

ඒ ගැන එක සහෝදරියක් මෙහෙම කිව්වා. “සම්පූර්ණ බයිබලයම ලැබුණාම මට දැනුණ සතුට විස්තර කරන්න වචන නැහැ. මේක කවදාවත් අමතක නොවන අවස්ථාවක්!” සමුළුවට ඇවිත් හිටිය 17,000දෙනාම ඒ සතුට අද්දැක්කා. මේ සමුළුව ජෝර්ජියාවේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසයේ මං සලකුණක් වෙනවා කියලා නම් කිසිම සැකයක් නැහැ.

^ 29 ඡේ. 2001 ඉඳන් 2003 දක්වා කාලයේ ජෝර්ජියාව පුරා විවිධ ප්‍රදේශවල අලුත් නමස්කාර මධ්‍යස්ථාන හතක් ඉදි කළා.