Skip to content

පටුනට යන්න

කැමිලා රොසාම් | ජීවිත කතාව

මොන දේ වුණත් යෙහෝවාට කීකරු වෙන්න අධිෂ්ඨාන කරගත්තා

මොන දේ වුණත් යෙහෝවාට කීකරු වෙන්න අධිෂ්ඨාන කරගත්තා

 මුලින්ම සත්‍යය හම්බ වුණේ මගේ ආච්චිටයි, සීයාටයි. ඒ 1906දී එයාලාගේ එක පුතෙක් ගලපටලය හැදිලා මැරුණ කාලේ. ඒ පුතාට බෙහෙත් කරපු දොස්තර බයිබල් ශිෂ්‍යයෙක්. ඒ කාලේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හැඳින්නුවේ ඒ නමින්. ඉතිං මගේ ආච්චිටයි, සීයාටයි එයා නැවත නැඟිටීම ගැන බයිබලේ තියෙන බලාපොරොත්තුව කියලා තියෙනවා. ඊටපස්සේ ආච්චියි, සීයායි, මගේ අම්මායි, අම්මාගේ අක්කායි සත්‍යයට ආවා.

 1930 ගණන් විතර වෙන කල් හැමෝම යෙහෝවා දෙවියන්ට උද්‍යෝගයෙන් සේවේ කළා. ආච්චියි, ලොකු අම්මායි ඇමරිකාවේ චිකාගෝවල පෙන්නපු “ෆොටෝ ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” වැඩසටහනේ පරිවාරකයෙක් විදිහටත් වැඩ කළා. හැබැයි කාලයක් යද්දී අම්මා ඇරෙන්න අනිත් හැමෝම සත්‍යය අත්හැරියා. ඒක අම්මාට ලේසි වුණේ නෑ. මොකද එයාලාගේ පවුලේ අය හරිම කිට්ටුයි. ඒ මොන දේ වුණත් අම්මාගේ හිතේ යෙහෝවා ගැන තිබ්බ ආදරේ, ඔහුට පෙන්නපු කීකරුකම මගේ හිතට තදින්ම වැදුණා. එයා තමයි මගේ ආදර්ශය වුණේ. ඒ කාලේ මගේ තාත්තාත් බයිබල් ශිෂ්‍යයෙක්. එයාගේ ආදර්ශයත් මට ගොඩක් බලපෑවා.

1948දී පවුලේ අය එක්ක

 මං ඉපදුණේ 1927දී. අපේ පවුලේ ළමයි හයදෙනෙක් හිටියා. මං තමයි වැඩිමලා. අපේ මුළු පවුලම සත්‍යයේ. ඒ කාලේ තාත්තා කළේ වඩු වැඩ. අපි ජීවත් වුණේ චිකාගෝවලට කිට්ටුවෙන් තිබුණ සැප පහසු ගෙදරක. ඒ කාලේ අපිට ලොකු එළවලු වත්තක් තිබුණා. ඒ වගේම අපි කුකුල්ලුයි, තාරාවොයි හැදුවා.

 මං වැඩ කරන්න හරිම ආස කෙනෙක්. ඒ කාලේ මට තිබ්බ ලොකුම වැඩේ තමයි ඉරිච්ච මේස් මහන එක. දැන් නං ඉතිං මේස් එකක් ඉරුණ ගමන් ඒක අයින් කරලා අලුත් එකක් ගන්නවානේ. ඒත් ඒ දවස්වල එහෙම නෙවෙයි. මහමහ පාවිච්චි කරනවා. අතේම තමයි ඒවා මහන්නේ. ජීවිතේ පස්සේ කාලෙකදී තමයි මට දැනුණේ එදා ඒ ලබපු පුහුණුව කොච්චර වටිනවාද කියලා.

අම්මායි, තාත්තායි ලොකු ආදර්ශයක්

 නමස්කාරයේ දේවල් පොඩ්ඩක්වත් මඟ හරින්න තාත්තා කවදාවත් ඉඩ දුන්නේ නැහැ. අපි වරද්දන්නේ නැතුව රැස්වීම් ගියා, සේවේ ගියා. හැම දවසකම දිනපදෙත් බැලුවා. සෙනසුරාදා හවසට තමයි ‘මුරටැඹ’ සඟරාවෙන් අපි පවුලේ නමස්කාරය කළේ.

 වටපිටාවේ ඉන්න අයට සාක්ෂි දරන්න තාත්තා අපේ සාලේ ජනේලේ කරන්ට් එකෙන් වැඩ කරන විශේෂ සංඥා පුවරුවක් එල්ලුවා. ඒකේ ගහලා තිබුණේ බයිබල් දේශනයක නැත්නම් අපේ ප්‍රකාශනයක මාතෘකාවක්. ඒ බෝඩ් එක නිවිනිවී පත්තු වෙන එකක්. ඒ නිසා එතනින් එහෙ මෙහෙ යන අයගේ ඇස් හරි ඉක්මනට ඒකට ඇදිලා යනවා. ඔය වගේ පුවරු දෙකක් තාත්තා අපේ කාර් එකෙත් ගැහුවා.

තැටි වාදන යන්ත්‍රත් අරගෙන අම්මාත් එක්ක සේවේ යන ගමන්

 වචනවලින් විතරක් නෙවෙයි ආදර්ශයෙනුත් තාත්තා අපිට ඉගැන්නුවා හැම වෙලේම යෙහෝවාට කීකරු වෙන එක කොච්චර වැදගත්ද කියලා. අපිට යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් ඇති කරන්න අම්මාත් පුළුවන් හැම විදිහකින්ම තාත්තාට සහයෝගය දුන්නා. මට මතකයි අම්මා පුරෝගාමි සේවේ පටන්ගද්දී අපේ පුංචිම නංගිට අවුරුදු පහයි. අම්මා එදා ඒ තිබ්බ අඩිය මොනම හේතුවක් නිසාවත් ආපස්සට ගත්තේ නෑ. මේ ලෝකේ ඉන්න හොඳම අම්මායි, තාත්තායි හිටියේ මට කියලයි මට දැනුණේ.

 දැන් වගේ නෙවෙයි ඒ කාලේ ගොඩක් වෙනස්. ඉස්සර අපිට ටීවී තිබුණේ නෑ. කට්ටියම ඉතිං බිම ඉඳගෙන රේඩියෝ එක තමයි අහන්නේ. රේඩියෝ එකේ නානාප්‍රකාර වැඩසටහන් ගියා. හැබැයි අපි වැඩියෙන්ම ආසාවෙන් බලන් හිටියේ සංවිධානයෙන් විකාශනය කරන වැඩසටහන් අහන්න.

සමුළු, තැටි වාදන යන්ත්‍ර සහ සැන්විච් පුවරු

 සාක්ෂිකරුවන්ගේ සමුළුවලට යන්න අපි හරි ආසයි. 1935 තිබුණ සමුළුව ගොඩක් විශේෂ එකක්. ඒකේ තිබුණ එක දේශනයක එළිදරව් 7:9, 14 තියෙන “මහත් පීඩාවෙන්” බේරිලා එන “මහත් සමූහය” ගැන කතා කළා. ඒකේ කිව්වා එයාලට තියෙන්නේ පොළොවේ සදහටම ජීවත් වෙන බලාපොරොත්තුව කියලා. ඒකෙන් පස්සේ ලොකු වෙනසක් වුණා. මොකද 1935ට කලින් මගේ අම්මායි, තාත්තායි දෙන්නාම සිහි කිරීමේදී සංකේත ගත්තා. හැබැයි ඒ සමුළුවෙන් පස්සේ ඒවා ගත්තේ තාත්තා විතරයි. මොකද අම්මා තේරුම්ගත්තා එයාගේ බලාපොරොත්තුව යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන්න නෙවෙයි මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න කියලා.

 1941දී මිසූරි ප්‍රාන්තයේ ශාන්ත ලූවිස්වල පවත්වපු සමුළුවකට අපි ගියා. ඒ කාලේ සංවිධානයේ වැඩවල පෙරමුණ ගත්තේ සහෝදර රදෆර්ඩ්. එදා සමුළුවේදී එයා ‘දරුවන්’ (සිංහලෙන් නැහැ.) කියලා පොතක් මුදාහැරියා. මට අද වගේ මතකයි එදා හැමෝම හරිම සතුටින් සෑහෙන්න වෙලාවක් හයියෙන් අත්පුඩි ගහපු විදිහ. එතකොට මට අවුරුදු 14යි. මං බව්තීස්ම වුණේ ඊට අවුරුද්දකට කලින්. ඉතිං සමුළුව ඉවර වුණාට පස්සේ අනිත් ළමයි එක්ක මාත් පෝලිමේ වේදිකාවට ගිහිල්ලා මගේ පොත ගත්තා.

1944දී ලොරේන් එක්ක

 ඒ කාලේ සේවේත් අදට වඩා ගොඩක් වෙනස්. 1930 ගණන්වලදී අපි සේවේ කළේ තැටි වාදන යන්ත්‍ර පාවිච්චි කරලා. ගෙදරකට තට්ටු කරන්න කලින් තැටිය දාලාද, ඒක හොඳට වයින් කරලාද කියලා අපි බලනවා. පස්සේ ගෙදර කෙනා එළියට ආවාම කෙටි හැඳින්වීමක් කරලා විනාඩි හතරහමාරක දේශනයක් එයාට අහන්න සලස්වනවා. ඊටපස්සේ ප්‍රකාශනයක් දෙනවා. ඔය විදිහට තමයි අපි සේවේ කළේ. ඒ පැත්තේ හිටපු හුඟක් අය අපේ පණිවිඩේට හරිම ආසාවෙන් ඇහුම්කන් දුන්නා. කවුරුත් අපිව බැනලා එළෙව්වේ නෑ. මං අවුරුදු 16දී පුරෝගාමි පටන්ගත්තා. මට මතකයි එතකොට තාත්තා මටම කියලා තැටි වාදන යන්ත්‍රයක් අරන් දුන්නා. මං හරිම ආඩම්බරෙන් තමයි ඕක සේවේ ගෙනිච්චේ. මාත් එක්ක පුරෝගාමි කරපු සහෝදරියගේ නම ලොරේන්. එයා හරිම හොඳ කෙනෙක්.

 ඒ කාලේ පුවරු එල්ලගෙන ගිහිල්ලත් අපි අනිත් අයට සාක්ෂි දැරුවා. ඒ පුවරුවලට කිව්වේ සැන්විච් පුවරු කියලා. මොකද ඉස්සරහෙන් පුවරුවයි, පිටිපස්සෙන් පුවරුවයි. අපි මැද. හරියට සැන්විච් එකක් වගේ. ඒ පුවරුවල “ආගම මලපතකි. ප්‍රයෝගයකි,” “දෙවිට හා රජු වන ක්‍රිස්තුස්ට සේවය කරන්න” වගේ දේවල් ලියලා තිබ්බා.

පුවරු එල්ලගෙන යන අතරේ ගත්ත පින්තූරයක්

 විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන විදිහ, සත්‍යය වෙනුවෙන් කතා කරන විදිහ රැස්වීම්වලින් අපිව කල් තියාම පුහුණු කළා. හිතපු විදිහටම විරුද්ධවාදිකම් ආවා. දවසක් අපි කඩසාප්පුවලින් පිරුණු ජනාකීර්ණ පැත්තක සේවේ කරකර ඉද්දී පොලිසියෙන් ඇවිල්ලා අපිව අල්ලන් ගියා. අපිව නිදහස් කළේ පැය ගාණකට පස්සේ. ඒ වගේ දේකට මුහුණ දෙන්න වුණේ යෙහෝවාට කීකරු වුණ නිසානේ. ඒ නිසා අපි පොලිසියෙන් එළියට ආවේ හරිම සතුටින්.

විවාහය, ගිලියද් පාසැල සහ හමුදා සේවයට කැඳවීම

අපි විවාහ වුණ දවස

 සැරයක් ලොරේන් මට ඉයුජින් රොසාම් කියලා සහෝදරයෙක්ව හඳුන්වලා දුන්නා. එයාට ඒ සහෝදරයාව හම්බ වෙලා තිබ්බේ මිනසෝටාවල තිබුණ චාරිකා සමුළුවකදී. ඉයුජින් හැදී වැඩුණේ ෆ්ලොරිඩාවල. ආගමික උත්සවයකට හවුල් වුණේ නැති නිසා 10 වසරේදී එයාව ඉස්කෝලෙන් අස් කරලා. ඊටපස්සේ එයා පුරෝගාමි සේවේ පටන් අරන් තියෙනවා. දවසක් අහම්බෙන් එයාට පන්තියේ ගෑනු ළමයෙක්ව හම්බ වෙලා. එයා ඉයුජින්ව ඉස්කෝලෙන් අස් කරපු එක ගැන ගොඩක් පුදුමයෙන් ඉඳලා තියෙන්නේ. මොකද ඉයුජින් කියන්නේ හොඳට ඉගෙනගත්ත, දක්ෂ ළමයෙක්. ඉතිං ඒ ගැන ඇහුවාම ඉයුජින් බයිබලේ පාවිච්චි කරලා එයාගේ විශ්වාසයන් ගැන පැහැදිලි කරලා තියෙනවා. ඒක අහලා ඒ ගෑනු ළමයාට සත්‍යය ගැන ලොකු පැහැදීමක් ඇති වෙලා. ඒ නිසා එයා බයිබල් පාඩමක් පටන්ගත්තා. එයා යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කරන අපේ සහෝදරියක් වුණා.

1951දී ෆ්ලොරිඩාවල

 1948දී ඉයුජිනුයි, මායි කසාද බැන්දා. ඊටපස්සේ ෆ්ලොරිඩාවලම තමයි අපි පුරෝගාමි සේවේ කළේ. කාලයක් ගියාම අපිට 18වෙනි ගිලියද් පාසැලට ආරාධනාවක් ලැබුණා. ඒ පාසැල ඉවර වුණේ 1952දී. එහෙදී අපිට ස්පාඤ්ඤ භාෂාවත් ඉගැන්නුවා. ඒ නිසා අපි හිතුවා පාසැලෙන් පස්සේ ස්පාඤ්ඤ භාෂාව කතා කරන රටකට අපිව මිෂනාරීන් විදිහට යවයි කියලා. හැබැයි හිතපු විදිහට දේවල් වුණේ නෑ. ඔය කාලෙම කොරියානු යුද්ධයත් පටන්ගත්තා. ඉතිං ඉයුජින්ට අණ කළා හමුදා සේවේට බැඳෙන්න කියලා. ඒක අහලා අපිට පුදුම හිතුණා. මොකද එයා දේවගැතිවරයෙක් නිසා දෙවෙනි ලෝක මහා යුද්ධ කාලේදී එයාව හමුදා සේවෙන් නිදහස් කරලයි තිබුණේ. කොහොමහරි ඕකෙන් මේකෙන් වුණේ අපිට දිගටම ඇමරිකාවේ ඉන්න වුණ එකයි. ඒකෙන් පස්සේ මං හොඳටම අධෛර්යය වුණා. සෑහෙන්න ඇඬුවා. හැබැයි අවුරුදු දෙකකට පස්සේ හමුදා සේවේට බැඳෙන එකෙන් නිදහස් වෙන්න ඉයුජින්ට අවසරය ලැබුණා. ඒක ඇත්තටම අමාරු කාලයක්. හැබැයි යෙහෝවා මට වැදගත් පාඩමක් කියලා දුන්නා. එක දොරක් වැහුණොත් යෙහෝවාට පුළුවන් අපි වෙනුවෙන් තව දොරක් අරින්න. ඇත්තටම ඔහු කළෙත් ඒකමයි. අපිට තිබුණේ ඉවසීමෙන් බලන් ඉන්න එක විතරයි.

අපේ ගිලියද් පාසැල

චාරිකා සහ දිස්ත්‍රික් සේවෙන් පස්සේ කැනඩාවට

 ඇරිසෝනාවල ටුසෝන් කියන ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවේ පුරෝගාමි කළාට පස්සේ 1953දී අපිට චාරිකා සේවේ කරන්න පැවරුමක් ලැබුණා. අපි සේවේ කළේ ඔහයෝවල, කැලිෆෝනියාවේ සහ නිව් යෝර්ක් නගරේ. 1958දී අපි කැලිෆෝනියාවේ සහ ඔරිගන්වල දිස්ත්‍රික් සේවය a පටන්ගත්තා. ඒ කාලේ අපි නැවතිලා හිටියේ සහෝදරයන්ගේ ගෙවල්වල. පස්සේ 1960දී අපි කැනඩාවට ආවා. එහෙදී ඉයුජින් සභාවේ පෙරමුණ ගන්න සහෝදරයන් වෙනුවෙන් පවත්වපු රාජ්‍ය සේවා පාසැලේ (පත් කළ සහෝදරයන් සඳහා පාසැලේ) උපදේශකයෙක් විදිහට සේවේ කළා. 1988 වෙන කල්ම අපි හිටියේ කැනඩාවේ.

 කැනඩාවේ සේවේ කරපු කාලේ සුන්දර මතකයන් ගොඩක් තියෙනවා. ඒ අතරින් එකක් කියන්නම්කෝ. දවසක් මායි, තව සහෝදරියෙකුයි ගෙයින් ගෙට සේවේ යද්දී අපිට ගේල් කියලා කාන්තාවක් හම්බ වුණා. එයා කිව්වා එයාගේ පුතාලා එයාලාගේ සීයා නැති වුණ නිසා ඉන්නේ ගොඩක් දුකෙන් කියලා. එයාලා නිතරම ගේල්ගෙන් අහනවාලු “ඇයි සීයා මැරුණේ? සීයා දැන් කොහෙද ඉන්නේ” කියලා. ඒවාට උත්තර ගේල් ගාව තිබ්බේ නෑ. හැබැයි එදා අපිට පුළුවන් වුණා බයිබලෙන් ඒවාට උත්තර පෙන්නලා එයාට සහනයක් වෙන්න.

 ඒ කාලේ ඉයුජින් චාරිකා සේවකයෙක් විදිහට තමයි සේවේ කළේ. ඉතිං අපි එහේ හිටියේ සතියයි. ඒ නිසා මට ආයේ ගේල්ව හම්බ වෙන්න යන්න බැරි වුණා. හැබැයි මාත් එක්ක ගිය සහෝදරිය නං එයාව බලන්න ගියා. අන්තිමට මොකද වුණේ දන්නවාද? ගේල්, එයාගේ මහත්තයා බිල් සත්‍යය පිළිගත්තා. එයාගේ පුතාලා තුන්දෙනා තමයි ක්‍රිස්ටොෆර්, ස්ටීව්, පැට්ට්‍රික්. එයාලත් සත්‍යයට ආවා. දැන් ක්‍රිස්ටොෆර් කැනඩාවේ වැඩිමහල්ලෙක් විදිහට සේවේ කරනවා. එතකොට ස්ටීව් ෆ්ලොරිඩාවල පාසැල් උපදේශකයෙක් විදිහට සේවේ කරනවා. පැට්ට්‍රික් දැන් තායිලන්තයේ ශාඛා කමිටු සාමාජිකයෙක්. පහුගිය අවුරුදු ගාණ පුරාම අපි දෙන්නා ඒ පවුලට ගොඩක් කිට්ටු වුණා. පුංචිම විදිහකින් හරි එයාලට යෙහෝවා දෙවියන් ගැන දැනගන්න උදව් කරපු එක ගැන මගේ හිතේ තියෙන්නේ පුදුම සතුටක්!

වෛද්‍යවරුන්ගෙන් රෝහල් සබඳතා කමිටුවලට

 අපි කැනඩාවේ සේවේ කරන කාලේ යෙහෝවා දෙවියන් ඉයුජින් වෙනුවෙන් අලුත්ම දොරක් විවෘත කළා.

 අවුරුදු ගාණකට කලින් සාක්ෂිකරුවන් ලේ ගන්නේ නැති එක ගැන හුඟක් අය වැරදියට තේරුම් අරන් හිටියේ. ඒ නිසා එයාලා ඒ ගැන සෑහෙන්න ප්‍රශ්න කළා. කැනඩාව පුරාම පත්තරවල ගියා සාක්ෂිකරුවෝ දරුවන්ට ලේ දෙන්නේ නැතුව එයාලව මරාගන්නවා කියලා. ඉතිං ඒ වගේ බොරු දේවල් පැතිරෙද්දී සාක්ෂිකරුවන් වෙනුවෙන් කතා කරන එක තමයි මගේ මහත්තයාගේ පැවරුම වුණේ.

 1969 නිව් යෝර්ක් බෆලෝවල ජාත්‍යන්තර සමුළුවක් තිබ්බා. ඒකට ඇමරිකාවෙන්, කැනඩාවෙන් සාක්ෂිකරුවෝ 50,000ක් විතර එන්න හිටියා. ඒ සමුළුව පවත්වන්න කලින් ලේ ගැන සාක්ෂිකරුවන්ට තියෙන ස්ථාවරය වෛද්‍යවරුන්ට පැහැදිලි කරලා දෙන්න ඕනෙ වුණා. මොකද සමුළුව අතරවාරේ ඕනම අවස්ථාවක හදිසි තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉයුජිනුයි, තව සහෝදරයෝ කීපදෙනෙකුයි ඒ අවට තිබුණ ප්‍රධාන පෙළේ ඉස්පිරිතාල කීපයකට ගියා. අපි ලේ ගන්නේ නැත්තේ ඇයි, එහෙම කරන එකෙන් තියෙන ප්‍රයෝජන මොනවාද කියලා එයාලා පැහැදිලි කළා. පිළිගත් පොත් පත් පාවිච්චි කරලා ලේ වෙනුවට තියෙන විකල්ප ප්‍රතිකාර ක්‍රම ගැන එයාලා වෛද්‍යවරුන්ව දැනුවත් කළා. ඒකට වෛද්‍යවරුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා සහෝදරයෝ තීරණය කළා කැනඩාව පුරාම තියෙන ඉස්පිරිතාලවලට ගිහිල්ලා වෛද්‍යවරුන්ව දැනුවත් කරන්න ඕනෙ කියලා. ඉයුජින්ටයි, තව සහෝදරයන් කීපදෙනෙක්ටයි තමයි ඒ පැවරුම තිබුණේ. හදිසි තත්වයකදී වැඩ කරන්න ඕනෙ විදිහ ගැන එයාලා සභාවල වැඩිමහල්ලන්වත් පුහුණු කළා.

 අපි හිතුවේවත් නැති විදිහට අපේ උත්සාහය මල්පල ගැන්වුණා. පුංචියට පටන්ගත්ත දේ මෙච්චර දුරක් යයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. ඒ ගැනත් මං ඔයාලට කියන්නම්කෝ.

මහන එකෙන් මට ලොකු සතුටක් දැනෙනවා

 1980දී නිව් යෝර්ක් බෘක්ලින්වල ලෝක මූලස්ථානයේ සහෝදර මිල්ටන් හෙන්ෂල්ගෙන් ඉයුජින්ට කෝල් එකක් ආවා. පාලක මණ්ඩලයේ සහෝදරයන්ට ඕනෙ වෙලා තිබුණා වෛද්‍යවරුන්ව දැනුවත් කරන ඒ වැඩසටහන ඇමරිකාව පුරාම තවත් පුළුල් කරන්න. ඉතිං ඒක නිසා මායි, ඉයුජිනුයි බෘක්ලින්වලට ආවා. කොහොමහරි 1988 ජනවාරි මාසේ පාලක මණ්ඩලය ලෝක මූලස්ථානයේ “රෝහල් තොරතුරු සැපයුම් සේවාව” කියලා අලුත් අංශයක් පිහිටෙව්වා. පස්සේ මගේ මහත්තයායි, තව සහෝදරයන් දෙන්නෙකුයි ඇමරිකාවේ සහ තවත් රටවල්වල ඒ ගැන වැඩමුළු පැවැත්තුවා. වැඩි කල් යන්න කලින් ගොඩක් ශාඛා කාර්යාලවල “රෝහල් තොරතුරු අංශ” පිහිටුවන්න පුළුවන් වුණා. ඒ වගේම හුඟක් නගරවල “රෝහල් සබඳතා කමිටුත්” පිහිටෙව්වා. යෙහෝවා දෙවියන් දුන්න මේ වටිනා සැපයුම්වලින් අපේ සහෝදර සහෝදරියන්, එයාලාගේ දරුවන් හුඟක් ප්‍රයෝජන ගන්නවා. ඒ කාලේ ඉයුජින් වැඩමුළුවලට සහ රෝහල්වලට යද්දී ඒ එක එක රටේ බෙතෙල්වල මං වැඩ කළා. හුඟක් වෙලාවට මං වැඩ කළේ ඇඳුම් මහන අංශයේ, එහෙම නැත්නම් කුස්සියේ.

ජපානයේ තිබුණ රෝහල් සබඳතා කමිටු වැඩමුළුව

අමාරුම අභියෝගය!

 2006දී ජීවිතේ මට ආපු අමාරුම අභියෝගයට මං මුහුණ දුන්නා. මගේ පණ වගේ හිටපු ඉයුජින් ඒ අවුරුද්දේ නැති වුණා. එයා නැති පාළුව, තනිකම දරාගන්න ලේසි වුණේ නෑ. හැබැයි ඒකට මුහුණ දෙන්න මට උදව් වුණ හුඟක් දේවල් තිබුණා. එක දෙයක් තමයි යාච්ඤාවෙන් යෙහෝවා දෙවියන්ට ළං වෙලා හිටපු එක. ඒ වගේම මං හැම දවසකම බයිබලේ කියෙව්වා. බෙතෙල් පවුලේ දිනපද සාකච්ඡාවටත් හවුල් වුණා. මං පුරුද්දක් විදිහට දිනපදය අරන් තියෙන බයිබල් පරිච්ඡේදය කියෙව්වා. ඒ හැම දෙයක්ම මට ලොකු හයියක් වුණා. ඒ කාලේ මං සේවේ කළේ ඇඳුම් මහන අංශයේ. ඉතිං මට ලැබිලා තිබුණ පැවරුම මං ආසාවෙන්, උපරිමයෙන්ම කළා. ඔය කාලේදීම වගේ නිව් ජර්සිවලයි, නිව් යෝර්ක්වලයි තිබුණ සමුළු ශාලාවල ලොකු තිර රෙදි මහන්නත් මට අවස්ථාව ලැබුණා. දැන් මං ඉන්නේ ෆිෂ්කිල් බෙතෙල් එකේ. අදටත් ඇඳුම් මහන එකෙන්, පුංචි පුංචි පැවරුම් කරන එකෙන් මං ලොකු සතුටක් ලබනවා. b

 මං යෙහෝවා දෙවියන්ට ගොඩක් ආදරෙයි. ඔහුටයි, ඔහුගේ සංවිධානයටයි කීකරු වෙන එක තමයි මගේ ජීවිතේ වැදගත්ම දේ. (හෙබ්‍රෙව් 13:17; 1 යොහන් 5:3) ඉයුජින්ටත් එහෙමයි. ඒ ගැන හිතද්දීත් මට සතුටුයි. මං දන්නවා යෙහෝවා අනිවාර්යයෙන්ම අපි කරපු හැම දේකටම අපිට ආශීර්වාද කරනවා කියලා. පාරාදීසේදී මගේ ඉයුජින්ව ආයෙත් හම්බ වෙන කල් මං බලන් ඉන්නේ හරිම ආසාවෙන්.—යොහන් 5:28, 29.

a චාරිකා සේවක එක් එක් සභාවට ගිහින් සහෝදරයෝ ගැන හොයලා බලනවා. දිස්ත්‍රික් සේවක එක් එක් චාරිකාවට ගිහින් චාරිකාව ගැන හොයලා බලන අතරේ චාරිකා සමුළුවලදී දේශනත් දෙනවා.

b අවුරුදු 94ක් වුණ සහෝදරි කැමිලා රොසාම් මේ ලිපිය සකස් කරන අතරතුරේදී 2022 මාර්තුවල මිය ගියා.