Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | අර්ථවත් ජීවිතයකට දෙවියන් අවශ්‍යමද?

අපිට දෙවියන් නැතුව බැරි ඇයි?

අපිට දෙවියන් නැතුව බැරි ඇයි?

“අර්ථවත් ජීවිතයක් ගත කරමින් සතුටින් ඉන්න නම් ශාරීරික අවශ්‍යතා සපුරාගන්නවාට වඩා වැඩි දෙයක් මිනිසුන්ට අවශ්‍යයි” කියලා මානසික සෞඛ්‍ය විශේෂඥයන් කියනවා. ජීවිතයට අර්ථයක් එකතු කරගන්න සමහරු ස්වභාව සෞන්දර්ය, සංගීතය, කලාව වැනි දේවල් වෙනුවෙන් කාලය වැය කරනවා. තවත් අය තමන්ට වඩා උසස් කෙනෙක්ට සේවය කරන්නත් පෙලඹෙනවා. නමුත් ඒ දේවලින් ජීවිතයට අර්ථයක් එක් කරගන්න බොහෝදෙනෙකුට හැකි වෙලා නැහැ.

දෙවියන් කැමතියි අපි දැනුත් සදහටත් සතුටින් ඉන්නවා දකින්න

තමන්ට වඩා උසස් කෙනෙක් ගැන භක්තියක් ඇති කරගන්න මිනිසුන් තුළ සහජ නැඹුරුවාවක් තියෙන එක ගැන බයිබලය කියවන කෙනෙක් නම් පුදුම වෙන්නේ නැහැ. මොකද නිර්මාතෘ දෙවියන් සමඟ බැඳීමක් ඇති කරගැනීමේ උවමනාව ඇතුවයි දෙවියන් මිනිසුන්ව නිර්මාණය කරලා තියෙන්නේ. බයිබලයේ මුල් පොත වන උත්පත්ති පොතේ පෙන්වන්නේ මුල් මිනිස් යුවළව නිර්මාණය කළාට පස්සේ දෙවියන් ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් තමා සමඟ හොඳ බැඳීමක් ඇති කරගන්න ඔවුන්ට උදව් කළා කියායි. (උත්පත්ති 3:8-10) එයින් පැහැදිලි වෙන්නේ දෙවියන් මනුෂ්‍යයාව නිර්මාණය කළේ තමන්ගෙන් ඈත් වී ස්වාධීනව ජීවත් වීමේ හැකියාව ඇතුව නෙවෙයි කියලයි. බයිබලයෙත් අවස්ථා ගණනාවක ඒ ගැන වාර්තා වෙනවා.

උදාහරණයකට යේසුස් කිව්වේ “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්” කියලයි. (මතෙව් 5:3) ඒ වචනවලින් පැහැදිලි වෙන්නේ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට නම් දෙවියන්ගේ මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගැනීම අවශ්‍ය බවයි. ඒ මඟ පෙන්වීම් ලබාගත හැකි ආකාරය ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. ‘මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මතයි.’ (මතෙව් 4:4) දෙවියන් පැවසූ සෑම දෙයක්ම සඳහන් වී තිබෙන්නේ බයිබලයෙයි. සතුටින් පිරි අර්ථවත් ජීවිතයක් ගත කිරීමට බයිබලයේ තියෙන වදන් අපිට උදව් වෙන ආකාරය ගැන පැති තුනකින් සලකා බලමු.

ජීවිතයට හොඳම මඟ පෙන්වීම් ලැබෙනවා

මිතුදම්, ප්‍රේමය, පවුල් ජීවිතය, ගැටුම් විසඳීම, සතුට ළඟා කරගැනීම වැනි දේවල් ගැන උපදෙස් දීමට අද ඕනෑ තරම් විද්වතුන් සිටිනවා. නමුත් ජීවිතයට අවශ්‍ය හොඳම මඟ පෙන්වීම් ලබා දීමට මනුෂ්‍යයන්ව නිර්මාණය කළ යෙහෝවා දෙවියන්ට වඩා සමත් කෙනෙක් ඉන්නවාද?

භාණ්ඩයක් පාවිච්චි කරන විදිහ ගැන අත්පොතක සඳහන් වෙනවා. බයිබලයත් ඒ වගේ අත්පොතක්

මෙහෙම හිතන්න. කැමරාවක්, රූපවාහිනියක්, ජංගම දුරකථනයක් වැනි දෙයක් මිල දී ගනිද්දී ඒ සමඟ අත්පොතක්ද ලැබෙනවා. ඒ භාණ්ඩය නිවැරදිව හා උපරිම ප්‍රයෝජනයක් ලැබෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන් ආකාරය ගැන අත්පොතේ සඳහන් වෙනවා. බයිබලයත් ඒ වගේ අත්පොතක්. අපි ජීවිතය ගත කරන්න ඕන හොඳම විදිහ ගැන අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන් ඒ පොතේ සඳහන් කරලා තියෙනවා. දෙවියන් අපිව නිර්මාණය කළේ ඇයි කියලත් සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් කොහොමද කියලත් ඒ අත්පොතෙන් අපිට දැනගන්න පුළුවන්.

අත්පොතක භාණ්ඩයට හානි විය හැකි දේවල් ගැනත් සඳහන් වෙනවා වගේ බයිබලයෙත් ජීවිතයට හානි විය හැකි පුරුදු ගැන සඳහන් වෙනවා. අත්පොතේ සඳහන් දෙයට වඩා වෙනස් උපදෙස් පිළිපැදීම පහසුයි, හොඳයි කියලා හිතුණත් භාණ්ඩයේ දිගුකාලීන පැවැත්මට ඒක හානිදායකයි. ජීවත් වෙන්න ඕන විදිහ ගැන, ප්‍රශ්න ගැටලු විසඳගන්න පුළුවන් විදිහ ගැන බයිබලයට පටහැනිව අන් අය අපට දෙන උපදෙසුත් ඒ හා සමානයි. එහෙමනම් අපිට හොඳම උපදෙස් ලබා දෙන්න පුළුවන් අපේ නිර්මාතෘ දෙවියන්ට පමණයි කියලා ඔබ හිතන්නේ නැද්ද?

“මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය. අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද වන්නේය.”යෙසායා 48:17, 18

බයිබලයෙන් අපේ ජීවිතයට මඟ පෙන්වීම් ලබාගන්න පුළුවන්

දෙවියන් හොඳ මඟ පෙන්වීම් ලබා දුන්නත් ඒවා පිළිපදින්න කියලා අපට බල කරන්නේ නැහැ. අපේ ශුභසිද්ධිය ගැන හිතන දෙවියන් අපෙන් ඉල්ලා සිටින්නේ මෙහෙමයි. “මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය. අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද වන්නේය.” (යෙසායා 48:17, 18) අපේ ජීවිතය අර්ථවත් වෙන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් පමණක් බව එයින් පැහැදිලි වෙනවා.

ජීවිතේ වැදගත් ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා

හොඳ මිනිස්සු දුක් විඳිනවා. පුංචි දරුවන් ආබාධිතව ඉපදෙනවා. හැම තැනම අසාධාරණ දේවල් සිදු වෙනවා. ‘දෙවියන් ප්‍රේමණීය කෙනෙක් නම් මේ වගේ දේවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි’ කියන ප්‍රශ්නයට බොහෝදෙනෙක්ට උත්තර නැති නිසා තමන්ගේ ජීවිතේට දෙවියන්ව ඕන නැහැ කියලා ඔවුන් හිතනවා. ඒ වැදගත් ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන පිළිතුරු දැනගැනීමෙන් අපේ ජීවිත වඩාත් අර්ථවත් වෙනවා. ඒ නිසා ඉක්මන් වී දෙවියන්ට දොස් නඟනවා වෙනුවට දෙවියන්ගේ වචනය වන බයිබලයේ ඒ ගැන කියා තිබෙන දෙය අපි සලකා බලමු.

බයිබලයේ උත්පත්ති වාර්තාවේ පෙන්වන්නේ දෙවියන් ඒදන් උයනේ තිබුණු ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගහෙන් කන්න එපා කියලා මුල්ම යුවළට අණ කළ බවයි. නමුත් සාතන් නමැති යක්ෂයා, සර්පයෙක් මාර්ගයෙන් ඔවුන්ව ඒ ගහේ ගෙඩි කෑමට පොලඹවා දෙවියන්ට අකීකරු වීමට සැලැස්සුවා. සාතන් ඔවුන්ට කිව්වේ මෙහෙමයි. “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ. එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.”—උත්පත්ති 2:16, 17; 3:4, 5.

සාතන් කිව්වේ දෙවියන් බොරුකාරයෙක් කියලයි. ඒ විතරක් නෙවෙයි දෙවියන් මිනිසුන්ව පාලනය කරන්නේ අසාධාරණ විදිහට කියලත් ඔහු ඇඟෙව්වා. සාතන් නොකියා කිව්වේ දෙවියන්ට පිටුපාලා තමා කියන දේට ඇහුම්කන් දුන්නොත් විතරයි මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ කියලා. මෙම චෝදනා ඇත්තද බොරුද කියලා ඔප්පු කරන්න යෙහෝවා දෙවියන් කාලයට ඉඩ දුන්නා. එනම් සාතන්ටත් සාතන්ගේ පැත්ත ගත්ත මිනිස්සුන්ටත් දෙවියන්ගෙන් ඈත් වී සාර්ථක වෙන්න පුළුවන්ද කියලා ඔප්පු කරන්න දෙවියන් කාලයට ඉඩ දුන්නා.

සාතන් කිව්ව දේ ගැන ඔබ හිතන්නේ මොනවාද? දෙවියන්ගේ උදව් නැතුව සාර්ථක පාලනයක් ගෙනයන්න මිනිසුන්ට පුළුවන් වෙලා තියෙනවාද? දුක් විඳීම, අසාධාරණය, ලෙඩ රෝග, මරණය, සදාචාරය බිඳ වැටීම, යුද්ධ, සමූල ඝාතන ඇතුළු නොයෙකුත් දුක්ඛිත දේවල් සියවස් ගණනාවක් පුරාම මිනිසුන් අද්දකිමින් ඉන්නවා. දෙවියන්ගේ පාලනය ප්‍රතික්ෂේප කිරීමෙන් මනුෂ්‍ය වර්ගයා පත් වෙලා තියෙන්නේ මොන තරම් අසරණ තත්වයකටද කියලා එයින් හොඳින්ම පැහැදිලි වෙනවා. මිනිසුන් අද්දකින දුක්ඛිත දේවලට හේතුව දෙවියන් නෙවෙයි. එයට හේතුව බයිබලයේ පැහැදිලිවම මෙසේ පෙන්නුම් කරනවා. “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.”—දේශනාකාරයා 8:9.

මේ හැම දෙයක්ම සලකා බලද්දී පැහැදිලි වෙන්නේ අපි මුහුණ දෙන ප්‍රශ්නවලට පිළිතුරු සහ විසඳුම් දැනගන්න නම් අපි දෙවියන් වෙතට හැරෙන්න ඕන බව නෙවෙයිද?

දෙවියන්ගේ උපකාරය ලැබෙනවා

ලෙඩ රෝග, වයසට යෑම, මරණය වැනි දේවලින් මිදෙන්න මිනිසුන්ට තියෙන්නේ ලොකු ආශාවක්. ඒවාට පිළියමක් සොයන්න තමන්ගේ කාලය, ධනය, යොදවමින් බොහෝ වෙහෙසක් දැරුවත් සෑහීම ගෙන දෙන පිළිතුරක් කාටවත් මේ වන තෙක් ලැබිලා නැහැ. අමෘතය වැනි විශේෂ දෙයක් බීමෙන් හෝ යම් ස්ථානවලට යෑමෙන් සැමදාටම තරුණකම රැකගන්න සමහරුන් උත්සාහ කළත් ඒවා සැබෑ නොවූ සිහින පමණයි.

මුල් මනුෂ්‍ය යුවළ නිර්මාණය කළ දා පටන් දෙවියන්ගේ අරමුණ වුණේ මිනිසුන් සතුටින් සදහටම ජීවත් වෙනවා දැකීමයි. අදටත් ඒ අරමුණ වෙනස් වෙලා නැහැ. (උත්පත්ති 1:27, 28; යෙසායා 45:18) යෙහෝවා දෙවියන් යම් දෙයක් අරමුණු කළොත් එය අනිවාර්යයෙන් ඉෂ්ට කරන බව බයිබලයේ පැහැදිලිවම සඳහන් වෙනවා. (යෙසායා 55:10, 11) මුල් මනුෂ්‍ය යුවළ අහිමි කරගත්ත පාරාදීස පොළොව දෙවියන් නැවතත් ඇති කරනවා. බයිබලයේ අවසාන පොතේ ඒ ගැන සඳහන් වෙන්නේ මෙහෙමයි. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.” (එළිදරව් 21:4) දෙවියන් ඒ ප්‍රීතිමත් කාලය ලබා දෙන්නේ කොහොමද? ඒ කාලයේ ඉන්න නම් අපි කරන්න ඕන මොනවාද?

ඒ ප්‍රීතිමත් කාලය උදා කරන්නේ ස්වර්ගයේ පිහිටුවලා තියෙන දෙවියන්ගේ රාජ්‍යය මගිනුයි. ඒ නිසයි ඒ ගැන යාච්ඤා කරන්න කියලා යේසුස් ගෝලයන්ට ඉගැන්නුවේ. පරමණ්ඩලේ යාච්ඤාව හෝ ස්වාමීන්ගේ යාච්ඤාව ලෙස ප්‍රසිද්ධ ඒ යාච්ඤාවේ කියන්නේ “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා! ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියලයි. (මතෙව් 6:9, 10) දේවරාජ්‍යය මාර්ගයෙන් සියලුම දුක්ඛිත දේවල් ඉවත් කර ධර්මිෂ්ඨ මිනිසුන්ට පාරාදීස පොළොවක ප්‍රීතිමත් ජීවිතයක් ලබා දෙන බව ස්ථිරයි. * (දානියෙල් 2:44; 2 පේතෘස් 3:13) ඒ කාලයේ ඉන්න නම් අපි කරන්න ඕන මොනවාද?

“සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි” කියලා යේසුස් කිව්වා. (යොහන් 17:3) එයින් පැහැදිලි වෙන්නේ පාරාදීස පොළොවක සතුටින් සදහටම ජීවත් වෙන්න නම් දෙවියන්ගේ උපකාරය අපිට අත්‍යවශ්‍ය බවයි. එමනිසා අපේ ජීවිතයට දෙවියන් අවශ්‍යයි කියලා ඔබ සිතන්නේ නැද්ද?

දැන් දෙවියන් ගැන සොයා බලන්න කාලයයි

මීට අවුරුදු දෙදහසකට පමණ කලින්, විවෘත මනසකින් අනිත් අයගේ අදහස්වලට ඇහුම්කන් දුන්න ඇතන්ස් නුවරේ වැසියන්ට යේසුස්ගේ නියෝජිතයෙක් වූ පාවුල් මෙහෙම කිව්වා. ‘සියලුදෙනාටම ජීවිතයත් හුස්මත් අන් සියලු දේත් දෙන්නේ දෙවියන්ය. අපේ ජීවිතයත් පැවැත්මත් අප කරන සෑම දෙයක්මත් රඳා පවතින්නේ ඔහු මතයි. ඇත්තෙන්ම ඔබේ ඇතැම් කවිකාරයන් ඒ ගැන පවසා තිබෙන්නේ “අපි ඔහුගේ දරුවෝ” වන බවයි.’—ක්‍රියා 17:25, 28.

එදා ඇතන්ස් නුවරේ වැසියන්ට පාවුල් කියූ දේ අදටත් පිළිගත හැකි සත්‍යයක්. අපි කන කෑම, බොන වතුර, හුස්ම ගන්නා වාතය, මේ හැම දෙයක්ම අපිට දීලා තියෙන්නේ අපගේ නිර්මාතෘ යෙහෝවා දෙවියි. දෙවියන් සපයා තිබෙන මේ දේවල් නැතුව අපිට කොහොමටවත් ජීවත් වෙන්න බැහැ. තමාට නමස්කාර කරන අයටත් නොකරන අයටත් දෙවියන් ඒ දේවල් ලබා දෙනවා. ඒ ඇයි? පාවුල් මෙහෙම කිව්වා. “දෙවි එසේ කරන්නේ සියල්ලන්ම දෙවි වෙතට හැරී ඔහුගේ මඟ පෙන්වීම් පැතීම සඳහායි. ඇත්තෙන්ම ඔවුන් ඒ සඳහා මහත් උත්සාහයක් දැරුවොත් ඔහුට ළං වෙන්නත් ඔවුන්ට හැකි වෙයි.”—ක්‍රියා 17:27.

යෙහෝවා දෙවියන්ගේ අරමුණු ගැනත් දැන් හා අනාගතයේදී ජීවිතය සාර්ථක කරගන්න දෙවියන් ලබා දී තිබෙන මඟ පෙන්වීම් ගැනත් තවත් දැනගන්න ඔබ කැමතිද? එහෙමනම් ඔබට මේ සඟරාව ලබා දුන්න අයට හෝ මෙහි ප්‍රකාශකයන්ට ඒ ගැන දැනුම් දෙන්න. ඒ සම්බන්ධයෙන් ඔබ සමඟ තොරතුරු බෙදාගන්න ඔවුන් ඉතා කැමැත්තෙන් සිටිනවා.

^ 20 ඡේ. දෙවිගේ රාජ්‍යය මගින් ඔහුගේ කැමැත්ත මේ පොළොවේ ඉටු වන ආකාරය ගැන වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 8වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. ඒ පොත www.isa4310.com/si වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.