Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විවාහ උත්සවයකදී සිද්ධ වෙන්නේ මොනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විවාහ උත්සවයකදී සිද්ධ වෙන්නේ මොනවාද?

 සාමාන්‍යයෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විවාහ උත්සවයන් පවත්වන්නේ චාම් විදිහට සහ ගෞරවාන්විත විදිහට. ඒකට බයිබලය පදනම් කරගෙන ඉදිරිපත් කරන කෙටි දේශනයකුත් ඇතුළත් වෙනවා. විවාහ පොරොන්දු දුන්නාට පස්සේ අමුත්තන්ට සංග්‍රහ කරන්න උත්සවයක් පවත්වනවාද නැද්ද කියලා තීරණය කරන්න යුවළට පුළුවන්. a යේසුස් දේශනා සේවය පටන්ගත්ත මුල් කාලේදී කානා නුවරේ පවත්වපු විවාහ උත්සවයකට ඔහු සහභාගි වුණා කියලා බයිබලයේ කියනවා.—යොහන් 2:1-11.

 විවාහ උත්සවයේදී සිද්ධ වෙන්නේ මොනවාද?

 විවාහ උත්සවයේදී ඉදිරිපත් කරන දේශනය හරිම වැදගත් අංගයක්. හුඟක් වෙලාවට ඒ දේශනය විනාඩි 30කින් විතර අවසන් වෙනවා. ඒ දේශනය ඉදිරිපත් කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දේවගැතිවරයෙක්. ඒ දේශනයෙන් සතුටින් පිරි යුග දිවියක් ගෙවන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති විවාහ යුවළට හරිම ආදරෙන් මතක් කරලා දෙනවා.—එෆීස 5:33.

 හුඟක් රටවල ආණ්ඩුවලින් නීත්‍යනුකූලව විවාහ පොරොන්දු ගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමහර දේවගැතිවරුන්ට අවසර දීලා තියෙනවා. අවසරය ඇති දේවගැතිවරයෙක් විවාහ දේශනය දුන්නාට පස්සේ යුවළට පුළුවන් එයාලගේ විවාහ පොරොන්දු දෙන්න. යුවළ කැමති නම් මුදු මාරු කරගන්නත් පුළුවන්. ඒ දේවල් කළාට පස්සේ දේවගැතිවරයා ඒ යුවළව ස්වාමිපුරුෂයා සහ භාර්යාව විදිහට හඳුන්වලා දෙනවා.

 සමහර රටවල නීතියක් තියෙනවා රජයෙන් පත් කරලා තියෙන නිලධාරියෙක් ඉදිරියේ විවාහය ලියාපදිංචි කරන්න ඕනෙ කියලා. යුවළක් ඒ දේ කරලා තියෙනවා නම් ඒ දවසේම නැත්නම් වැඩි කාලයක් යවන්නේ නැතුව විවාහයට අදාළ බයිබල් දේශනය පවත්වන්න එයාලා සැලසුම් කරනවා. රෙජිස්ට්‍රාර්වරයෙක් ඉදිරියේ යුවළ විවාහ පොරොන්දු දීලා නැත්නම් විවාහ වෙන දවසේ දෙන බයිබලය මත පදනම් දේශනයේ අවසාන හරියේදී විවාහ පොරොන්දු දෙන්න යුවළකට පුළුවන්. විවාහ දේශනයට කලින් රෙජිස්ට්‍රාර්වරයෙක් ඉදිරියේ විවාහ පොරොන්දු දීලා තිබුණා නම් එයාලට පුළුවන් දේශනයෙන් පස්සේ එයාලා දැනටමත් විවාහ පොරොන්දු දීලා තියෙන නිසා ඒක ඇඟවෙන විදිහට ඒ පොරොන්දුව ආයෙත් දෙන්න. ඒ දේවල් වුණාට පස්සේ දේශනය දෙන කෙනා දේශනය අවසන් කරන්නේ යුවළට දෙවියන්ගේ ආශීර්වාද පතමින් කරන යාච්ඤාවකින්.

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විවාහ උත්සව පවත්වන්නේ කොහේද?

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරේ ඉන්න වැඩිදෙනෙක් විවාහ උත්සවය එයාලගේ නමස්කාර මධ්‍යස්ථානයක පවත්වන්න තීරණය කරනවා. b දේශනයෙන් පස්සේ උත්සවයක් පවත්වන්න එයාලා තීරණය කරනවා නම් ඒ උත්සවය වෙනත් තැනක පවත්වන්න එයාලා සැලසුම් කරනවා.

 ඒ අවස්ථාවට සහභාගි වෙන්න පුළුවන් කාටද?

 නමස්කාර මධ්‍යස්ථානයේ පවත්වන විවාහයකට ඕනෙම කෙනෙක්ට එන්න අවස්ථාව තියෙනවා. හැබැයි උත්සවය වෙනත් තැනක පවත්වන්න යුවළ සැලසුම් කළොත් ඒකට ආරාධනා කරන්නේ කාටද කියලා එයාලා තීරණය කරනවා.

 අමුත්තන් අඳින්න පළඳින්න ඕනෙ කොහොමද?

 නමස්කාර මධ්‍යස්ථානයක පවත්වන විවාහ උත්සවයකට එද්දී අඳින්න ඕන විදිහ ගැන නීති දාලා නැහැ. හැබැයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විනීතව අඳින පළඳින එක ගැන බයිබලයේ දීලා තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවා. උත්සවයට සහභාගි වෙන අනිත් අයත් විනීතව අඳියි කියලා එයාලා බලාපොරොත්තු වෙනවා. (1 තිමෝති 2:9) උත්සවය වෙන තැනක තිබුණත් විනීතව අඳින්න කියලා බයිබලයේ දීලා තියෙන මඟ පෙන්වීම සාක්ෂිකරුවන් අදාළ කරගන්නවා.

 විවාහ යුවළට තෑගි දෙනවාද?

 බයිබලය දිරිගන්වලා තියෙනවා ත්‍යාගශීලි වෙන්න කියලා. (ගීතාවලිය 37:21) විවාහ උත්සවයකට යද්දී සාක්ෂිකරුවන් කැමැත්තෙන්ම විවාහ යුවළට තෑගි දෙනවා. ඒ තෑගි විවාහ යුවළ භාරගන්නේ හරිම සතුටින්. (ලූක් 6:38) හැබැයි සාක්ෂිකරුවන් තමන්ගේ විවාහ උත්සවයේදී තෑගි ඉල්ලන්නේවත් එයාලට තෑගි දීපු අයගේ නම් නිවේදනය කරන්නේවත් නැහැ. (මතෙව් 6:3, 4; 2 කොරින්ති 9:7; 1 පේතෘස් 3:8) මොකද එහෙම කරන එක බයිබලයට පටහැනියි විතරක් නෙමෙයි ඒකෙන් අනිත් අය අපහසුතාවට පත් වෙන්නත් පුළුවන්.

 සව්දිය පුරනවාද?

 සව්දිය පුරන චාරිත්‍රය පටන් අරන් තියෙන්නේ අසත්‍යය උගන්වන ආගම්වල විශ්වාසයන් පදනම් කරගෙන. c ඒ නිසා සාක්ෂිකරුවන් සව්දිය පුරන්නේ නැහැ. ඒ වෙනුවට විවාහ ජීවිතය සාර්ථකව ගත කරන්න ලැබෙන්න කියලා එයාලා මුළු හදවතින්ම යුවළට සුභ පතනවා.

 යුවළ පිට වෙද්දී මල්, විසිතුරු කොළ, වී වගේ දේවල් ඉහිනවාද?

 සමහර අය විවාහ යුවළ ශාලාවෙන් පිට වෙලා යද්දී යුවළට මල්, විසිතුරු කොළ සහ වී වගේ දේවල් ඉහිනවා. එහෙම කරන්නේ ඒකෙන් එයාලට වාසනාව, දීර්ඝායුෂ ලැබෙයි කියලා විශ්වාස කරන නිසයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ දේවල් කරන්නේ නැහැ. මොකද ඒවා පදනම් වෙලා තියෙන්නේ අසත්‍යය උගන්වන ආගමික විශ්වාසයන් මතයි. ඒ දේවල් බයිබලයට පටහැනියි.—යෙසායා 65:11.

 සංග්‍රහ කරනවාද?

 නමස්කාර මධ්‍යස්ථානයක සිදු කරන විවාහයකදී කෑම බීම සංග්‍රහ කරන්නේ නැහැ. සමහර යුවළයන් වෙනත් ශාලාවක කෑම බීම සංග්‍රහ කරන්න තීරණය කරනවා. (දේශනාකාරයා 9:7) ඒ වගේ අවස්ථාවකදී එයාලා මත්පැන් දෙන්න තීරණය කරනවා නම් පාලනයක් ඇතුව දෙන්නත් මත්පැන් පානය කරන්න නීතියෙන් අවසර තියෙන වයසේ ඉන්න අයට විතරක් දෙන්නත් වග බලා ගන්නවා.—ලූක් 21:34; රෝම 13:1, 13.

 සංගීතය සහ නැටුම් ගැයුම් තියෙනවාද?

 නමස්කාර මධ්‍යස්ථානය පවත්වන විවාහයන්වලදී නමස්කාරයට සම්බන්ධ ගීතිකා සහ සංගීතය වාදනය කරනවා. වෙනත් තැනක විවාහ උත්සවය ගන්න සැලසුම් කරන යුවළක් ඒ අවස්ථාවට සංගීතය, නැටුම් ඇතුළත් කරන්න ඉඩ තියෙනවා. (දේශනාකාරයා 3:4) ඒ දේවල් එයාලා තීරණය කරන්නේ එයාලා හැදුණු වැඩුණු පසුබිම සහ එයාලගේ කැමැත්ත අනුවයි. හැබැයි ඇවිත් ඉන්න හැමෝටම සතුටක් ලබන්න පුළුවන් විදිහටයි එයාලා ඒවා තෝරාගන්නේ.

 සාක්ෂිකරුවන් එයාලගේ විවාහ සංවත්සරය පවත්වනවාද?

 විවාහ සංවත්සරය පවත්වන්න කියලවත් එපා කියලවත් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා විවාහ සංවත්සරය පවත්වනවාද නැද්ද කියලා සාක්ෂිකරුවන් පෞද්ගලිකව තීරණය කරනවා. විවාහ සංවත්සරය පවත්වන්න තීරණය කරන යුවළක් ඒ දෙන්නා තනියම ඒ දේ කරන්න හරි පවුලේ අයට සහ හිතමිතුරන්ට ඒකට ආරාධනා කරන්න හරි ඉඩ තියෙනවා.

a විවාහ උත්සවයන්ට සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර, නීතිරීති රටින් රටට වෙනස් වෙන්න පුළුවන්.

b විවාහ දේශනය දීපු දේවගැතිවරයාටවත් විවාහ උත්සවය සඳහා නමස්කාර මධ්‍යස්ථානය පාවිච්චි කරපු එකටවත් කිසිම මුදලක් අය කරන්නේ නැහැ.

c සව්දිය පුරන එක ගැන තව විස්තර දැනගන්න 2007 පෙබරවාරි 15 ‘මුරටැඹ’ සඟරාවේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” කියන ලිපිය බලන්න.