Skip to content

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ගයනාව

ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ගයනාව

 “ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගිහින් සේවය කරලා ලබන සතුට විස්තර කරන්න මට වචන නැහැ!” එහෙම කිව්වේ දැන් ඇමරිකාවේ ජීවත් වුණත් කාලයක් ගයනාවේ සේවය කළ ජොෂුවා. යෙහෝවා දෙවියන් ගැන දැනගන්න ආසාවෙන් ඉන්න හුඟක් අය ගයනාවේ ඉන්නවා. ගයනාව තියෙන්නේ දකුණු ඇමරිකාවේ. ඒ රටේ සේවය කරපු තව හුඟදෙනෙක්ට හැඟෙන්නෙත් ජොෂුවාට හැඟුණ විදිහටමයි. a ඒ සහෝදර සහෝදරියන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? වෙනත් රටක සේවය කරන්න ඔයා ආසාවෙන් ඉන්නවා නම් ඒකට සූදානම් වෙන්න ඒ සහෝදරයන්ගේ අද්දැකීම ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

එහෙට යන්න ආසාව ඇති වුණේ කොහොමද?

ලයිනල්

 ලයිනල් කියන සහෝදරයා ඇමරිකාවේ කෙනෙක්. එයා ගයනාවට යන්න කලින් ඇමරිකාවේම කලාතුරකින් සේවය කරන ප්‍රදේශයක සේවය කරන්න ගියා. එයා මෙහෙම කියනවා. “මට බටහිර වර්ජීනියාවේ පිටිසර ප්‍රදේශයක සේවය කරන්න අවස්ථාව ලැබුණා. ඒ ගමනට 20දෙනෙක් සහභාගි වුණා. එහෙ සේවය කරපු සති දෙකේදී සේවයෙන් වගේම සහෝදර ඇසුරෙන් ලබපු සතුට මගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කෙරුවා. යෙහෝවා දෙවියන්ට පුළුවන් උපරිමයෙන් සේවය කරන්න මට තිබුණ අධිෂ්ඨානය ඒකෙන් තව වැඩි වුණා.”

එරිකා සහ ගාත්

 ගාත් සහ එරිකා යුවළටත් ලොකු වුවමනාවක් තිබුණා වෙන රටකට ගිහින් සේවය කරන්න. ඇයි එයාලා ගයනාව තෝරගත්තේ? එරිකා ඒකට හේතුව විස්තර කෙරුවේ මෙහෙමයි. “එහෙ සේවය කරන්න ගිය යුවළක් අපි දැනං හිටියා. එයාලා සේවය කළේ ලොකු උද්‍යෝගයකින්. පුදුම සතුටකින්. ඒක දැක්කාම අපිටත් එහෙ යන්න හිතුණා.” එරිකා සහ ගාත් අවුරුදු තුනක් සතුටින් ගයනාවේ සේවය කළා. ‘එහේ කරපු සේවය කවදාවත් අමතක වෙන්නේ නැහැ’ කියලා ඒ දෙන්නාම කියනවා. තමන්ගේ “ප්‍රියතම පැවරුම” විදිහටයි එයාලා ඒක හඳුන්වනවා. “වෙනත් රටක සේවය කරන එක කොච්චර සුන්දර අද්දැකීමක්ද කියලා අපි රස බලලාම දැනගත්තා” කියලා ගාත් කියනවා. පස්සේ කාලෙක ඒ යුවළට ගිලියද් පාසලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. දැන් එයාලා සේවය කරන්නේ බොලිවියාවේ.

වෙනත් රටකට ගිහින් සේවය කරන අයට හොඳ බයිබල් සාකච්ඡාවන් පවත්වන්න අවස්ථාව ලැබෙනවා

එයාලා සූදානම් වුණේ කොහොමද?

 සරල ජීවිතයක් ගත කරන්න කියලා බයිබලයේ අපිට දිරිගන්වලා තියෙනවා. (හෙබ්‍රෙව් 13:5) ජීවිතයේ ලොකු තීරණ ගන්න කලින් වියදම ගණන් බලන්න කියලත් අපිට උනන්දු කරනවා. (ලූක් 14:26-33) එහෙම බලද්දී වෙන රටක පදිංචියට යන එක බැරෑරුම් තීරණයක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ! ගාත් මෙහෙම කියනවා. “ගයනාවේ පදිංචියට යන්න කලින් අපේ ජීවිතේ සරල කරගන්න එරිකාටයි මටයි සිද්ධ වුණා. අපේ ව්‍යාපාරය, අපේ ගේ, පාවිච්චියට ගත්ත නැති බඩු අපි විකුණුවා. ඒ දේවල් කරගන්න අවුරුදු කිහිපයක් ගත වුණා. ඒත් ඒ කාලය අතරතුර ගයනාවේ සේවය කරන්න අපිට තිබ්බ ආසාව නැති වෙන්න අපි ඉඩ දුන්නේ නැහැ. ඒ ඉලක්කය මනසේ තියාගෙන අපි අවුරුද්දකට සැරයක් එහෙට ගිහින් ආවා.”

ශිනෙයිඩ් සහ පෝල්

 ආදායම් මාර්ගයක් ගැනත් හිතලා බලන්න ඕනේ. වෙනත් රටක සේවය කරන සහෝදරයන්ට ඒ රටේ නීතියෙන් අවසර දෙනවා නම් එහෙ ඉඳන් රස්සාවක් කරන්න පුළුවන්. සමහර අය තමන්ගේ රටේ ඉද්දී කරපු රස්සාවම වෙනත් රටකට ගියාට පස්සේ ඉන්ටර්නෙට් එක හරහා කරනවා. තවත් සමහරු ටික කාලයකට තමන්ගේ රටට ගිහිල්ලා රස්සාවක් කරලා ආපහු එනවා. ගයනාවේ සේවය කරන්න ගිය පෝල් සහ ශිනෙයිඩ් යුවළත් ඒ විදිහට වැඩ කරන්න අවුරුද්දකට සැරයක් එයාලගේ රට වන අයර්ලන්තයට ගියා. එහෙම කරපු නිසා අවුරුදු 18ක්ම ගයනාවේ සේවය කරන්න එයාලට පුළුවන් වුණා. එයාලගේ දුව ඉපදුණාට පස්සෙත් අවුරුදු හතක් එයාලා එහෙ සේවය කළා.

ක්‍රිස්ටෝෆර් සහ ලොරිසා

 “ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට භාර දෙන්න. ඔහු මත රඳා සිටින්න. එවිට ඔහු ඔබ වෙනුවෙන් නිසි පියවර ගනියි” කියලා ගීතාවලිය 37:5 කියනවා. ඇමරිකාවේ හිටපු ක්‍රිස්ටෝෆර් සහ ලොරිසා කළෙත් ඒකයි. එයාල යෙහෝවා දෙවියන් මත රඳලා වෙනත් රටක සේවය කරන්න එයාලට තිබුණ ඉලක්කය ගැන නිතරම යාච්ඤා කළා. ඒ විතරක් නෙමෙයි ඒ ඉලක්කය ජය ගන්න එයාලාගේ පැත්තෙන් කරන්න ඕන දේවල් ගැනත් පවුලේ නමස්කාරයේදී සලකලා බැලුවා. ඒ වගේ තීරණයක් ගන්න එකේ වාසි අවාසිත් සටහන් කරගත්තා. එයාලට ඕන වුණා එයාලා කතා කරන භාෂාවම කතා කරන අය ඉන්න තැනකට යන්න. ඉතිං ගයනාවේ නිල භාෂාව ඉංග්‍රීසි නිසා එයාලා ගයනාව තෝරගත්තා.

 ඊළඟට එයාලා හිතෝපදේශ 15:22 සඳහන් ප්‍රතිපත්තියට අනුව දේවල් කළා. “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි. නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි” කියලා ඒ පදයේ කියනවා. ඉතිං සේවය කරන්න තිබුණ ආසාව ගැනත් එයාලගේ විස්තරත් සඳහන් කරලා ගයනාවේ වැඩකටයුතු අධීක්ෂණය කරන ශාඛා කාර්යාලයට b එයාලා ලියුමක් ලිව්වා. ඒ රටේ තියෙන වෛද්‍ය සේවාවන්, දේශගුණය සහ සිරිත් විරිත් ගැනත් එයාලා විමසුවා. ශාඛා කාර්යාලය එයාලගේ ප්‍රශ්නවලට පිළිතුරු දීලා එයාලට සේවය කරන්න පැවරුම ලැබෙන ප්‍රදේශයේ ඉන්න වැඩිමහල් මණ්ඩලයේ සහෝදරයන්වත් සම්බන්ධ කරලා දුන්නා.

 කලින් සඳහන් කළ ලයිනල් දැන් ගයනාවේ චාරිකා සේවකයෙක් විදිහට සේවය කරනවා. ගයනාවේ පදිංචියට යන්න කලින් එයාත් හිතෝපදේශ 15:22 සඳහන් ප්‍රතිපත්තිය අදාළ කරගත්තා. එයා මෙහෙම කියනවා. “ගමනට අවශ්‍ය සල්ලි ලෑස්ති කරගන්නවාට අමතරව වෙනත් රටවල සේවය කරපු සහෝදර සහෝදරියන් එක්කත් මං කතා කළා. මගේ පවුලේ අය එක්ක සභාවේ වැඩිමහල්ලන් එක්ක වගේම අපේ චාරිකා සේවක එක්කත් මං කතා කළා. ඒ වගේම ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවල සේවය කරන එක ගැන අපේ ප්‍රකාශනවල තියෙන හැම තොරතුරක්ම වගේ මං කියෙව්වා.”

ජෝසෆ් සහ ක්‍රිස්ටීනා

 වෙනත් රටක සේවය කරන්න කැමති හුඟක් අය මුලින්ම තමන් තෝරගත්ත රට බලන්න යනවා. ඒක ඥානවන්ත දෙයක්. “අපි ගයනාව බලන්න ගිය මුල් අවස්ථාවේදී මාස තුනක් එහෙ නැවතිලා හිටියා” කියලා ජෝසෆ් සහ ක්‍රිස්ටීනා කියන යුවළ කියනවා. “එහෙ ජීවත් වෙන එක කොයි වගේද කියලා ඒ කාලය ඇතුළත තේරුම්ගන්න අපිට පුළුවන් වුණා. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා හැම දෙයක්ම සැලසුම් කරලා ගයනාවේ පදිංචියට ගියා.”

ඒ ජීවිතයට එයාලා පුරුදු වුණේ කොහොමද?

ජොෂුවා

 වෙනත් රටක සාර්ථකව සේවය කරන්න නම් ඒකට ඉදිරිපත් වන සහෝදර සහෝදරියන් ගොඩක් කැප කිරීම් කරන්න කැමැත්තෙන් ඉන්න ඕනේ. ඒ වගේම ඒ රටේ තත්වයන්ට සහ සිරිත් විරිත්වලට එයාලා හැඩගැහෙන්නත් ඕනේ. උදාහරණයක් හැටියට උණුසුම වැඩි රටවල්වල ගෙවල් ඇතුළේ එක එක ජාතියේ කෘමීන් ඉන්නවා. කලින් සඳහන් කරපු ජොෂුවා මෙහෙම කියනවා. “එච්චර කෘමීන් ගොඩක් මං කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඒ මදිවට ගයනාවේ ඉන්න කෘමීන් මහ විසාලයි! ඒත් කාලයක් යද්දී ඒක මට එච්චර ගාණක් වුණේ නැහැ. ගේ අස්පස් කරලා පිරිසිදුවට තියාගත්තොත් ගෙට කෘමීන් එන එක අඩු කරගන්න පුළුවන් කියලා මට තේරුණා. ඒකට කාපු බීපු ගමන්ම පිඟන් කෝප්ප හෝදලා, කුණු ටික වීසි කරලා නිතරම ගේ පිරිසිදු කරන එක හරිම වැදගත්.”

 වෙනත් රටක ජීවිතයට හුරු වෙන්න නම් සමහරවිට කවදාවත් කාලා නැති කෑම වර්ග කන්නත් ඒවා හදන්නත් ඉගෙනගන්න වෙනවා. ජොෂුවා මෙහෙම කියනවා. “අපි ඉන්න පැත්තේ තියෙන ආහාර වර්ග පාවිච්චි කරලා කෑම හදන හැටි අපිට කියලා දෙන්න කියලා මායි, මාත් එක්ක නතර වෙලා හිටපු සහෝදරයයි එහෙ ඉන්න සහෝදර සහෝදරියන්ට කිව්වා. කෑමක් හදන හැටි ඉගෙනගත්තාට පස්සේ සභාවේ කිහිපදෙනෙකුට එන්න කියලා අපි ඒක එයාලා එක්ක බෙදාගෙන කෑවා. සහෝදර සහෝදරියන්ව දැන හඳුනාගන්නත් එයාලා එක්ක තියෙන බැඳීම වැඩි කරගන්නත් ඒක හොඳ අවස්ථාවක් වුණා.”

පෝල් සහ කැත්ලීන්

 පෝල් සහ කැත්ලීන් මෙහෙම කියනවා. “මෙහෙ තියෙන සිරිත් විරිත් ඉගෙනගන්නත් උණුසුම් දේශගුණයක් තිබුණත් විනීතව අඳින්නත් අපිට සිද්ධ වුණා. අවශ්‍ය වෙනස්කම් කරන්න අපිට නිහතමානී වෙන්න වුණා. බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි දේවල් නොකර ඒ රටේ සිරිත් විරිත්වලට අනුව හැඩගැහෙන්න අපි ඉගෙනගත්තා. එහෙම කරපු එක සහෝදරයන්ට ළං වෙන්න වගේම සේවයේදී හමු වෙන මිනිසුන්ගේ හිත් දිනාගෙන පණිවිඩය දේශනා කරන්න උදව් වුණා.”

ඔවුන්ට ලැබුණ ප්‍රයෝජන මොනවාද?

 හුඟක් සහෝදරයන්ට තියෙන්නේ ජෝසෆ් සහ ක්‍රිස්ටීනාට තියෙන මේ අදහසමයි. “ලැබුණ ආශීර්වාද එක්ක බලද්දී මුහුණ දෙන්න වුණු අභියෝගයි දුෂ්කරතායි මොනවාද කියලා හිතෙනවා. අපිට කරන්න අමාරුයි කියලා හිතුණු නුහුරු දේවල් වුණත් කරන්න අපි පුරුදු වුණා. ඒ නිසා අපිට නැතුවම බැහැ කියලා හිතුණ සමහර දේවල් ඇත්තටම ඒ තරම් වැදගත් නැහැයි කියලා අපිට තේරුණා. දිගටම යෙහෝවා දෙවියන් වෙනුවෙන් පුළුවන් උපරිමය කරන්න අපිට ලැබුණ හැම අද්දැකීමක්ම ලොකු උදව්වක් වුණා. අපිට දැනුණේ කියලා නිම කරන්න බැරි සතුටක්.”

 කලින් සඳහන් කළ එරිකා මෙහෙම කියනවා. “ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයක සේවය කරන එකෙන් මටයි මගේ මහත්තයාටයි පුළුවන් වුණා යෙහෝවා දෙවියන්ව විශ්වාස කරනවා කියන එකේ නියම තේරුම අවබෝධ කරගන්න. යෙහෝවා දෙවියන් අපිට උදව් කරන විදිහ අපි කලින්ටත් වඩා අද්දැක්කා. එකතු වෙලා අලුත් දෙයක් කරද්දී අපි දෙන්නා අතර තිබුණ බැඳීමත් තව ශක්තිමත් වුණා.”

a ගයනාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැන දැනගන්න ‘2005 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත’ බලන්න.

b ට්‍රිනීඩෑඩ් සහ ටොබැගෝ ශාඛා කාර්යාලය.