Skip to content

පටුනට යන්න

fcafotodigital/E+ via Getty Images

වීගන් ජීවන රටාව - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

වීගන් ජීවන රටාව - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 දැන් දැන් ලෝකේ පුරාම ඉන්න හුඟදෙනෙක් වීගන් ජීවන රටාව ගැන උනන්දු වෙනවා.

  •   “වීගන් ජීවන රටාවක් ගත කරන අය සත්තුන්ව කොටු කරලා, අමානුෂික විදිහට උන්ට වධ හිංසා කරලා නිෂ්පාදනය කරන ආහාර, ඇඳුම් පැලඳුම් ඇතුළු ඕනම දෙයක් ගන්න එකෙන් පුළුවන් තරම් වළකිනවා.”—The Vegan Society.

 තවත් සමහරු වීගන් ජීවිතයක් ගත කරන්නේ සත්තු ගැන විතරක් නෙවෙයි පරිසරය සහ සෞඛ්‍යය ගැනත් හිතලා. එහෙම නැත්නම් ආගමික විශ්වාසයන් නිසා.

  •   “අනිත් හැම ආහාර රටාවකටම වඩා වීගන් ආහාර රටාව වෙනස්. හුඟක් වෙලාවට කෙනෙක් ඒ වගේ ජීවන රටාවක් තෝරගන්නේ එයාගේ විශ්වාසයන් නිසා. ප්‍රතිපත්තියක් විදිහට ඒක අනුගමනය කරන අයත් ඉන්නවා. තව සමහරු හිතන්නේ ඒකෙන් මුළු ලෝකෙම වෙනස් කරන්න පුළුවන් කියලා.”—Britannica Academic.

 වීගන් ජීවන රටාවක් ගත කරන එකෙන් ඇත්තටම මේ ලෝකෙට හොඳක් වෙයිද? ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

නිර්මාතෘගෙන් උත්තරයක්!

 බයිබලයේ කියන විදිහට මේ හැම දේකම නිර්මාතෘ වන යෙහෝවා දෙවියන් a මිනිස්සුන්ව සලකන්නේ සත්තුන්ට වඩා උසස් විදිහට. ඒ නිසයි ඔහු සත්තුන්ව තමන් යටතේ තියාගන්න කියලා මිනිස්සුන්ට කිව්වේ. (උත්පත්ති 1:27, 28) කාලයත් එක්කම සත්තුන්ව කෑමට ගන්න දෙවියන් මිනිස්සුන්ට අවසර දුන්නා. (උත්පත්ති 9:3) හැබැයි එහෙමයි කියලා සත්තුන්ට වධ හිංසා කරනවාට ඔහු පොඩ්ඩක්වත් කැමති නැහැ.—හිතෝපදේශ 12:10.

 බයිබලයේ කියන විදිහට මස් කන එක, නොකන එක පෞද්ගලික තීරණයක්. b මස් කෑවා නොකෑවා කියලා කෙනෙක් දෙවියන් ඉස්සරහා හොඳ කෙනෙක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ නැහැ. (1 කොරින්ති 8:8) ඒ නිසා තව කෙනෙක් කන බොන දේවල් ගැන විනිශ්චය කරන්න කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ.—රෝම 14:3.

ලස්සන හෙට දවසකට මඟ

 බයිබලයේ තියෙන දේවල්වලින් පැහැදිලි වෙනවා අපේ ජීවන රටාව වෙනස් කළා කියලා ලෝකේ යන රටාව වෙනස් කරන්න බැහැ කියලා. මොකද ගොඩක් ප්‍රශ්නවලට මුල මේ ලෝකේ තියෙන දේශපාලනය, සමාජය සහ ආර්ථිකයයි. කවුරු මොන දේ කළත් ඒ දේවල් හරිගස්සන්න කාටවත් බැහැ. ඒ ගැන බයිබලයේ කියන දේ බලන්න.

 අපිට ජීවිතය දීපු දෙවියන් පොරොන්දු වෙනවා ළඟදීම මේ හැම ප්‍රශ්නයක්ම විසඳනවා කියලා. දෙවියන් කරන්න යන දේ ගැන ඔහු මෙහෙම කියනවා.

  •   “මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටුවෙමි. මන්ද මුලින් තිබූ අහසත් මුලින් තිබූ පොළොවත් පහව ගොස් තිබිණ. මුහුදද තවත් දක්නට නොලැබිණ.”—එළිදරව් 21:1.

 “මුලින් තිබූ අහස” ඒ කියන්නේ දැන් තියෙන හැම ආණ්ඩුවක්ම දෙවියන් මේ පොළොවෙන් අයින් කරනවා. ඒ වෙනුවට ඔහු “අලුත් අහසක්” ඒ කියන්නේ දෙවියන්ගේ රාජ්‍යය පොළොවට ගේනවා. ඒ රාජ්‍යයෙන් “මුලින් තිබූ පොළොව” ඒ කියන්නේ මේ දුෂ්ට මිනිස්සුන්ව විනාශ කරනවා. ඒ වෙනුවට “අලුත් පොළොවක්” ඒ කියන්නේ ඒ රාජ්‍යයට කැමැත්තෙන්ම යටත් වෙන මිනිස් සමාජයක් බිහි කරනවා.

 එදාට දෙවියන්ගේ රාජ්‍යය යටතේ ජීවත් වෙන හැමෝම මේ පරිසරය සුරකින්න ඉගෙනගන්නවා. ඒ වගේම සත්තු එක්කත් සාමයෙන් ජීවත් වෙනවා.—යෙසායා 11:6-9.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.

b බයිබලයේ කියනවා ‘ලේවලින් වැළකිලා ඉන්න’ කියලා. (ක්‍රියා 15:28, 29) ඒ නිසා අපි කිසිම විදිහකින් ලේ බොන්නෙවත් ලේ අයින් කරපු නැති මස් කන්නෙවත් ලේ එකතු කරලා හදපු කිසිම දෙයක් කන්නෙවත් නැහැ.