Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

එළිදරව් 21:1 - ‘අලුත් අහසක් සහ අලුත් පොළොවක්’

එළිදරව් 21:1 - ‘අලුත් අහසක් සහ අලුත් පොළොවක්’

 “මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටුවෙමි. මන්ද මුලින් තිබූ අහසත් මුලින් තිබූ පොළොවත් පහව ගොස් තිබිණ. මුහුදද තවත් දක්නට නොලැබිණ.”—එළිදරව් 21:1, ‘නව ලොව පරිවර්තනය.’

 “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහවගියේය; මුහුදද තවත් නොවීය.”—එළිදරව් 21:1, ‘පැරණි අනුවාදය.’

එළිදරව් 21:1 අදහස

 මේ පදයේ සංකේතාත්මක විදිහට විස්තර කරලා තියෙන්නේ ස්වර්ගයේ පිහිටුවලා තියෙන දෙවියන්ගේ ආණ්ඩුවෙන් මේ පොළොවේ තියෙන මිනිස්සුන්ගේ පාලන අයින් කරන එක ගැනයි. එදාට දෙවියන්ගේ ආණ්ඩුවෙන් මේ පොළොවේ ඉන්න දුෂ්ට මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම අතුගාලා දානවා. ඊටපස්සේ දෙවියන්ට කැමැත්තෙන්ම කීකරු වෙන අය ඒ පාලනය යටතේ සදහටම ජීවත් වෙනවා.

 එළිදරව් පොත ලියලා තියෙන්නේ “සංකේත යොදාගෙනයි.” (එළිදරව් 1:1) ඒ නිසා ඒකේ කතා කරන අහස සහ පොළොව ඇත්තම අහස, පොළොව වෙන්න බැහැ. ඒකෙන් යම් දෙයක් නියෝජනය වෙන්න ඕනේ. ඊට අමතරව බයිබලේ තවත් පොත්වලත් “අලුත් අහස” සහ “අලුත් පොළොව” ගැන කතා කරලා තියෙනවා. (යෙසායා 65:17; 66:22; 2 පේතෘස් 3:13) ඉතින් ඒ තොරතුරු සන්සන්දනය කරලා බලද්දී “අලුත් අහසෙන්” සහ “අලුත් පොළොවෙන්” ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද කියලා අපිට ඉඟියක් ගන්න පුළුවන්.

 “අලුත් අහස.” බයිබලේ සමහර වෙලාවට “අහස” නැත්නම් “ස්වර්ගය” කියන වචන පාවිච්චි කරලා තියෙන්නේ යම් පාලනයක් නැත්නම් ආණ්ඩුවක් විස්තර කරන්නයි. (යෙසායා 14:12-14; දානියෙල් 4:25, 26) එක මූලාශ්‍රයකත් සඳහන් වෙනවා “දෙවියන්ගේ සේවකයන් දැකපු අනාවැකි ඇතුළත් දර්ශනවල අහස කියද්දී ඒකෙන් පාලන බලයක් සහ ආණ්ඩු සංකේතවත් වෙනවා” කියලා. a එහෙමනම් එළිදරව් 21:1 “අලුත් අහස” කියලා කියන්නේ දෙවියන්ගේ ආණ්ඩුවට කියලා පැහැදිලියි. ඒ ආණ්ඩුව එළිදරව් පොතෙත් බයිබලේ තවත් පොත්වලත් “ස්වර්ග රාජ්‍යය” කියලා හඳුන්වලා තියෙනවා. (මතෙව් 4:17; ක්‍රියා 19:8; 2 තිමෝති 4:18; එළිදරව් 1:9; 5:10; 11:15; 12:10) ඒ රාජ්‍යයේ රජ යේසුස්. ඔහු ළඟදීම “මුලින් තිබූ අහස” ඒ කියන්නේ පාපය උරුම කරගෙන තියෙන මිනිස්සුන්ගේ හැම ආණ්ඩුවක්ම මුලිනුපුටලා දානවා.—දානියෙල් 2:44; ලූක් 1:31-33; එළිදරව් 19:11-18.

 “අලුත් පොළොව.” බයිබලේ කියනවා අපි පය ගහලා ඉන්න මේ පොළොව කවදාවත් විනාශ වෙන්නේ නැහැ කියලා. (ගීතාවලිය 104:5; දේශනාකාරයා 1:4) ඒ වගේම දෙවියන් කවදාවත් මේ පොළොව අයින් කරලා ඒ වෙනුවට අලුත් පොළොවක් හදන්නෙත් නැහැ. එහෙනම් එළිදරව් පොතේ පොළොව කියද්දී ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද? බයිබලේ හුඟක් වෙලාවට “පොළොව” කියන යෙදුම පාවිච්චි කරලා තියෙන්නේ මිනිස්සුන්ව විස්තර කරන්න. (උත්පත්ති 11:1; 1 ලේකම් 16:31; ගීතාවලිය 66:4; 96:1) ඒ තොරතුරුවලින් පැහැදිලියි බයිබලේ “අලුත් පොළොව” කියලා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ දෙවියන්ගේ පාලනයට කැමැත්තෙන්ම කීකරු වෙන අලුත් මිනිස් සමාජයකට කියලා. එතකොට “මුලින් තිබූ පොළොවට” ඒ කියන්නේ දෙවියන්ගේ පාලනයට විරුද්ධ වෙන අයට මොකද වෙන්නේ? ඒ අය සදහටම විනාශ වෙනවා.

 “මුහුදද තවත් නොවීය.” එළිදරව් 21:1 කියන අනිත් දේවල් වගේම ඒකේ කතා කරන “මුහුදත්” සංකේතවත් එකක්. අපි දන්නවා මුහුදක නිතරම වගේ කුණාටු ඇති වෙනවා. ඒ වගේම මුහුදක් හැම වෙලාවෙම වගේ තියෙන්නේ කැලඹිලා. අද දෙවියන්ගෙන් ඈත් වෙලා ඉන්න දුෂ්ට මිනිස්සුත් කොයි වෙලෙත් ඉන්නේ කැලඹිලා, හරියට මුහුද වගේ. (යෙසායා 17:12, 13; 57:20; එළිදරව් 17:1, 15) ඒ දුෂ්ට මිනිස්සුන්ට වෙන දේ ගැන ගීතාවලිය 37:10 මෙහෙම කියනවා. “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය.”

එළිදරව් 21:1 අවට පද

 එළිදරව් පොතේ කතා කරලා තියෙන්නේ “ස්වාමීන්ගේ දවසේ” සිද්ධ වෙන දේවල් ගැන. (එළිදරව් 1:10) බයිබලේ තියෙන අනාවැකිවලට අනුව ඒ දවස පටන්ගත්තේ 1914 යේසුස් ස්වර්ගයේ රජ වෙනවාත් එක්කම. b හැබැයි යේසුස් රජ වුණ ගමන්ම මේ පොළොව පාලනය කරන්න පටන්ගත්තේ නැහැ. ඒ වෙනුවට බයිබලේ තියෙන අනාවැකිවලින් පේනවා “ස්වාමීන්ගේ දවස” පටන්ගන්නවාත් එක්කම මේ පොළොවේ තත්වය තව තවත් නරක අතට හැරෙනවා කියලා. ඒ කාලය බයිබලේ හඳුන්වලා තියෙන්නේ “අවසාන කාලය” කියලා. (2 තිමෝති 3:1-5, 13; මතෙව් 24:3, 7; එළිදරව් 6:1-8; 12:12) ඒත් ඊටපස්සේ මොකද වෙන්නේ? බයිබලේ කියනවා මේ ප්‍රශ්න ගැටලුවලින් පිරුණු “අවසාන කාලය” අවසානයේදී දෙවියන්ගේ ආණ්ඩුවෙන් සංකේතවත් අහස සහ පොළොව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා කියලා. ඊටපස්සේ උදා වෙන්නේ සාමය, සතුට පිරුණු කාලයක්! ඒ කාලේදී “අලුත් පොළොවට” ඒ කියන්නේ දේවරාජ්‍යයට කැමැත්තෙන්ම සහයෝගය දෙන මිනිස්සුන්ට අවස්ථාව ලැබෙනවා ලෙඩක්, දුකක් නැතුව හැමදාටම මේ පොළොවේ සතුටින් ජීවත් වෙන්න.—එළිදරව් 21:3, 4.

 එළිදරව් පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a McClintock and Strong’s Cyclopedia (1891), IV වෙළුම, 122වෙනි පිටුව.