Skip to content

ස්වාභාවික විපත් ගැන බයිබලයේ මොනවාද කියලා තියෙන්නේ?

ස්වාභාවික විපත් ගැන බයිබලයේ මොනවාද කියලා තියෙන්නේ?

බයිබලයේ ඒ ගැන කියන දේ

 අද අපි අහන දකින ස්වාභාවික විපත් ඇති කරන්නේ දෙවියන් නෙමෙයි. ඒ වෙනුවට ඒවා නිසා පීඩා විඳින අය ගැන දෙවියන් ගොඩක් සැලකිලිමත් වෙනවා. දේවරාජ්‍යය තුළින් දෙවියන් ස්වාභාවික විපත්ති ඇතුළු සියලුම හානිකර දේවල් නැති කරනවා. මේ කාලයේදී ඒවාට ගොදුරු වන අයට දෙවියන් සහනය දෙනවා.—2 කොරින්ති 1:3.

 ස්වාභාවික විපත් දෙවියන් දෙන දඬුවමක් නෙමෙයි කියලා අපි දන්නේ කොහොමද?

 අතීතයේදී දෙවියන් යම් විනිශ්චයක් දෙද්දී ස්වාභාවික බලයන් පාවිච්චි කළා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒත් ස්වාභාවික විපත් සහ ඒ සිද්ධීන් අතර ලොකු වෙනසක් තියෙනවා.

  •   ස්වාභාවික විපත්වලින් හොඳ අයටයි, නරක අයටයි දෙගොල්ලන්ටම හානි වෙනවා. ඒත් බයිබලයේ සඳහන් වෙන්නේ දෙවියන් විනාශ කළේ දුෂ්ට අය විතරයි කියලා. උදාහරණයකට සොදොම් සහ ගොමෝරා කියන පුරාණ නගර දෙක දෙවියන් විනාශ කරපු අවස්ථාවේදී ලොත් කියන යහපත් මිනිසාවත් එයාගේ දූවරුන් දෙදෙනාවත් දෙවියන් ආරක්ෂා කළා. (උත්පත්ති 19:29, 30) දෙවියන් විනාශ කළේ දුෂ්ට අයව විතරයි. මිනිසුන්ගේ හිතේ තියෙන දේ දැනගන්න දෙවියන්ට විශේෂ හැකියාවක් තියෙන නිසා එහෙම කරන්න ඔහුට පුළුවන්.—උත්පත්ති 18:23-32; 1 සාමුවෙල් 16:7.

  •   ස්වාභාවික විපත් ඇති වෙන්නේ හිටිහැටියෙමයි. ඒත් දෙවියන් ස්වාභාවික බලයන් පාවිච්චි කරලා දුෂ්ට මිනිසුන්ව විනාශ කරන්න කලින් අනතුරු අඟවලා තියෙනවා. ඒක අහලා දෙවියන්ට කීකරු වෙච්ච අයට විනාශයෙන් බේරෙන්න පුළුවන් වුණා.—උත්පත්ති 7:1-5; මතෙව් 24:38, 39.

  •   ස්වාභාවික විපත්තිවලට මිනිසුන් යම් දුරකට වග කියන්න ඕනේ. ඒ කොහොමද? මිනිස්සු පරිසරයට හානි වන දේවල් කරනවා. ඒ වගේම භූමිකම්පා, ජලගැලීම් සහ වෙනත් දරුණු ව්‍යසනයන් සිද්ධ වීමේ අවධානම වැඩි තැන්වල දැන දැනම ගොඩනැඟිලි ඉදි කරනවා. (එළිදරව් 11:18) මිනිසුන් ඒ විදිහට දුර දිග බලන්නේ නැතුව වැඩ කරලා දුක් විඳිද්දී ඒකට දෙවියන්ට දොස් කියන එක වැරදියි.—හිතෝපදේශ 19:3.

 ස්වාභාවික විපත් අපි අන්තිම කාලේ ජීවත් වෙනවා කියන්න ලකුණක්ද?

 ඔව්. “සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” නැත්නම් “අවසාන කාලයේදී” විපත්ති සිදු වෙනවා කියලා බයිබල් අනාවැකිවල සඳහන් වෙනවා. (මතෙව් 24:3; 2 තිමෝති 3:1) එක උදාහරණයක් තමයි අපේ කාලය ගැන යේසුස් කියපු මේ දේ. “එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වෙයි.” (මතෙව් 24:7) නමුත් ළඟදීම දුකට හේතු වන හැම දෙයක්ම දෙවියන් මේ පොළොවෙන් ඉවත් කරනවා. ඊටපස්සේ ස්වාභාවික විපත් නිසා අපි කවදාවත් පීඩා විඳින්නේ නැහැ.—එළිදරව් 21:3, 4.

 ස්වාභාවික විපත්වලින් පීඩා විඳින අයට දෙවියන් උදව් කරන්නේ කොහොමද?

  •   දේවවචනය වන බයිබලය තුළින් දෙවියන් ඒ අයට සහනය දෙනවා. දෙවියන් අපි ගැන සැලකිලිමත් කියලත් අපි පීඩා විඳිද්දී දෙවියන්ට ඒක දැනෙනවා කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 63:9; 1 පේතෘස් 5:6, 7) ඒ වගේම ස්වාභාවික විපත් නැත්තටම නැති වන කාලයක් ගැන පොරොන්දුවකුත් බයිබලයේ තියෙනවා. - “ ස්වාභාවික විපත්වලට මුහුණ දීපු අයව සනසවන්න උදව් වෙන බයිබල් පද” කියන කොටස බලන්න.

  •   ස්වාභාවික විපත්වලට මුහුණ දෙන අයට තමන්ගේ සේවකයන් මාර්ගයෙන් දෙවියන් උදව් කරනවා. “බිඳුණු සිත් ඇත්තන්ව” සහ “වැලපෙන සියල්ලන්ව” යේසුස් සනසනවා කියලා බයිබලේ සඳහන් වෙනවා. (යෙසායා 61:1, 2) යේසුස් ඒක කළා. ඒක කරන්න දෙවියන් අපිවත් පාවිච්චි කරනවා. දෙවියන්ට නමස්කාර කරන හැමෝම යේසුස්ව අනුකරණය කරන්න උත්සාහ කරනවා.—යොහන් 13:15.

 ඒ විතරක් නෙමෙයි ස්වාභාවික විපත්වලට මුහුණ දෙන අයට එදිනෙදා ජීවිතේදී අවශ්‍ය වෙන දේවල් සපයලා එයාලට උදව් කරන්නත් දෙවියන් තමන්ගේ සේවකයන්ව යොදාගන්නවා.—ක්‍රියා 11:28-30; ගලාති 6:10.

පෝටෝ රිකෝවල සුළිසුළඟකින් පීඩාවට පත් වුණ අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උදව් කරනවා

 ස්වාභාවික විපත්වලට කල්තියා සූදානම් වෙන්න බයිබලයේ මඟ පෙන්වීම් දෙනවාද?

 ඔව්, තියෙනවා. ඒත් බයිබලය ලියවුණේ ඒකට උදව් වෙන උපදෙස් පොතක් විදිහට නෙමෙයි. ඒත් අපිට ඒ සම්බන්ධයෙන් උපකාරවත් වන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා. උදාහරණයකට:

  •   කල්තියා සැලසුම් කරන්න. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 22:3) හදිස්සි අවස්ථාවකදී අපි කරන්න ඕනෙ දේ කලින් තීරණය කරලා සූදානමින් ඉන්න එක ඥානවන්ත දෙයක්. ඒ වගේ අවස්ථාවකදී නිවසින් යන්න වුණොත් ගෙනියන්න ඕන බඩු ටික දාපු බෑග් එකක් ලෑස්ති කරලා තියන එක, අවදානම් වෙලාවේදී පවුලේ අය එක එක තැන්වල හිටියොත් එයාලා හැමෝම එකතු වෙන්න ඕන තැනක් කලින් තීරණය කරලා පවුලම එකතු වෙලා ඒක පෙරහුරු කරන එක වගේ දේවල් ඒ සූදානමට ඇතුළත් කරන්න පුළුවන්.

  •   බඩු මුට්ටුවලට වඩා ජීවිතයයි වටින්නේ. බයිබලයේ මෙහෙම කියනවා. “අප මෙලොවට කිසිවක් ගෙනාවේ නැත. එයින් කිසිවක් ගෙන යෑමටවත් නුපුළුවන.” (1 තිමෝති 6:7, 8) අපේ ජීවිතය බේරගන්න ඕන නිසා සමහරවිට අපේ නිවස සහ බඩු මුට්ටු අත්හැරලා යන්න අපි කැමති වෙන්න ඕනේ. මොකද කිසිම දේකට වඩා වටින්නේ අපේ ජීවිත නිසා.—මතෙව් 6:25.