Skip to content

යාළු වෙන එක ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නීති තියෙනවාද?

යාළු වෙන එක ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නීති තියෙනවාද?

 දෙවියන්ව සතුටු කරන තීරණ වගේම අපිට ප්‍රයෝජනවත් තීරණ ගන්න බයිබලයේ තියෙන ප්‍රතිපත්ති, ආඥා උදව් වෙනවා කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. (යෙසායා 48:17, 18) ඒ ප්‍රතිපත්ති, ආඥා අපි හදාගත්ත ඒවා නොවුණත් අපි ජීවත් වෙන්නේ ඒවාට අනුවයි. ඒවා විවාහයට කෙනෙක්ව ගැළපෙනවාද කියලා බලන්න එක් එක් කෙනාව ඇසුරු කරන එකට සම්බන්ධ වෙන විදිහ බලන්න. a

  •   විවාහය ස්ථිර බැඳීමක්. (මතෙව් 19:6) ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විවාහය සඳහා කෙනෙක්ව තෝරගන්න කරන ආශ්‍රය සැහැල්ලුවට ගන්නේ නැහැ.

  •   ඒ ආශ්‍රය පටන්ගන්න ඕන විවාහ වෙන්න සුදුසු වයසක ඉන්නවා නම් විතරයි. ඒ අය “යොවුන් විය පසු කර සිටින,” ඒ කියන්නේ ලිංගික හැඟීම් ඇවිස්සෙන වයස පහු කරලා ඉන්න අය වෙන්න ඕනේ.—1 කොරින්ති 7:36.

  •   ඒ වගේ ආශ්‍රයක් කරන අය විවාහ වෙන්න නිදහස්ව ඉන්න අය වෙන්න ඕනේ. සමහර අය නීත්‍යනුකූලව දික්කසාද වෙලා හිටියත් දෙවියන්ගේ ප්‍රමිතියට අනුව නැවත විවාහ වෙන්න නිදහස් වෙලා ඉන්න අය කියලා කියන්න බැහැ. මොකද දික්කසාද වෙන්න එකම පදනම හැටියට බයිබලයේ පෙන්වන්නේ වේශ්‍යාකමයි. ඒකෙන් පේන්නේ දික්කසාද වෙලා ඉන්න හැමෝම නැවත විවාහ වෙන්න නිදහස් අය වෙන්නේ නැහැ කියලයි.—මතෙව් 19:9.

  •   ක්‍රිස්තියානීන්ට අණ කරලා තියෙන්නේ තමන්ගේ ආගමික විශ්වාසයන් තියෙන අය එක්ක විතරක් විවාහ වෙන්න කියලයි. (1 කොරින්ති 7:39) මේ ආඥාවෙන් අදහස් කරන්නේ නිකම්ම අපේ විශ්වාසයන්ට ගරු කරන කෙනෙක් එක්ක විවාහ වෙන්න කියන එක නෙමෙයි. ඒ වෙනුවට බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙක් හැටියට ඒ විශ්වාසයන්ට අනුව ජීවත් වෙන, අනිත් අය එක්ක ඒ විශ්වාසයන් බෙදාගන්න කෙනෙක් එක්ක විවාහ වෙන්න කියලයි. (2 කොරින්ති 6:14) දෙවියන් කවදත් තමන්ට නමස්කාර කරන අයට උපදෙස් දීලා තිබුණේ එකම ආගමික විශ්වාසයන් තියෙන අය එක්ක විවාහ වෙන්න කියලයි. (උත්පත්ති 24:3; මලාකි 2:11) ඒක ප්‍රායෝගික උපදෙසක් කියලා අද දින ඉන්න පර්යේෂකයන් පවා පිළිගන්නවා. b

  •   දරුවන් දෙමව්පියන්ට කීකරු වෙන්න ඕනේ. (හිතෝපදේශ 1:8; කොලොස්සි 3:20) තවමත් දෙමව්පියන් යටතේ ජීවත් වෙන දරුවන් දෙමව්පියන්ගේ තීරණවලට කීකරු වෙන්න ඕනේ. පුතා හරි දුව හරි විරුද්ධ ලිංගයේ කෙනෙක් එක්ක යාළු වෙන වයස සහ යාළු වෙලා ඉද්දී කරන්න අවසර ලැබෙන දේවල් ගැන ගන්න තීරණත් ඒවාට ඇතුළත්.

  •   දේවවචනයේ මඟ පෙන්වීම්වලට අනුව කෙනෙක් එක්ක යාළු වෙනවාද, කාත් එක්කද යාළු වෙන්නේ කියන එක සාක්ෂිකරුවෙක් තීරණය කරන්නේ පෞද්ගලිකවයි. ඒක මේ ප්‍රතිපත්තියට එකඟයි. “මන්ද සෑම කෙනෙක්ම තමාට පැවරී ඇති වගකීම ඉටු කළ යුතුයි.” (ගලාති 6:5) හැබැයි හුඟක් අය යාළු වෙන්න කලින් තමන්ගේ යහපත ගැන හිතන, දැනුම් තේරුම් තියෙන සාක්ෂිකරුවන්ගෙන් උපදෙස් ගන්නවා.—හිතෝපදේශ 1:5.

  •   සාමාන්‍යයෙන් යාළු වෙලා ඉන්න කාලෙදී සිද්ධ වෙන හුඟක් දේවල් ඇත්තටම බරපතළ පාප. දුරාචාරයෙන් වළකින්න කියලා බයිබලයේ අණ කරලා තියෙනවා. ඒකට ඇතුළත් වෙන්නේ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම විතරක් නෙවෙයි. අවිවාහක දෙන්නෙක් මුඛය හෝ ගුද මාර්ගය ලිංගික ක්‍රියාවන් සඳහා යොදාගන්න එකත් ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න එකිනෙකාගේ ලිංගික අවයව අත පත ගාන එකත් ඒකට ඇතුළත්. (1 කොරින්ති 6:9-11) ඒ විතරක් නෙමෙයි, විවාහයට කලින් කාමුක හැඟීම් ඇවිස්සෙන විදිහට හැසිරෙන එකත් දෙවියන්ව අසතුටු කරන ‘අපවිත්‍රකමක්.’ (ගලාති 5:19-21) “අසභ්‍ය කථා” ඇතුළත් කතාබහෙන් වළකින්න කියලත් බයිබලයේ කියලා තියෙනවා.—කොලොස්සි 3:8.

  •   සිත රැවටිලිකාරයි. (යෙරෙමියා 17:9) වැරදියි කියලා දන්න දෙයක් වුණත් කරන්න කෙනෙක්ගේ සිත එයාව පොලඹවන්න පුළුවන්. ඒ නිසා ඇසුරක් පවත්වන යුවළක් තනි වුණාම වැරදි දෙයක් වුණත් කරන්න පෙලඹෙන නිසා ඒ අවස්ථා මඟහරින්න ඕනේ. අනිත් අය ඉද්දී හරි තවත් කෙනෙක් ඉන්න අවස්ථාවකදී හරි යුවළක් ඇසුරු කරනවා නම් වරදකට වැටෙන්න තියෙන ඉඩකඩ වළක්වගන්න පුළුවන්. (හිතෝපදේශ 28:26) විවාහ සහකරුවෙක්ව හොයන තනිකඩ ක්‍රිස්තියානීන් අන්තර්ජාලය හරහා සහකරුවන්ව සොයා දෙන වෙබ් අඩවිවලට (online dating sites) යන එක මොන තරම් භයානකද කියලා දන්නවා.—ගීතාවලිය 26:4.

a විවාහයට කෙනෙක්ව ගැළපෙනවාද කියලා බලන්න යාළු වෙන එක හැම සංස්කෘතියකම නැහැ. යාළු වෙලා විවාහ වෙන්න ඕන කියලවත් විවාහයට එකම මඟ යාළු වෙන එක කියලවත් බයිබලයේ කියන්නේ නැහැ.

b උදාහරණයකට සඟරාවක කියනවා ‘දිගු කාලයක් පුරා විවාහ දිවිය ගත කළ අය සම්බන්ධ සමීක්ෂණයකින් හෙළි වුණේ එකම ආගමේ, එකම විශ්වාසයන් තියෙන දෙන්නෙක් විවාහ වෙලා ඉන්න එක විවාහයක කල් පැවැත්මට ප්‍රධාන සාධකයක්’ කියලා.—Marriage & Family Review 38 වෙළුම, 1 කලාපය, 88 පිටුව (2005).