Skip to content

නව යෙරුසලම කියන්නේ මොකක්ද?

නව යෙරුසලම කියන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 “නව යෙරුසලම” කියන යෙදුම බයිබලයේ ස්ථාන දෙකක සඳහන් වෙනවා. ඒ යෙදුම බයිබලයේ පාවිච්චි කරලා තියෙන්නේ දේවරාජ්‍යයේ රජ වන යේසුස්ගේ හවුල් පාලකයන් විදිහට යේසුස්ට සහය වෙන්න ස්වර්ගයට යන ඔහුගේ අනුගාමිකයන්ව හඳුන්වන්නයි. (එළිදරව් 3:12; 21:2) ඒ අයව ක්‍රිස්තුස්ගේ මනාලිය කියලත් බයිබලයේ හඳුන්වලා තියෙනවා.

නව යෙරුසලම කියන්නේ මොකක්ද කියලා දැනගන්නේ කොහොමද?

  1.   නව යෙරුසලම තියෙන්නේ ස්වර්ගයේ. බයිබලයේ නව යෙරුසලම ගැන සඳහන් වෙන ස්ථානවල ඒක ස්වර්ගයෙන් බැස එනවා කියලත් සඳහන් වෙනවා. ඒ නගරයේ දොරටු ළඟ දේවදූතයන් හිටියා කියලත් බයිබලේ කියනවා. ඒකෙන් පැහැදිලියි නව යෙරුසලම කියන්නේ ස්වර්ගයේ තියෙන දෙයක් කියලා. (එළිදරව් 3:12; 21:2, 10, 12, 12) ඒ නගරයේ විශාලත්වයෙනුත් ඒක පොළොවේ තියෙන දෙයක් නෙමෙයි කියලා ඔප්පු වෙනවා. මොකද ඒ නගරයේ දිග, පලල සහ උස “පර්ලොං 12,000ක්” කියලයි බයිබලයේ සඳහන් වෙන්නේ. a (එළිදරව් 21:16) ඒ කියන්නේ ඒ නගරයේ පැත්තක පවුර කිලෝමීටර් 560ක් විතර උසයි. ඒක කිසි මිනිසෙකුට හදන්න බැරි අභ්‍යවකාශය දක්වාම විහිදෙනවා.

  2.   නව යෙරුසලම හැදිලා තියෙන්නේ ක්‍රස්තුස්ගේ මනාලිය කියලා හඳුන්වන යේසුස්ගේ ගෝලයන් කණ්ඩායමකින්. නව යෙරුසලම “බැටළු පැටවාගේ භාර්යාව වන මනාලිය” කියලත් බයිබලයේ හඳුන්වනවා. (එළිදරව් 21:9, 10) එතන බැටළු පැටවා විදිහට හඳුන්වන්නේ යේසුස්වයි. (යොහන් 1:29; එළිදරව් 5:12) “බැටළු පැටවාගේ භාර්යාව” නැත්නම් ක්‍රිස්තුස්ගේ මනාලිය කියලා හඳුන්වන්නේ යේසුස් එක්ක හවුලේ රජකම් කරන්න ස්වර්ගයට යන ක්‍රිස්තියානීන්වයි. ඒ අය සහ යේසුස් අතර තියෙන බැඳීම සැමියෙක් සහ බිරිඳක් අතරේ තියෙන බැඳීමකට සමානයි කියලා බයිබලයේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා. (2 කොරින්ති 11:2; එෆීස 5:23-25) නව යෙරුසලම කියන නගරයේ අත්තිවාරම් ගල් 12 මත “බැටළු පැටවාගේ නියෝජිතයන් දොළොස්දෙනාගේ” නම් සඳහන් වෙනවා. (එළිදරව් 21:14) ස්වර්ගයේ ජීවත් වෙන්න සුදුසුකම් ලබන ක්‍රිස්තියානීන්ව, “ක්‍රිස්තුස්ගේ නියෝජිතයන් හා අනාගතවක්තෘවරුන්ගෙන් සෑදුණු අත්තිවාරමක් මත” ගොඩ නගලා තියෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. නව යෙරුසලම සැබෑ නගරයක් නෙමෙයි කියන එක ඒකෙන් අපිට පැහැදිලි වෙනවා.—එෆීස 2:20.

  3.   නව යෙරුසලම ආණ්ඩුවක කොටසක්. අතීතයේදී ඊශ්‍රායෙලයේ අගනුවර වුණේ යෙරුසලමයි. දාවිත්, සලමොන් සහ එයාලාගෙන් පැවත එන අය “යෙහෝවා දෙවිගේ පාලනය නියෝජනය කරමින්” රජකම් කළේ යෙරුසලමේ ඉඳලායි. (1 ලේකම් 29:23) ඒ නගරය “ශුද්ධ නුවර” කියලා එදා හැඳින්නුවා. මොකද ඒ නගරයේ රජවරුන් නියෝජනය කළේ යෙහෝවා දෙවිගේ පාලනයයි. (නෙහෙමියා 11:1) නව යෙරුසලමත් “ශුද්ධ නුවර” කියලා හඳුන්වනවා. මොකද ඒක හැදිලා තියෙන්නේ යේසුස් එක්ක ස්වර්ගයේ ඉඳන් පොළොව පාලනය කරන්නය යන පිරිසක්ගෙන් නිසා. ‘පොළොවේ රජකම එයාලාට භාර දීමට නියමිතයි.’—එළිදරව් 5:9, 10; 21:2.

  4.   නව යෙරුසලම මාර්ගයෙන් පොළොවේ වැසියන්ට ආශීර්වාද ලැබෙනවා. බයිබලයේ සඳහන් වෙන්නේ නව යෙරුසලම “දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එනවා” කියලයි. පොළොවේ තියෙන දේවල් මෙහෙයවන්න දෙවියන් නව යෙරුසලම පාවිච්චි කරනවා කියලා ඒකෙන් පැහැදිලියි. (එළිදරව් 21:2) “ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද” දෙවිගේ අරමුණ ඉටු කරනවා. (මතෙව් 6:10) ඒක කරන්නේ දෙවිගේ රාජ්‍යය මාර්ගයෙන්. නව යෙරුසලම “දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එනවා” කියන යෙදුමෙන් නව යෙරුසලමත් දෙවිගේ රාජ්‍යයත් අතර තියෙන සම්බන්ධය පැහැදිලි වෙනවා. මිනිසුන් වෙනුවෙන් දෙවිගේ අරමුණ ඉටු කරද්දී අද්දකින් ආශීර්වාද කිහිපයක් බලන්න.

    •   පාපය නැති කරනවා. නව යෙරුසලමෙන් “ජීවන වතුර ඇති ගංගාවක්” ගලාගෙන ඇවිත් ‘ජාතීන්ට සුවයක් ගෙන දෙන ජීවන වෘක්ෂ’ පෝෂනය කරනවා. (එළිදරව් 22:1, 2) මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? මිනිසුන්ට උරුම වෙලා තියෙන පාපය දෙවිගේ රාජ්‍යය මගින් නැති කරනවා. ඒ වගේම අසනීප හැම එකක්ම නැති කරලා දානවා. දෙවි මුලින් අරමුණු කළා වගේ පරිපූර්ණ අය වෙන්න මිනිසුන්ට ඒක උදව්වක්.—රෝම 8:21.

    •   දෙවියන් සහ මිනිසා අතර හොඳ බැඳීමක්. පාපය නිසා මිනිස්සු දෙවිගෙන් ඈත් වෙලා තියෙනවා. (යෙසායා 59:2) පාපය නැති වුණාම මේ අනාවැකිය මුළුමනින්ම ඉටු වෙයි. “දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවි ඔවුන් සමඟ සිටිනු ඇත.”—එළිදරව් 21:3.

    •   මරණය සහ වේදනාව නැති කරනවා. දෙවියන් ඔහුගේ රාජ්‍යය මාර්ගයෙන් මිනිසුන්ගේ “ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:4.

a පර්ලොං එකක් මීටර් 185ක් දිගයි. ඒක දිග මණින්න රෝමවරු භාවිතා කරපු මිම්මක්. පර්ලොං 12,000ක් කිලෝමීටර් 2,220ක් විතර වෙනවා.