Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

යෙරෙමියා 29:11 - “මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි”

යෙරෙමියා 29:11 - “මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි”

 “යෙහෝවා a දෙවි මෙසේද පැවසුවේය. ‘මාගේ අරමුණ වන්නේ ඔබ පිටට විපත්ති ගෙන ඒම නොවේ. නමුත් සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් ඔබට ලබා දීමය.’”—යෙරෙමියා 29:11, ‘නව ලොව පරිවර්තනය.’

 “මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.”—යෙරෙමියා 29:11, ‘පැරණි අනුවාදය.’

යෙරෙමියා 29:11 අදහස

 ඔහුගේ සේවකයන්ට සමාදානයෙන් පිරුණු අනාගතයක් දෙනවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වුණා. ඒ වචන ලිව්වේ අතීතයේ හිටපු දෙවියන්ගේ සෙනඟ වෙනුවෙන් වුණත් අද ඉන්න දෙවියන්ගේ සෙනඟ ගැනත් ඔහුට තියෙන්නේ ඒ අරමුණමයි. ‘බලාපොරොත්තුවක් දෙන දෙවියන්’ ඔහුයි. (රෝම 15:13) අනාගතය ගැන ‘බලාපොරොත්තුවක් ඇතුව ඉන්න’ අපිට උදව් කරන්නයි ඒ වගේ පොරොන්දු ඔහු බයිබලයට ඇතුළත් කළේ.—රෝම 15:4.

යෙරෙමියා 29:11 අවට පද

 ඒ වචන යෙරුසලමේ ඉඳන් බැබිලෝනියේ වහල්භාවයට අරන් ගිය ඊශ්‍රායෙල්වරුන්ට ලියපු ලියුමක කොටසක්. b (යෙරෙමියා 29:1) වහල්භාවයේ ඉන්න අයට දෙවියන් කිව්වා එයාලා සෑහෙන කාලයක් වහල්භාවයේ ඉන්න යනවා කියලා. ඒ නිසා ගෙවල් ගොඩනඟන්න කියලත් වගාකටයුතු කරන්න කියලත් දරුදැරියන් බිහි කරන්න කියලත් දෙවියන් එයාලට කිව්වා. (යෙරෙමියා 29:4-9) ඒත් දෙවියන් එයාලට මෙහෙමත් කිව්වා. “බැබිලෝනියේ ජීවත් වීමට නියම කර ඇති අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ විට මම ඔබව සිහි කරන්නෙමි. ඔබේ මව්බිමට ඔබව නැවත රැගෙන එන බවට මා දුන් පොරොන්දුව එදාට ඉෂ්ට කරන්නෙමි.” (යෙරෙමියා 29:10) දෙවියන් එහෙම කිව්වේ ඔහුට එයාලව කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලත් එයාලගේ මව්බිම වන යෙරුසලමට යන්න එයාලට තියෙන බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන දේත් සහතික කරන්නයි.—යෙරෙමියා 31:16, 17.

 දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට වුණ පොරොන්දුව ඔහු ඉටු කළා. ඔහු කියපු විදිහටම පර්සියාවේ රජ සයිරස් බැබිලෝනිය යටත් කරගත්තා. (යෙසායා 45:1, 2; යෙරෙමියා 51:30-32) ඊටපස්සේ යුදෙව්වන්ට එයාලගේ මව්බිමට ආයෙත් යන්න සයිරස් ඉඩ දුන්නා. අවුරුදු 70ක් වහල්භාවයේ හිටියාට පස්සේ එයාලා ආයෙත් යෙරුසලමට ආවා.—2 ලේකම් 36:20-23; එස්රා 3:1.

 යෙරෙමියා 29:11 සඳහන් පොරොන්දුව දෙවියන් ඉටු කරපු නිසා අද ඔහුගේ පොරොන්දු ගැන බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඔහු ඒ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියන නිසැකකම ඇතුව ඉන්න පුළුවන්. ඒ පොරොන්දුවලින් එක පොරොන්දුවක් තමයි යේසුස් රජකම් කරන දේවරාජ්‍යය මාර්ගයෙන් මේ පොළොවට සාමය උදා කරන එක.—ගීතාවලිය 37:10, 11, 29; යෙසායා 55:11; මතෙව් 6:10.

යෙරෙමියා 29:11 ගැන තියෙන වැරදි අදහස්

 වැරදි අදහස: එක් එක් පුද්ගලයා ගැන දෙවියන්ට ‘යෝජනාවක්’ එහෙම නැත්නම් අරමුණක් තියෙනවා.

 නිවැරදි අදහස: තමන් ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා තීරණය කරන්න දෙවියන් හැමෝටම ඉඩ දීලා තියෙනවා. යෙරෙමියා 29:11 සඳහන් දේ දෙවියන් කියන්නේ තනි පුද්ගලයෙක්ට නෙමෙයි. බැබිලෝනියේ හිටපු ඔහුගේ සෙනඟ ගැන ඔහුට තිබුණ අරමුණ ගැනයි දෙවියන් සඳහන් කරන්නේ. ඒ තමයි එයාලට සාමයෙන් පිරුණු ජීවිතයක් ලබා දෙන එක. (යෙරෙමියා 29:4) ඒත් දෙවියන් දීලා තියෙන පොරොන්දුව ගැන විශ්වාසය තියලා වැඩ කරනවාද නැද්ද කියන තීරණය ගන්න දෙවියන් එක් එක් පුද්ගලයාට ඉඩ දුන්නා. (ද්විතීය කතාව 30:19, 20; යෙරෙමියා 29:32) දෙවියන්ගේ පොරොන්දුව ගැන විශ්වාසය තියලා වැඩ කරන්න තීරණය කරපු අය මුළු හදවතින්ම දෙවියන්ට යාච්ඤා කළා.—යෙරෙමියා 29:12, 13.

 වැරදි අදහස: දෙවියන් ඔහුගේ සේවකයන්ට ධන සම්පත් දීලා ආශීර්වාද කරනවා.

 නිවැරදි අදහස: යෙරෙමියා 29:11 “සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක්” හැටියට පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනය සමහර බයිබල්වල පරිවර්තනය කරලා තියෙන්නේ “සෞභාග්‍යය” හැටියට. අවට පද දිහා බලද්දී පැහැදිලි වෙනවා වහල්භාවයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් දෙනවා කියලා පොරොන්දු වුණේ ධන සම්පත් නෙමෙයි සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් කියලා. දෙවියන් ජාතියක් විදිහට ඒ අයව විනාශ වෙලා යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ අය දවසක ආයෙත් යෙරුසලමට එනවා.—යෙරෙමියා 29:4-10.

යෙරෙමියා 29වෙනි පරිච්ඡේදය කියවද්දී ඒකට අදාළ විස්තරාත්මක පාදසටහන් සහ යොමු දැක්වීම් බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.

b බයිබලයේ සඳහන් වචන සහ යෙදුම් ගැන අදහස් දක්වන පොතක යෙරෙමියා 29:11 ගැන මෙහෙම කියලා තියෙනවා. “මේ පොරොන්දුවෙන් තමයි වහල්භාවයේ හිටපු අය ගැන ‘යාහ්වේට’ [යෙහෝවාට] මොන තරම් දයානුකම්පාවක් දැනුණාද කියලා හොඳින්ම පැහැදිලි වෙන්නේ. එයාලට බලාපොරොත්තුවක් ඇතුව ඉන්න පුළුවන් ඇයි කියලා මේ පදයෙන් පැහැදිලිවම කියනවා.”—The Expositor’s Bible Commentary. Volume 7, page 360.