Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | දෙවියන්ගේ මිතුරෙක් වෙන්න ඔබට පුළුවන්ද?

දෙවියන් ඔබේ කිට්ටු මිතුරෙක්ද?

දෙවියන් ඔබේ කිට්ටු මිතුරෙක්ද?

“දෙවියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් තියෙන එක මට ලොකු ශක්තියක්. දෙවියන් හැම තිස්සෙම මගේ යහපත වෙනුවෙන් දේවල් කරන්න බලාගෙන ඉන්නවා කියලා මට දැනෙනවා.”—ඝානාවේ තරුණයෙක් වන ක්‍රිස්ටෆ.

“අපි දුකෙන් ඉන්නකොට දෙවියන් ඒක දකිනවා. අපි හිතනවාටත් වඩා ඔහු අපිට සැලකිල්ලක් දක්වලා අපිට උදව් කරනවා.”—ඇලස්කාවේ වයස අවුරුදු 13ක් වන හානා.

“දෙවියන් මගේ කිට්ටු මිතුරෙක් කියලා දන්න එක හිතට ලොකු සැනසීමක්. ඒ බැඳීම කොච්චර වටිනවාද කියලා කියන්න වචන නැහැ.”—ජැමෙයිකාවේ ජීනා, වයස අවුරුදු 40 ගණන්වල පසුවන කාන්තාවක්.

ක්‍රිස්ටෆ, හානා සහ ජීනා වගේ හිතන තවත් අය ඉන්නවා. හුඟදෙනෙක්ට ඔවුන් දෙවියන්ගේ කිට්ටු මිතුරන් කියන එක ගැන කිසිම සැකයක් නැහැ. ඔබ ගැන කියන්න පුළුවන් මොකක්ද? දෙවියන් ඔබේ මිතුරෙක් කියලා ඔබට හැඟෙනවාද? ඔහුට ළං වෙන්න හරි ඔහු එක්ක තියෙන බැඳීම වැඩි කරගන්න හරි ඔබ ආසාවෙන් ඉන්නවාද? සමහරවිට ඔබ මෙහෙම හිතයි. ‘මිනිසුන්ට පුළුවන්ද සියලු බලැති දෙවියන්ව කිට්ටු මිතුරෙක් කරගන්න. පුළුවන් නම්, ඔහුව මිතුරෙක් කරගන්නේ කොහොමද?’

දෙවියන්ව කිට්ටු මිතුරෙක් කරගන්න පුළුවන්

දෙවියන්ව කිට්ටු මිතුරෙක් කරගන්න පුළුවන් කියලා බයිබලයේ කියන දේවලින් පැහැදිලි වෙනවා. දෙවියන් ආබ්‍රහම්ට “මාගේ මිතුරා” කියලා කිව්වා. (යෙසායා 41:8) බයිබලයේ මෙහෙමත් කියනවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.” (යාකොබ් 4:8) ඒකෙන් පේන්නේ දෙවියන් එක්ක කිට්ටු බැඳීමක්, ඒ කියන්නේ මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන් කියලයි. ඒත් දෙවියන්ව පේන්නේ නෑනේ! ඔබ ඔහුට ළං වෙලා ඔහුව කිට්ටු මිතුරෙක් කරගන්නේ කොහොමද?

ඒකට උත්තරේ දැනගන්න දෙන්නෙක් අතර මිත්‍රත්වයක් ඇති වෙද්දී සිද්ධ වෙන දේ බලමු. මුලින්ම ඒ දෙන්නා ඔවුන්ගේ නම් දැනගන්නවා. ඊටපස්සේ ඒ දෙන්නා කතා කරන්න පටන්ගන්නවා. තමන්ට හිතෙන දේවල්, හැඟෙන දේවල් කතා කරගන්නවා. එතකොට ඔවුන් අතර මිත්‍රත්වයක් ගොඩනැඟෙනවා. ඔවුන්ගේ මිත්‍රත්වය තවත් ශක්තිමත් වෙන්නේ එකිනෙකාට උදව් උපකාර කරගනිද්දියි. දෙවියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති වෙන්නෙත් ඒ විදිහටයි. ඒ ගැන දැන් අපි බලමු.