Skip to content

පටුනට යන්න

6වන කොටස

දෙවියන් පොළොව හැදුවේ ඇයි?

දෙවියන් පොළොව හැදුවේ ඇයි?

දෙවියන් පොළොව හැදුවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න. “ස්වර්ගය අයිති යෙහෝවා දෙවිටය. පොළොව ඔහු මනුෂ්‍යයන්ට වාසය කිරීමට දුන්නේය” කියලා බයිබලයේ සඳහන් වෙනවා.—ගීතාවලිය 115:16.

දෙවියන් ආදම්ව නිර්මාණය කරන්න කලින් ඒදන් ලෙස හැඳින්වූ ප්‍රදේශයේ ලස්සන උයනක් හැදුවා. ඒ උයනෙන් තමයි යුප්‍රටීස්, ටයිග්‍රීස් කියන ගංගා දෙක ආරම්භ වුණේ. a ඒදන් උයන තිබුණේ දැන් නැඟෙනහිර තුර්කිය විදිහට හඳුන්වන රටේ කියලා හුඟදෙනෙක් විශ්වාස කරනවා. ඒදන් උයන සිතින් මවාගත් තැනක් නෙවෙයි.

ඒදන් උයනේ ආදම්ව පදිංචි කළාට පස්සේ ‘උයන බලාගෙන ඒකේ වගා කරන්න’ කියලා දෙවියන් ඔහුට කිව්වා. (උත්පත්ති 2:15) ටික කාලෙකට පස්සේ ආදම්ට බිරිඳක්ව දීලා දෙවියන් ඒ දෙන්නාට මෙහෙම කිව්වා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.” (උත්පත්ති 1:28) දෙවියන් පොළොව හැදුවේ හිස්, පාළු ස්ථානයක් වෙන්න නෙවෙයි. මිනිසුන්ට හැමදාම ජීවත් වෙන්න. (යෙසායා 45:18) දෙවියන්ගේ මුල් අරමුණ වුණේ ඒකයි.

කොහොමවුණත් ආදම්, ඒව හිතාමතාම දෙවියන්ට අකීකරු වුණා. ඒ නිසා දෙවියන් ඒදන් උයනෙන් ඔවුන්ව පැන්නුවා. ඒ දෙන්නාගේ අකීකරුකම අපි හැමෝටම බලපානවා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”—රෝම 5:12.

ආදම්, ඒව දෙවියන්ට අකීකරු වූ නිසා දෙවියන්ගේ මුල් අරමුණ වෙනස් වුණාද? නැහැ. දෙවියන්ම කියපු මේ දෙයින් ඒක පැහැදිලියි. “මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය. එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත. මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය. මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.”—යෙසායා 55:11.

ළඟදීම දෙවියන්ගේ අරමුණ ඉටු වෙනවා. එදාට කිසිම ලෙඩක් දුකක් නැතුව පාරාදීසයක් වගේ ලස්සන පොළොවක ජීවත් වෙන්න ලැබෙනවා. ඒ කාලේදී ඉටු කරන බවට දෙවියන් දීලා තියෙන පොරොන්දු කිහිපයක් ඊළඟ පිටුවල බලමු.

a “උයනට ජලය සැපයීම සඳහා ඒදන් වෙතින් ගඟක් ගලා ගියේය. එය අතුගංගා හතරකට බෙදුණේය. පළමුවන අතුගංගාවේ නම පීෂෝන්ය. දෙවන ගංගාවේ නම ගීහොන්ය. තුන්වන ගඟෙහි නම හිද්දෙකෙල්ය. එය ඇසිරියාවෙන් නැඟෙනහිර දෙසට ගලා යයි. හතරවන ගඟ යුප්‍රටීස්ය.”—උත්පත්ති 2:10-14.