Skip to content

පටුනට යන්න

තිතටම දේවල් කරන්න ඕනේ කියලා හිතෙන්නේ ඇයි?

තිතටම දේවල් කරන්න ඕනේ කියලා හිතෙන්නේ ඇයි?

27වෙනි පරිච්ඡේදය

තිතටම දේවල් කරන්න ඕනේ කියලා හිතෙන්නේ ඇයි?

මොකක් හරි විෂයකට A සමර්ථයක් ලැබුණේ නැත්නම් ඔයාට ඔයා ගැන කේන්තියක් දැනෙනවාද?

□ ඔව්

□ නැහැ

කවුරු හරි ඔයාගේ පොඩි වරදක් පෙන්නලා ඒක හදාගන්න කිව්වොත් ඔයා කලකිරෙනවාද?

□ ඔව්

□ නැහැ

අනිත් අයව ආශ්‍රය කරන්න ඔයා කැමති නැත්තේ ඔයා තරම් හොඳට වෙන කාටවත් දේවල් කරන්න බැහැ කියලා ඔයාට හිතෙන නිසාද?

□ ඔව්

□ නැහැ

උඩ තියෙන ප්‍රශ්නවලින් එකකට හරි ඔයා ‘ඔව්’ කියලා උත්තර දුන්නා නම් ඒකෙන් තේරෙන්නේ හැම දෙයක්ම කිසිම අඩුවක් නැතුව තිතටම කරන්න ඔයාට ඕනේ කියලයි. හැබැයි ඔයා හිතයි දේවල් හරියට කරන එකේ වරදක් තියෙනවාද කියලා. ඇත්තටම ඒකේ වරදක් නැහැ. වැඩක් දක්ෂ විදිහට කරන එක හොඳ දෙයක් කියලා බයිබලයෙත් කියලා තියෙනවා. (හිතෝපදේශ 22:29) හැබැයි දේවල් දක්ෂ විදිහට කරන කෙනෙකුයි හැම දෙයක්ම තිතටම කරන්න හදන කෙනෙකුයි අතර වෙනසක් තියෙනවා. දේවල් තිතටම කරන්න හදන කෙනෙක්, එයාට කරන්න බැරි දේවලුත් තියෙනවා කියලා තේරුම්ගන්නේ නැහැ. එයා නිතරම ඉන්නේ හැම දෙයක්ම හරියටම කරන්න ඕනේ කියන අන්තයේ.

ජේසන්ගේ අද්දැකීම බලන්න. ඉස්කෝලේ හිටපු අන්තිම අවුරුද්ද ගැන එයා මෙහෙම කියනවා. “මං හැම විෂයකටම A සමර්ථ ගත්තේ නැත්නම් මං දක්ෂ කෙනෙක් නෙමෙයි කියලයි මට හිතුණේ. පියානෝ එක ගහද්දිත් මට ඕන වුණේ ලොකු ප්‍රසංගවල පියානෝ ගහන අය වගේ හොඳට ඒක ගහන්නයි.”

හැම දෙයක්ම අකුරටම කරන්න ඕනේ කියන අදහස දෙවිට නමස්කාර කරන කෙනෙකුට තියෙනවා නම් මොකක් වෙන්න පුළුවන්ද? හැමෝම හරි හොඳයි කියලා කියන, දක්ෂ විදිහට දේවල් කරන යෞවනයෙක් සභාවේ ඉන්නවා කියලා හිතන්න. හැමෝම එයාව පෙන්නලා අනිත් අයට කියනවා එයා වගේ වෙන්න කියලා. අනිත් අය එයා ගැන හරි ඉහළින් හිතාගෙන ඉන්න නිසා මේ යෞවනයට හිතෙන්න පුළුවන් කිසිම අඩුපාඩුවක් නැතුව හැම දෙයක්ම දැන් නූලට, තිතට කරන්න ඕනේ කියලා. එහෙම හිතලා දේවල් කරද්දී කාලයක් යන කොට දෙවිට සේවය කරන එකෙන් එයාට කිසිම සතුටක් ලැබෙන්නේ නැතුව යනවා. හැබැයි එහෙම කෙනෙක් ඒකෙන් ගොඩ එන්න කාගෙන්වත් උදව් ගන්න කැමති වෙන්නෙත් නැහැ. මොකද එතකොට අනිත් අය එයා ගැන හිතාගෙන ඉන්න විදිහ වෙනස් වෙයි කියලා එයාට භයයි. කාලයක් යන කොට එයාට හිතෙයි ‘කිසිම අඩුපාඩුවක් නැතුව මට දේවල් කරන්න බැරි නම් ඒවා කරන එකේ තේරුමක් නැහැ’ කියලා. ඒ නිසා දෙවිට සේවය කරන එකත් එයා නතර කරයි.

අන්තයටම නොයා ඉන්න නම්

හැම දෙයක්ම හරියටම කරන්න හදන කෙනෙක් හිතන්නේ එයා අතින් අඩුපාඩුවක් වෙන්න බැහැ කියලයි. හැබැයි එහෙම හිතන එක වැරදියි. මොකද බයිබලයේ කියන්නේ, “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති” කියලයි. (රෝම 3:23) අපෙන් කිසිම කෙනෙක්ට හැම දෙයක්ම සීයට සීයක් හරියටම කරන්න බැහැ. ඒ නිසා ඔයා එහෙම කරන්න හදනවා නම් ඒක හරියට පියාඹන්න හදනවා වගේ වැඩක්. කොච්චර හිතුවත් ඔයාට ඒක කරන්න බැහැ.

එහෙමනම් හැම දෙයක්ම තිතටම කරන්න ඕනේ කියන අදහස ඔයාට අයින් කරගන්න පුළුවන් කොහොමද?

හිතන විදිහ වෙනස් කරගන්න. හැම දෙයක්ම තිතටම කරන අතිදක්ෂයෙක් වෙන්න හදන එක හරියට ‘සුළඟ පසුපස හඹා යනවා වගේ නිෂ්ඵල වැඩක්.’ (දේශනාකාරයා 4:4) මොකද හැමෝටම දේවල් අතිදක්ෂ විදිහට කරන්න බැහැ. කෙනෙක් එහෙම කළත් ටික කාලෙකට පස්සේ තව කෙනෙක් එයාටත් වඩා හොඳට ඒ දේ කරනවා. ඒ නිසා අනිත් අයට වඩා හොඳට දේවල් කරලා අතිදක්ෂයෙක් වෙන්න හදන්නේ නැතුව ඔයාට පුළුවන් දේ කරන්න.—ගලාති 6:4.

බැරි දේවල් කරන්න යන්න එපා. ඕනම දෙයක් කරන්න ඉස්සෙල්ලා ඔයාගේ සීමාව තේරුම්ගන්න. ඔයාට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා, බැරි දේවලුත් තියෙනවා. හැබැයි ඔයා ඒක තේරුම්ගන්නේ නැතුව බැරි දේවල් කරන්න ගියොත් ඒකෙන් පේන්නේ ඔයා ඕනෑවට වඩා ඔයා ගැන හිතන ආඩම්බර කෙනෙක් කියලයි. බයිබලයෙත් දිරිගන්වලා තියෙන්නේ, “තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න” කියලයි. (රෝම 12:3) ඒ නිසා උපරිම උත්සාහයක් දරලා ඔයාට කරන්න පුළුවන් දේවල් විතරක් කරන්න.

ඕනෑවට වඩා දේවල් ගැන හිතන්න එපා. ඔයා කලින් කරලා නැති දෙයක් කරන්න බලන්න. උදාහරණයකට කවදාවත් වාදනය කරලා නැති සංගීත භාණ්ඩයක් වාදනය කරන්න. අනිවාර්යයෙන්ම ඒක කරද්දී ඔයාට ගොඩක් සැරයක් වරදියි. හැබැයි වරදින කොට ඔයාටම බැණගන්නේ නැතුව හිනා වෙලා ඒක අමතක කරලා දාන්න. (දේශනාකාරයා 3:4) එතකොට ඔයාට තේරෙයි අපි හැමෝටම වරදිනවා, ඒ වැරදිවලින් තමයි අපි දේවල් ඉගෙනගන්නේ කියලා. හැම දෙයක්ම අතිදක්ෂ විදිහට කරන්න ඔයාට බැහැ කියන එක පිළිගන්න මුලින් ටිකක් අමාරු වෙයි. ඒත් අධෛර්යය වෙන්න එපා.

අපි හැම දෙයක්ම සීයට සීයක් හරියටම කරන්න ඕනේ කියලා යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙවි බලාපොරොත්තු වෙන්නේ අපි විශ්වාසවන්තව දේවල් කරයි කියලයි. (1 කොරින්ති 4:2) දෙවිට විශ්වාසවන්තව ඉන්න ඔයා උපරිම උත්සාහයක් දරනවා නම් ඔයාට දේවල් තිතටම කරන්න බැරි වුණත් ඔයාට ඔයා ගැන සතුටු වෙන්න පුළුවන්.

ඊළඟ පරිච්ඡේදය

සමලිංගික ඇසුර අද සමාජයේ සාමාන්‍ය දෙයක් වෙලා. ඒ වගේ ඇසුරක් පවත්වන්න ආසාවක් තියෙනවා නම් මොකද්ද කරන්න පුළුවන්?

බයිබල් උපදෙස

“කිසි පාපයක් නොකර සැමවිටම යහපත්කම් කරන ධර්මිෂ්ඨයෙකු මෙලොවෙහි සොයාගත නොහැක.”—දේශනාකාරයා 7:20.

යෝජනාවක්

ඔයා මොකක් හරි වැඩක් සීයට සීයක් හරියටම කරගන්න බැරි වෙයි කියලා හිතලා කල් දැම්මාද? එහෙමනම් ඒ වැඩේ මේ දවස වෙද්දී ඔයාට පුළුවන් විදිහට ඉවර කරනවා කියලා අදිටන් කරගන්න.

මේක දැනගෙන හිටියාද?

යෙහෝවා දෙවි කරන කිසිම දෙයක අඩුවක්වත් වරදක්වත් නැහැ. හැබැයි අපිත් හැම දෙයක්ම සීයට සීයක් හරියටම කරයි කියලා දෙවි බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙවි බලාපොරොත්තු වෙන්නේ අපිට කරන්න පුළුවන් දේ විතරයි.

ඔයාට වැඩක්!

මට හරියට දේවල් කරන්න බැහැ කියලා මට මා එක්කම කේන්තියක් එන වෙලාවට මං මෙහෙම කරනවා ․․․․․

අනිත් අයට කිසිම දෙයක් හරියට කරන්න බැහැ කියලා මට හිතෙන වෙලාවලදී මං මෙහෙම කරනවා ․․․․․

මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․

ඔයා හිතන්නේ මොකද්ද?

● ඔයා කිසිම අඩුවක් නැතුව තිතටම කරන්න හදන දේවල් මොනවාද?

● අපිට කරන්න බැරි දේවල් යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා ඔයා විශ්වාස කරන්නේ මොන මොන බයිබල් පද නිසාද?

● ඔයා හැම දෙයක්ම තිතටම කරන්න හදන කෙනෙක් නම් අනිත් අය ඔයාගෙන් ඈත් වෙන්නේ ඇයි?

● ඉදිරියේදී ඔයා අතින් වැරදි, අඩුපාඩු වෙද්දී ඔයා මොකද කරන්නේ?

[226වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘දක්ෂ විදිහට දේවල් කරන්න හදන කෙනයි, තිතටම දේවල් කරන්න හදන කෙනයි අතර වෙනසක් තියෙනවා. එක් කෙනෙක් එයාගේ සීමාව දන්නවා. අනිත් කෙනා සීමාව දන්නේ නැහැ.’’—මේගන්

[228වන පිටුවේ කොටුව]

යාළුකම් නැති වෙන්න හේතුවක්

ඔයා වගේ අනිත් අය දේවල් තිතටම කරන්නේ නැහැ කියලා ඔයාට හිතෙන නිසා සමහර අයව ආශ්‍රය කරන එක ඔයා නතර කළාද? නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන විදිහට දේවල් කරන්න බැරි නිසා සමහර අය ඔයාගෙන් ඈත් වෙලාද? එහෙමනම් බයිබලයේ දීලා තියෙන මේ උපදෙස බලන්න. “පමණට වඩා ධර්මිෂ්ඨ වීමට හෝ පමණට වඩා ප්‍රඥාවන්ත වීමට හෝ වෑයම් නොකරන්න. ඔබ එසේ කර ඔබටම හානි කරගන්නේ මන්ද?” (දේශනාකාරයා 7:16) සීයට සීයක් හරියටම දේවල් කරන්න හදන කෙනෙක් එයාටම කරගන්න හානියක් තමයි අනිත් අයගෙන් ඈත් වෙන එක. “කවුරුත් කැමති නැහැ නිතරම වැරදි, අඩුපාඩු පෙන්නන කෙනෙක්ව ආශ්‍රය කරන්න. ඒ වගේ අය පොඩි පොඩි හේතු නිසා හොඳ යාළුවන්ව නැති කරගන්නවා මං දැකලා තියෙනවා” කියලා ඇමා කියන යෞවනිය කියනවා.

[229වන පිටුවේ පින්තූරය]

හැම දෙයක්ම කිසිම අඩුවක් නැතුව තිතටම කරන්න හදන එක හරියට පියාඹන්න හදනවා වගේ වැඩක්