Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

ගීතාවලිය 46:10 - “නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්”

ගීතාවලිය 46:10 - “නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්”

 “ජනයෙනි, යටත් වන්න. මම දෙවි බව දැනගන්න. ජාතීන් අතරේ මම උසස් වන්නෙමි. මුළු පොළොවෙහිම ගෞරවය මට ලැබෙන්නේය.”—ගීතාවලිය 46:10, ‘නව ලොව පරිවර්තනය.’

 “නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස්වන්නෙමි. පොළොවෙහි උසස්වන්නෙමි.”—ගීතාවලිය 46:10, ‘පැරණි අනුවාදය.’

ගීතාවලිය 46:10 අදහස

 යෙහෝවා දෙවියන් තමයි මේ පොළොව පාලනය කරන්න අයිතිය තියෙන එකම තැනැත්තා. ඒක තේරුම් අරන් හැම කෙනෙක්ම ඔහුට නමස්කාර කරයි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා. දෙවියන්ට තරම් බලයක්, අධිකාරියක් වෙන කිසිම කෙනෙක්ට නැහැ. සදාකාල ජීවිතය ලබන්න කැමති හැම කෙනෙක්ම ඒ කාරණය පිළිගන්නම ඕනේ.—එළිදරව් 4:11.

 “ජනයෙනි, යටත් වන්න. මම දෙවි බව දැනගන්න.” සමහර බයිබල් පරිවර්තනවල මේ බයිබල් පදය පටන්ගන්නේ “නිශ්චලවව්” කියන වචනවලින්. ඒක වැරදියට තේරුම්ගත්ත සමහර අය හිතනවා ඒකෙන් කියන්නේ පල්ලියේදී හරිම ගෞරවාන්විතව, නිශ්ශබ්දව ඉන්න ඕනෙ කියන එකයි කියලා. හැබැයි මුල් හෙබ්‍රෙව් භාෂාවට අනුව ඒකේ හරිම අදහස තමයි “ජනයෙනි, යටත් වන්න. මම දෙවි බව දැනගන්න” කියන එක. ඒ විදිහට යෙහෝවා a දෙවියන් හැම ජාතියකටම අයිති අයගෙන් ඉල්ලන්නේ ඔහුට විරුද්ධ වෙන එක නතර කරලා ඔහුගේ පාලනයට යටත් වෙන්න කියලා. ඒ වගේම නමස්කාරය ලබන්න වටින එකම තැනැත්තා දෙවියන් විතරයි කියන එක පිළිගන්න කියලා.

 දෙවියන් මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන ඒ දේ ගැන ගීතාවලිය දෙවෙනි පරිච්ඡේදයෙත් සඳහන් වෙනවා. එතන දෙවියන් කියනවා ඔහුගේ පාලනය පිළිගන්නේ නැති අයට විරුද්ධව ඔහු පියවර ගන්නවා කියලා. අනිත් අතට දෙවියන්ගේ පාලනය පිළිගන්න අය හැම තිස්සෙම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා. ඔහුගෙන් ප්‍රඥාව සහ ශක්තිය ඉල්ලනවා. ඒ විදිහට “ඔහුගේ රැකවරණය සොයන” අයට ප්‍රශ්න ගැටලුවලින් පිරුණ මේ කාලේදී වුණත් ලොකු සතුටක්, ආරක්ෂාවක් ලැබෙනවා.—ගීතාවලිය 2:9-12.

 “ජාතීන් අතරේ මම උසස් වන්නෙමි. මුළු පොළොවෙහිම ගෞරවය මට ලැබෙන්නේය.” අතීතයේදී දෙවියන් තමන්ගේ සෙනඟව ගලවගන්න ඔහුගේ බලය පාවිච්චි කරපු අවස්ථාවලදී ඔහුගේ නම ගෞරවයට පත් වුණා. (නික්මයාම 15:1-3) ළඟදීම මේ පොළොවේ ඉන්න හැම කෙනෙක්ම ඔහුගේ පාලනය පිළි අරන් ඔහුට විතරක් නමස්කාර කරන දවසක් එනවා. වෙන කවදාටත් වඩා එදාට ඔහුගේ නම ගෞරවයට පත් වෙනවා.—ගීතාවලිය 86:9, 10; යෙසායා 2:11.

ගීතාවලිය 46:10 අවට පද

 එක පොතක කියනවා “ගීතාවලිය 46 තියෙන්නේ දෙවියන් ඔහුගේ සෙනඟව ගලවගත්ත එක ගැන සෙනඟ ඔහුට ප්‍රශංසා කරලා ගයපු ගීතිකාවක්” කියලා. දෙවියන්ගේ සෙනඟට ලොකු විශ්වාසයක් තිබුණා ඕනම දේකට මුහුණ දෙද්දී තමන්ව ගලවගන්න දෙවියන්ට පුළුවන් කියලා. ඒ විශ්වාසය ගැන තමයි මේ ගීතිකාවෙන් කියවෙන්නේ. (ගීතාවලිය 46:1, 2) දෙවියන් එයාලා එක්කම ඉන්නවා කියලා මේ ගීතිකාව කියන හැම වතාවකම එයාලට මතක් වෙන්න ඇති.—ගීතාවලිය 46:7, 11.

 දෙවියන් තමන්ගේ සෙනඟව ආරක්ෂා කරන්න කරලා තියෙන පුදුමාකාර දේවල් මතක් කරගෙන ඒ ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න කියලා ගීතිකාකරු හැමෝටම ආරාධනා කරනවා. (ගීතාවලිය 46:8) ඒ ගීතිකාවේ විශේෂයෙන්ම කතා කරන්නේ යුද්ධවලට නිමාවක් ගේන්න දෙවියන්ට තියෙන හැකියාව ගැන. (ගීතාවලිය 46:9) අතීතයේදී තමන්ගේ සෙනඟව සතුරන්ගෙන් ආරක්ෂා කරන්න දෙවියන් හුඟක් අවස්ථාවලදී යුද්ධ නවත්තලා තියෙනවා. ඉස්සරහට ඔහු ඒක මහා පරිමාණයෙන් කරන්න යනවා. මොකද බයිබලේ පොරොන්දු වෙනවා දෙවියන් ළඟදීම මේ පොළොව පුරාම සිද්ධ වෙන යුද්ධ සම්පූර්ණයෙන්ම නවත්තලා දානවා කියලා.—යෙසායා 2:4.

 යෙහෝවා දෙවියන් අදත් ඔහුගේ සේවකයන්ට උදව් කරනවාද? නියෝජිත පාවුල් ක්‍රිස්තියානීන්ට දිරිගැන්නුවේ දිගටම යෙහෝවා දෙවියන්ගෙන් රැකවරණය පතන්න කියලා. (හෙබ්‍රෙව් 13:6) අපි බලපු විදිහට අපේ ආරක්ෂාවට යෙහෝවා දෙවියන් ඉන්නවා කියන එක ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න ගීතාවලිය 46 තියෙන වචන අපිට උදව් වෙනවා. ඒ වගේම දෙවියන්ව ‘අපේ රැකවරණයය සහ ශක්තිය’ කරගන්නත් මේ ගීතිකාව අපිට ලොකු උදව්වක්.—ගීතාවලිය 46:1.

 ගීතාවලිය පොත ගැන සාරාංශයක් දෙන මේ කෙටි වීඩියෝ එක බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.