Skip to content

පටුනට යන්න

අපිට දෙවියන්ව දැන හඳුන ගන්න පුළුවන්ද?

අපිට දෙවියන්ව දැන හඳුන ගන්න පුළුවන්ද?

“දෙවියන් ගැන අවබෝධ කරගන්න බැහැ.”—පළවෙනි සියවසේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ හිටිය දාර්ශනිකයෙක් වන ෆිලෝ.

‘දෙවියන් අපෙන් දුරස්ව සිටින කෙනෙක් නෙවෙයි.’—පළවෙනි සියවසේ ඇතන්ස්වල දාර්ශනිකයන්ට එහෙම කිව්වේ ටාසස්වල සාවුල්.

ඔයා දරන්නේ ඒ අදහස් දෙකෙන් මොන අදහසද? නියෝජිත පාවුල් හැටියට හඳුන්වන ටාසස්වල සාවුල් කිව්ව දෙයින් හුඟක් අය සැනසීමක් ලබනවා. (ක්‍රියා 17:26, 27) ඒ වගේ තවත් සහතික බයිබලයේ දීලා තියෙනවා. උදාහරණෙකට යේසුස් යාච්ඤාවක් කරද්දී දෙවියන්ව දැන හඳුන ගන්නත් ඔහුගෙන් ආශීර්වාද ලබාගන්නත් පුළුවන් කියන සහතිකය ඔහුගේ අනුගාමිකයන්ට දුන්නා.—යොහන් 17:3.

ඒත් ෆිලෝ වගේ හුඟක් දාර්ශනිකයන්ගේ අදහස වුණේ දෙවියන් ගැන කොහොමටවත් අවබෝධ කරගන්න බැරි නිසා ඔහුව හඳුන ගන්න බැහැ කියන එකයි. මේ දෙකෙන් හරි අදහස මොකක්ද?

මිනිසුන්ට දෙවියන් ගැන අවබෝධ කරගන්න බැරි දේවල් තියෙනවා කියලා බයිබලයෙත් කියනවා. උදාහරණයකට නිර්මාතෘ ජීවත් වෙන කාලය, ඔහුගේ බුද්ධිමත් මනස, ඔහුගේ ප්‍රඥාව මනින්නවත් තේරුම්ගන්නවත් මිනිසුන්ට බැහැ. හැබැයි තේරුම්ගන්න බැරි ඒ දේවල් දෙවියන්ව දැන හඳුන ගන්න බාධාවක් නෙවෙයි. ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරලා බලනවා නම් ඇත්තෙන්ම අපිට පුළුවන් “දෙවිට ළං වන්න.” (යාකොබ් 4:8) මුලින්ම දෙවියන් ගැන තේරුම්ගන්න බැරි දේවල් කීපයක් ගැන බලමු. ඊටපස්සේ ඔහු ගැන තේරුම්ගන්න පුළුවන් දේවල් කීපයක් ගැනත් බලමු.

තේරුම්ගන්න බැරි දේවල් මොනවාද?

දෙවියන්ගේ සදාකාලික පැවැත්ම: බයිබලයේ කියනවා දෙවියන්ට “පටන්ගැන්මක්වත් අවසානයක්වත්” නැහැ කියලා. (ගීතාවලිය 90:2) ඒ කියන්නේ ඔහුගේ පැවැත්ම සදාකාලිකයි. අපිට ‘ඔහුගේ පැවැත්ම අවුරුදුවලින් ගණන් කරන්න බැහැ.’—යෝබ් 36:26.

ඔයාට ලැබෙන ප්‍රයෝජන: දෙවියන්ව හොඳින් දැන හඳුන ගන්නවා නම් ඔයාට සදාකාල ජීවනය ලබා දෙනවා කියලා ඔහු පොරොන්දු වෙනවා. (යොහන් 17:3) පොරොන්දුව දීපු දෙවියන්ම සදහටම ජීවත් වෙන්නේ නැත්නම් ඒක විශ්වාස කරන්න පුළුවන්ද? ඒ වගේ පොරොන්දුවක් ඉටු කරන්න පුළුවන් වෙන්නේ දෙවියන් ‘සදාකාලික රජ්ජුරුවන්’ නිසයි.—1 තිමෝති 1:17.

දෙවියන්ගේ මනස: බයිබලයේ කියනවා අපේ සිතුවිලිවලට වඩා දෙවියන්ගේ සිතුවිලි හුඟක් උසස් නිසා ඔහුගේ ‘ප්‍රඥාව කිසිවෙකුට තේරුම්ගන්න බැහැ’ කියලා. (යෙසායා 40:28; 55:9) “දෙවිගේ මනස තේරුම්ගෙන ඔහුට උගන්වන්න තරම් හැකියාවක් ඇති කෙනෙක් සිටියිද” කියලා බයිබලයේ අහලා තියෙන්නේ ඒ නිසයි.—1 කොරින්ති 2:16.

ඔයාට ලැබෙන ප්‍රයෝජන: මිලියන ගණන් සෙනඟක් එකම වෙලාවේ යාච්ඤා කළත් ඒවාට සවන් දෙන්න දෙවියන්ට පුළුවන්. (ගීතාවලිය 65:2) ඔයාගේ යාච්ඤාවලට සවන් දෙන්නවත් ඔයා ගැන සැලකිල්ල දක්වන්නවත් බැරි තරමටම ඔහුගේ මනස නොයෙකුත් දේවලින් පිරිලා තියෙනවාද? බයිබලයේ කියන්නේ ‘ගේකුරුල්ලෙක් බිමට ආවත් ඒක පියාණන් දන්නවා’ කියලයි. එහෙමනම් දෙවියන්ට ඔයාව “ගේකුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා වටින්නේ නැද්ද?”—මතෙව් 10:29, 31.

දෙවියන්ගේ ක්‍රියා: මිනිසුන්ට ‘සැබෑ දෙවි කළ සෑම ක්‍රියාවක්ම තේරුම්ගන්න’ බැහැ කියලා බයිබලයේ කියනවා. (දේශනාකාරයා 3:11) ඒ නිසා ඔහු ගැන හැම දේම දැනගන්න අපිට කවදාවත් බැහැ. ඔහුගේ ක්‍රියාවලට හේතු වෙන ප්‍රඥාව තේරුම්ගන්නත් බැහැ. (රෝම 11:33) ඒත් ඔහුව සතුටු කරන්න කැමති අයට ඔහුගේ ක්‍රියා ගැන හෙළි කරන්න ඔහු කැමැත්තෙන් ඉන්නවා.—ආමොස් 3:7.

නිර්මාතෘ ජීවත් වෙන කාලය, ඔහුගේ බුද්ධිමත් මනස, ඔහුගේ ප්‍රඥාව මනින්නවත් තේරුම්ගන්නවත් මිනිසුන්ට බැහැ

ඔයාට ලැබෙන ප්‍රයෝජන: බයිබලය කියවලා අධ්‍යයනය කරනවා නම් දෙවියන් ගැනත් ඔහුගේ ක්‍රියා ගැනත් වැඩි වැඩියෙන් දැනගන්න ලැබෙයි. එතකොට අපේ ස්වර්ගික පියාණන්ට සදාකාලයෙන් සදාකාලයටම ළං වෙලා ඉන්න පුළුවන්.

තේරුම්ගන්න පුළුවන් දේවල්

දෙවියන් ගැන සමහර දේවල් සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න බැහැ කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ඔහුව දැන හඳුන ගන්න බැහැ කියලා. දෙවියන්ව හොඳින් හඳුනගන්න උදව් වෙන තොරතුරු හුඟක් බයිබලයේ තියෙනවා. උදාහරණ කීපයක් බලන්න.

දෙවියන්ගේ නම: “මාගේ නාමය යෙහෝවාය” කියලා දෙවියන්ම බයිබලයේ කියලා තියෙනවා. ඒ නම බයිබලයේ 7,000 වාරයක් විතර සඳහන් වෙනවා. වෙන කිසිම නමක් එච්චර සඳහන් වෙලා නැහැ.—යෙසායා 42:8.

ඔයාට ලැබෙන ප්‍රයෝජන: යේසුස් යාච්ඤා කළේ “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියලයි. (මතෙව් 6:9) යාච්ඤා කරද්දී දෙවියන්ගේ නම කියලා යාච්ඤා කරන්න ඔයාටත් පුළුවන්ද? ඔහු ගලවන්නේ ඔහුගේ නමට නිසි ගෞරවය දෙන අයවයි.—රෝම 10:13.

දෙවියන්ගේ වාසස්ථානය: ජීවමාන පුද්ගලයන් ඉන්න පුළුවන් තැන් දෙකක් ගැන බයිබලයේ කියනවා. එකක් පියවි ඇහැට නොපෙනෙන ශරීර තියෙන අය ජීවත් වෙන ස්වර්ගය. අනික, පොළොව ඇතුළු විශ්වය. (යොහන් 8:23; 1 කොරින්ති 15:44) බයිබලයේ කියන්නේ මේ සියල්ලේ නිර්මාතෘගේ ‘ස්ථිර වාසස්ථානය ස්වර්ගය’ කියලයි.—1 රාජාවලිය 8:43.

ඔයාට ලැබෙන ප්‍රයෝජන: දෙවියන් ගැන පැහැදිලි පින්තූරයක් ලැබෙනවා. නිර්මාතෘ වන යෙහෝවා දෙවියන් සැම තැන වැඩ සිටින කෙනෙක් නෙවෙයි. ඔහු ස්ථිර තැනක ජීවත් වෙන සැබෑ පුද්ගලයෙක්. ඒත් ‘දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැකියි’ කියලා බයිබලයේ කියනවා.—හෙබ්‍රෙව් 4:13.

දෙවියන්ගේ පෞද්ගලිකත්වය: යෙහෝවා දෙවියන්ට සිත් ඇදගන්නා ගුණාංග තියෙනවා කියලා බයිබලයේ කියනවා. “දෙවි ප්‍රේමයයි.” (1 යොහන් 4:8) ඔහු කවදාවත් බොරු කියන්නේ නැහැ. (තීතස් 1:2) ඔහු සියල්ලන්ටම එක හා සමානව සලකන, දයාන්විත, කරුණාවන්ත, කෝප වීමට ඉක්මන් නොවන දෙවි කෙනෙක්. (නික්මයාම 34:6; ක්‍රියා 10:34) නිර්මාතෘ කැමතියි තමන්ට ගරුබිය දක්වන අය තමන්ට ‘සමීප වෙනවා’ දකින්න. ඒක හුඟදෙනෙක්ට පුදුමයක්.—ගීතාවලිය 25:14.

ඔයාට ලැබෙන ප්‍රයෝජන: දෙවියන්ගේ මිතුරෙක් වෙන්න ඔයාට පුළුවන්. (යාකොබ් 2:23) ඔයා යෙහෝවා දෙවියන්ගේ පෞද්ගලිකත්වය ගැන හොඳින් දැනගනිද්දී බයිබලයේ තියෙන තොරතුරු හොඳින් වටහාගන්නත් පුළුවන් වෙයි.

‘ඔහුගේ මඟ පෙන්වීම් පතන්න’

බයිබලයේ යෙහෝවා දෙවියන් ගැන පැහැදිලි චිත්‍රයක් ලබා දෙනවා. නිර්මාතෘ කැමති ඔයා ඔහු ගැන අවබෝධයක් නැතුව ඉන්නවාට නෙමෙයි ඔහුව හොඳින් දැන හඳුන ගන්නවාටයි. බයිබලයේ මේ වගේ පොරොන්දුවක් දීලා තියෙනවා. ‘ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරනවා.’ (1 ලේකම් 28:9) බයිබලය කියවලා කියවන දේ ගැඹුරින් කල්පනා කරලා දෙවියන්ව දැන හඳුන ගන්න. එහෙම කරනවා නම් ‘දෙවියන් ඔබට ළං වෙනවා’ කියලා පොරොන්දු වෙලා තියෙනවා.—යාකොබ් 4:8.

බයිබලය කියවලා අධ්‍යයනය කරනවා නම් දෙවියන් ගැනත් ඔහුගේ ක්‍රියා ගැනත් වැඩි වැඩියෙන් දැනගන්න ලැබෙයි

‘නිර්මාතෘ ගැන මට හැම දෙයක්ම අවබෝධ කරගන්න බැහැනේ. ඉතින් කොහොමද මම ඔහුගේ යාළුවෙක් වෙන්නේ’ කියලා ඔයා කල්පනා කරයි. මෙහෙම හිතන්න. ශල්‍ය වෛද්‍යවරයෙක්ගේ හොඳම යාළුවා වෙන්න කෙනෙක්ට ඒ වෛද්‍යවරයාගේ දැනුමම තියෙන්න ඕනද? නැහැ. ඔහුගේ යාළුවා සම්පූර්ණයෙන්ම වෙනස් ක්ෂේත්‍රයක රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හොඳම යාළුවෙක් වෙන්න නම් ඒ කෙනා වෛද්‍යවරයාගේ පෞද්ගලිකත්වය ගැනත් ඔහු කැමති අකමැති දේවල් ගැනත් දැනගෙන හිටියොත් ඇති. ඒ වගේ යෙහෝවා දෙවිව දැන හඳුන ගන්න ප්‍රමාණවත් තොරතුරු බයිබලයේ තියෙනවා. ඔහු එක්ක මිත්‍රත්වයක් ගොඩනඟාගන්න ඒ තොරතුරු හොඳටම ඇති.

බයිබලයේ නිර්මාතෘ ගැන තියෙන්නේ තොරතුරු බිඳක් විතරක් නෙවෙයි. ඔහුව දැන හඳුන ගන්න ප්‍රමාණවත් තොරතුරු ඒකේ තියෙනවා. යෙහෝවා දෙවියන් ගැන තවත් තොරතුරු දැනගන්න ඔයා කැමතිද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොමිලේ නිවාස බයිබල් පාඩම් පවත්වනවා. ඒ සඳහා ඔබේ ප්‍රදේශයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වෙන්න. එහෙම නැත්නම් www.isa4310.com/si වෙබ් අඩවියට පිවිසෙන්න.