Skip to content

පටුනට යන්න

5වන කොටස

දෙවියන්ගේ ප්‍රධාන ලක්ෂණ

දෙවියන්ගේ ප්‍රධාන ලක්ෂණ

දෙවියන්ගේ ප්‍රධාන ලක්ෂණ ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා අපි හැමෝටම ඔහුව දැන හඳුනාගන්න පුළුවන්. ඒ අතරින් බලය, යුක්තිය, ප්‍රඥාව ඒ කියන්නේ ඥානය සහ ප්‍රේමය කැපී පෙනෙනවා. ඒවා ගැන දැන් අපි බලමු.

බලසම්පන්නයි

දෙවියන් බලසම්පන්නයි

“මා සියලු බලැති දෙවිය” කියලා යෙහෝවා දෙවියන් ආබ්‍රහම්ට කිව්වා. (උත්පත්ති 17:1) දෙවියන්ගේ බලයට සමාන බලයක් තවත් නැහැ. ඒ බලයට කරන්න බැරි දෙයක් නැහැ. කවදාවත් ඒ බලය අඩු වෙන්නෙත් නැහැ.

දෙවියන්ට ඕනෑම දෙයක් කරන්න බලය තිබුණත් ඔහු බලය වැරදි විදිහට පාවිච්චි කරන්නේ නැහැ. ඔහු බලය පාවිච්චි කරන්නේ යුක්තිය, ප්‍රඥාව සහ ප්‍රේමයට හානියක් නොවන විදිහටයි.

දෙවියන් තම බලය යොදාගෙන ඔහුගේ සේවකයන්ට උපකාර කරනවා. “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි.” (2 ලේකම් 16:9) ඉතා බලසම්පන්න වුණත් ප්‍රේමයෙන් ක්‍රියා කරන දෙවියන් ගැන තවත් දැනගන්න ඔබ කැමති නැද්ද!

යුක්තිය ඉටු කරන කෙනෙක්

‘යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙක්’ කියලා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 37:28) දෙවියන් කිසිම අවස්ථාවක වැරදි ක්‍රියා මාර්ගයක් ගන්නේවත් අසාධාරණයක් කරන්නේවත් නැහැ.

දෙවියන් හැමෝටම එක හා සමානව සලකනවා

‘සියල්ලන්ටම එක හා සමානව සලකන දෙවියන් කිසිවෙකුගෙන් අල්ලසක් ගන්නේ නැහැ.’ (ද්විතීය කතාව 10:17) “වැන්දඹුවන්ට හෝ පියා නැති දරුවන්ට” හිරිහැර කරන අයව දෙවියන් හෙළා දකිනවා. (නික්මයාම 22:22) ‘කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවියන්ට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවියන් ඔහුව පිළිගන්නවා.’—ක්‍රියා 10:34, 35.

යෙහෝවා දෙවියන් යුක්තිය ඉටු කරද්දී කාරණා සැහැල්ලුවට ගන්නේවත් දරුණු ලෙස ක්‍රියා කරන්නේවත් නැහැ. හිතාමතාම වැරදි කරන අයට ඔහු දඬුවම් කළත් පසුතැවෙන අයට සමාව දෙනවා. බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “යෙහෝවා දෙවි දයාන්විතය. කරුණාවන්තය. කෝප වීමට ඉක්මන් නොවන්නේය. ඔහු පෙන්වන ප්‍රේමය අතිමහත්ය. අප කළ පාපවල තරමටම ඔහු අපට දඬුවම් කළේ නැත. අප කළ වැරදිවලට ලැබිය යුතු දඬුවම ඔහු අපට දුන්නේ නැත.” (ගීතාවලිය 103:8-10) ඔහුගේ සේවකයන් කරන යහපත් ක්‍රියාවන් අමතක නොකරන ඔහු ඒවාට ආශීර්වාද කරනවා. එවැනි දෙවි කෙනෙක් ගැන ඔබට විශ්වාසයක් ඇති වෙන්නේ නැද්ද!

ප්‍රඥාවන්තයි

බයිබලය තුළින් දෙවියන්ගේ ප්‍රඥාව හෙළි වෙනවා

දෙවියන් තරම් ප්‍රඥාවන්ත කෙනෙක් නැහැ. ‘දෙවියන් ලබා දෙන ආශීර්වාද කොතරම් ශ්‍රේෂ්ඨද! ඔහුගේ ප්‍රඥාවත් දැනුමත් කොතරම් පුළුල්ද’ කියා බයිබලයේ සඳහන් වෙනවා.—රෝම 11:33.

දෙවියන් හදලා තියෙන දේවලින් ඔහු කොතරම් ප්‍රඥාවන්තද කියලා පැහැදිලි වෙනවා. ඒ ගැන දෙවියන්ගේ සේවකයෙක් මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් මවා ඇද්ද! ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය.’—ගීතාවලිය 104:24.

දෙවියන්ගේ ප්‍රඥාව ගැන ඔහුගේ වචනය ඇතුළත් බයිබලයෙනුත් හෙළි වෙනවා. “යෙහෝවා දෙවිගේ සිහිගැන්වීම් විශ්වාසවන්තය. ඒවා අද්දැකීම් අඩු තැනැත්තාට ප්‍රඥාව ලබා දෙන්නේය” කියලා එහිම සඳහන් වෙනවා. (ගීතාවලිය 19:7) එම ලියවිල්ලෙන් ඔබට බොහෝ ප්‍රයෝජන ගන්න පුළුවන්.

ප්‍රේමණීයයි

බයිබලයේ සඳහන් වෙන්නේ ‘දෙවි ප්‍රේමය’ කියලයි. (1 යොහන් 4:8) සෑම දෙයක්ම කිරීමට ඔහු පෙලඹෙන්නේ ඔහු සතු ඉමහත් ප්‍රේමය නිසයි.

දෙවියන් අපට බොහෝ ආකාරවලින් ප්‍රේමය පෙන්වා තිබෙනවා. ඔහු වැසි, සරු අස්වනු, කෑමට අවශ්‍ය තරම් ආහාර සහ සිතට සතුට ගෙන දෙන දේවල් ලබා දෙනවා. (ක්‍රියා 14:17) ඇත්තෙන්ම අප භුක්ති විඳින ‘සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම පැමිණෙන්නේ ස්වර්ගයෙහි සිටින දෙවිගෙන්.’ (යාකොබ් 1:17) දෙවියන් මොන වගේ කෙනෙක්ද, ඔහුගේ නීති ප්‍රතිපත්ති මොනවද කියලා බයිබලයේ සඳහන් වෙනවා. “ඔබ පවසන දේ සත්‍යයයි” කියලා යේසුස්ද කිව්වා.—යොහන් 17:17.

දෙවියන්ගේ නිර්මාණවලින් ඔහුගේ ප්‍රඥාව හෙළි වෙනවා

“ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය. ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය” කියලා දෙවියන් සහතික කරලා තියෙනවා. (ගීතාවලිය 55:22) ඒ නිසා අපි දුක් කරදර අද්දකිද්දී ඒවා දරාගන්න දෙවියන් අපිට අනිවාර්යයෙන්ම ශක්තිය දෙනවා. අපේ අතින් සිද්ධ වෙන වැරදිවලට ඔහු සමාව දෙනවා කියලත් බයිබලයේ සඳහන් වෙනවා. “යෙහෝවා දෙවියනි, ඔබ සමාව දීමට කැමති, යහපත් දෙවි කෙනෙක්ය. ඔබේ නාමයෙන් අයැදින සියල්ලන්ට ඔබ පෙන්වන ප්‍රේමය අතිමහත්ය.” (ගීතාවලිය 86:5) දෙවියන් අපිට මේ පොරොන්දුව දීලා තියෙනවා. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.” (එළිදරව් 21:4) අනාගතයේදී අපිට හැමදාමත් ජීවත් වෙන්න පුළුවන් බව ඒකෙන් පැහැදිලි වෙනවා. ඒ තරම් ප්‍රේමණීය දෙවි කෙනෙකුට කීකරු වෙන්න ඔබ පෙලඹෙන්නේ නැද්ද!

දෙවියන්ගේ මිතුරෙක් වෙන්න

දෙවියන්ගේ ප්‍රධාන ලක්ෂණ ගැන කල්පනා කිරීමෙන් සහ යාච්ඤා කිරීමෙන් දෙවියන්ට ළං වෙන්න පුළුවන්

‘දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙනවා’ කියලා බයිබලයේ සඳහන් වෙනවා. (යාකොබ් 4:8) ඒකෙන් පැහැදිලි වෙන්නේ අපි දෙවියන්ව හඳුනාගෙන ඔහුට කිට්ටු වෙනවාට ඔහු කැමති බවයි. දෙවියන්ට විශ්වාසවන්තව හිටිය ආබ්‍රහම්ව “මාගේ මිතුරා” කියලා දෙවියන් හැඳින්නුවා. (යෙසායා 41:8) අපිත් ඒ වගේ කිට්ටු බැඳීමක් දෙවියන් එක්ක ඇති කරගන්නවාට ඔහු කැමතියි.

අපි දෙවියන්ව හොඳින් හඳුනාගන්නා තරමට ඔහු සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන්. ඒකෙන් ලොකු සතුටක් ලබන්නත් පුළුවන්. ‘දිවා රෑ දෙවිගේ නීතිය කියවලා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන අය මහත් ප්‍රීතියක් ලබනවා’ කියලා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 1:1, 2) ඒ නිසා දිගටම බයිබලය කියවන්න. දෙවියන් ගැනත් ඔහු හදලා තියෙන දේවල් ගැනත් හොඳින් කල්පනා කරන්න. අපි බයිබලයෙන් ඉගෙනගන්න දේවල් අදාළ කරගන්නවා නම් අපි ඇත්තටම දෙවියන්ට ආදරේ බව පෙන්වන්න පුළුවන්. ‘දෙවිට ප්‍රේම කරනවා කියන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමයි. ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නෙවෙයි.’ (1 යොහන් 5:3) එක අවස්ථාවකදී දාවිත්, දෙවියන්ට මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ග දැනගැනීමට මට උපකාර කරන්න. ඔබේ මාවතේ ගමන් කිරීමට මට උගන්වන්න. සත්‍යය නමැති ඔබේ මාවතේ මාව ගෙන යන්න.’ (ගීතාවලිය 25:4, 5) අපිත් දෙවියන්ගෙන් උපකාර ඉල්ලනවා නම් ඔහු ‘අපෙන් දුරස්ව සිටින කෙනෙක් නෙවෙයි’ කියලා අපිටත් දැනෙයි.—ක්‍රියා 17:27.