Skip to content

පටුනට යන්න

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්

වැරදි කරන අය අපායක දඬුවම් ලබනවාද?

වැරදි කරන අය අපායක දඬුවම් ලබනවාද?

බයිබලයේ ඇති තොරතුරු අන් අයට කියා දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මහත් ආශාවකින් සිටිනවා. බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන ඔබට යම් ප්‍රශ්නයක් තිබෙනවාද? නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික විශ්වාසයන් ගැන ඔබට ප්‍රශ්න තිබෙනවාද? එසේනම් ඔවුන්ගෙන් ඒ ගැන විමසන්න.

පහත සඳහන් වන්නේ ඇන්ඩෘ නමැත්තා සහ සාක්ෂිකරුවෙක් වන මාලන් අතර ඇති වූ සංවාදයක්.

දෙවියන් දුෂ්ට මිනිසුන්ට දඬුවම් කරයිද?

මාලන්: කොහොමද ඇන්ඩෘ?

ඇන්ඩෘ: හොඳයි මාලන්, ඔයාට කොහොමද?

මාලන්: මාත් හොඳින්. ඔයා එදා මට කියපු දේ ගැන මම කල්පනා කළා.

ඇන්ඩෘ: ඒ මොකක් ගැනද?

මාලන්: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අපාය ගැන විශ්වාස කරන්නේ නැත්තේ ඇයි කියලා ඔයා ඇහුවානේ.

ඇන්ඩෘ: ආ ඔව්, මට තාමත් ඒක ප්‍රශ්නයක්.

මාලන්: අපාය ගැන ගොඩක් අය එක එක දේවල් කියනවා. මං ආසයි ඔයා අපාය ගැන මොනවද හිතන්නේ කියලා දැනගන්න.

ඇන්ඩෘ: වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන්න අනිවාර්යයෙන්ම අපායක් තියෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ.

මාලන්: ඔයා එහෙම කියන්නේ කවුරු හරි ඔයාටත් දුෂ්ට විදිහට සලකලා තියෙන නිසාද?

ඇන්ඩෘ: ඔව්. මීට අවුරුදු පහකට කලින් ඒ වගේ දුෂ්ටයෙක් නිසා මගේ අක්කත් මැරුම් කෑවා.

මාලන්: ඇත්තද, ඒ ගැන මටත් හරිම කනගාටුයි. ඔයාට අක්කව හැම තිස්සෙම මතක් වෙනවා ඇති නේද?

ඇන්ඩෘ: ඔව්, මට අක්කව හුඟක් මතක් වෙනවා.

මාලන්: ගොඩක් අය අපායක් ගැන විශ්වාස කරන්නේ ඒ අය මුහුණ දීලා තියෙන දුෂ්ට දේවල් නිසා. ඒගොල්ලන් කැමතියි අපරාධ කරන අයට නියම දඬුවම් ලැබෙනවාට.

ඇන්ඩෘ: ඔව්, මාත් කැමතියි මගේ අක්කට ඒ අපරාධය කරපු කෙනාටත් දඬුවම් ලැබෙනවාට.

මාලන්: ඔයාට එහෙම හිතෙන එක සාධාරණයි. බයිබලයේ කියනවා දෙවිත් අසාධාරණකම්වලට කැමති නැහැ කියලා. ඒ වගේම දෙවි පොරොන්දු වෙනවා දුෂ්ටකම් කරන අයට දඬුවම් කරන්න. බලන්න යෙසායා 3:11 කියන දේ. “නමුත් දුෂ්ටයාට උරුම වන්නේ දුක පමණි. ඔහු කළ නපුරුකම්වලට අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න සිදු වෙයි.” ඒ නිසා අපිට ස්ථිර වෙන්න පුළුවන් දෙවි අනිවාර්යයෙන්ම දුෂ්ටකම් කරන අයට දඬුවම් කරයි කියලා.

ඇන්ඩෘ: ඒත් අපායක් නැහැ කියලා ඒ බයිබල් පදේ කියන්නේ නැහැනේ.

මාලන්: ඒක ඇත්ත. හැබැයි බලන්න 2 තෙසලෝනික 1:9 කියන දේ. ඔයාට පුළුවන්ද ඒක කියවන්න?

ඇන්ඩෘ: හා. “ඔවුන්ට ලැබෙන දඬුවම නම් සදාකාල විනාශයයි. ඔවුන්ව ස්වාමීන් ඉදිරියෙන් තුරන් කරනු ලබන අතර ඔහුගේ තේජවත් බලය නැවත දැකගැනීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබේ.”

මාලන්: ඔයා දැක්කද ඇන්ඩෘ එතන කියනවා දුෂ්ටකම් කරන අයට ලැබෙන දඬුවම සදාකාල විනාශයයි කියලා. ඒ අයට කිසිම බලාපොරොත්තුවක් නැහැ.

ඇන්ඩෘ: ඒත් ඒක සාධාරණ නැහැනේ. අපි හැමෝම කවදා හරි මැරෙනවනේ. ඒත් දුෂ්ටකම් කරන අයට ඊට වඩා දඬුවමක් ලැබෙන්න ඕනේ නැද්ද?

ඒක සාධාරණද?

මාලන්: ඔයත් අසාධාරණයට කැමති නැහැ නේද?

ඇන්ඩෘ: මට අසාධාරණය නං පේන්න බැහැ.

මාලන්: ඔයා දන්නවාද අපිට එහෙම හිතෙන්නේ ඇයි කියලා. ඒකට හේතුව දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ හරි වැරැද්ද වටහාගන්න පුළුවන්කම ඇතුව. දෙවිත් අයුක්තිසහගත දේවලට පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒත් ආගම්වලින් උගන්වන්නේ දෙවි මිනිස්සුන්ව අපායක දාලා දුක් විඳින්න ඉඩහරිනවා කියලා. ඒකෙන් ඒ අය නොකියා කියන්නේ දෙවි හරිම අසාධාරණ කෙනෙක් කියලා.

ඇන්ඩෘ: ඒ කිව්වේ?

මාලන්: ඔයා දන්නවානේ ආදම් සහ ඒව ගැන.

ඇන්ඩෘ: ඔව්.

මාලන්: අපි දැන් උත්පත්ති 2:16, 17 ටිකක් කියවලා බලමුද? “පසුව යෙහෝවා දෙවි මිනිසාට මෙසේ අණ කළේය. “ඔබට උයනේ සියලු ගස්වලින් ඕනෑ තරම් කන්න පුළුවන. නමුත් ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.” දෙවි එපා කියපු ගහෙන් කෑවොත් මොනවා වෙනවා කියලද දෙවි ආදම්ට කිව්වේ?

ඇන්ඩෘ: මැරෙනවා කියලා.

මාලන්: හරි. ආදම් දෙවිට අකීකරු වුණ නිසා දෙවි කියපු විදිහටම එයා මැරුණා. ඒ විතරක් නෙවෙයි අපි හැමෝටමත් මරණය උරුම වුණා. * ඒත් ආදම්ට ලැබෙන දඬුවම ගැන කියද්දී දෙවි අපායක් ගැන කිව්වද?

ඇන්ඩෘ: නෑනේ.

මාලන්: ඒ දෙන්නට අපායක දුක් විඳින්න වෙනවා නම් දෙවි ඒ ගැන කලින්ම නොකියා ඉඳියිද? එහෙම වුණා නම් ඒක ප්‍රේමණීය දෙයක් කියලා ඔයා හිතනවාද?

ඇන්ඩෘ: නෑ නේද?

මාලන්: ආදම් සහ ඒව දෙවිට අකීකරු වුණාට පස්සේ දෙවි ඒ අයට කිව්වේ මොනවද කියලා ඔයාට මතකද? අපි උත්පත්ති 3:19 කියවලා බලමු. ඔයාට පුළුවන්ද ඒක කියවන්න.

ඇන්ඩෘ: “භූමියෙන් ගන්නා ලද ඔබට, භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”

මාලන්: ආදම් මැරුණාම මොනවා වෙනවා කියලද දෙවි කිව්වේ?

ඇන්ඩෘ: ආදම් දූවිල්ලටම හැරිලා යනවා කියලා.

මාලන්: හැරිලා යනවා කියද්දී එයා කලින් කොහේ හරි තැනක ඉන්න ඕනෙ නේද?

ඇන්ඩෘ: ඔව්.

මාලන්: එහෙනම් දෙවි ආදම්ව නිර්මාණය කරන්න කලින් ආදම් කොහේද හිටියේ?

ඇන්ඩෘ: කොහෙවත් හිටියේ නැහැනේ. දෙවි දූවිල්ලෙන්නේ ආදම්ව හැදුවේ.

මාලන්: අන්න හරි. ආදම්ට අපායක දුක් විඳින්න තිබුණා නම් මැරුණට පස්සේ දූවිල්ලට හැරිලා යනවා කියලා දෙවි කියයිද?

ඇන්ඩෘ: නැහැනේ.

යක්ෂයා දෙවිට සහයෝගය දෙනවාද?

මාලන්: අපාය ගැන කියනකොට හිතන්න ඕන තවත් පැත්තක් තියෙනවා.

ඇන්ඩෘ: ඒ මොකක්ද?

මාලන්: අපායේ දඬුවම් නියම කරන්නේ කවුරු කියලද මිනිස්සු කියන්නේ?

ඇන්ඩෘ: යක්ෂයා කියලා.

මාලන්: හැබැයි යක්ෂයා තමයි දෙවිගේ ප්‍රධාන සතුරා. දෙවි මිනිස්සුන්ට දඬුවම් කරන්න තමන්ගේ සතුරාට භාර දෙයිද? එහෙම කළොත් ඒකෙන් තේරෙන්නේ දෙවියි යක්ෂයායි සහයෝගයෙන් වැඩ කරනවා කියලා නේද?

ඇන්ඩෘ: හ්ම්. . . . .මං කවදාවත් ඒ පැත්ත ගැන හිතුවේ නැහැනේ.

මාලන්: ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. ඔයා තාත්තා කෙනෙක්නේ.

ඇන්ඩෘ: ඔව්. මට අවුරුදු 15ක පුතෙක් ඉන්නවා.

මාලන්: හිතන්න පුතා හරිම දඩබ්බරයි කියලා. එයා කරන්නෙම ඔයා අකමැති දේවල්. එහෙම වුණොත් ඔයා මොනවාද කරන්නේ?

ඇන්ඩෘ: කොහොමහරි එයාට අවවාද කරලා හදාගන්න බලනවා.

මාලන්: එහෙමත් බැරි වුණොත් ඔයා මොකද කරන්නේ?

ඇන්ඩෘ: එහෙම වුණොත් නං මං එයාට හොඳ දඬුවමක් දෙනවා.

මාලන්: ඒත් දඬුවමක් විදිහට ඔයා පුතාගේ අත පුච්චනවාද?

ඇන්ඩෘ: අපෝ කවදාවත් නෑ.

මාලන්: එහෙනම් හිතන්න, ප්‍රේමණීය දෙවි එහෙම කරයිද කියලා.

ඇන්ඩෘ: නැහැ නේද.

මාලන්: හැබැයි පුතා එහෙම හැසිරෙන්නේ වෙන කෙනෙක්ගේ කීම පිටයි කියලා ඔයාට දැනගන්න ලැබෙනවා. එතකොට ඔයා මොකද කරන්නේ?

ඇන්ඩෘ: එහෙම වුණොත් නං මට ඒ කෙනත් එක්ක ගොඩක් කේන්ති යයි.

මාලන්: ඔයා කවදාවත් ඔයාගේ පුතාට දඬුවම් කරන්න කියලා ඒ කෙනාටම කියයිද?

ඇන්ඩෘ: අපෝ නෑ.

මාලන්: එහෙනම් මිනිස්සුන්ට දඬුවම් කරන්න දෙවි යක්ෂයාට භාර දෙයි කියලා හිතන්න පුළුවන්ද?

ඇන්ඩෘ: බෑනේ.

මාලන්: ඉතින් දෙවිට අකීකරු වෙන අයට දඬුවම් කරන්න දෙවි යක්ෂයාට භාර දුන්නොත් යක්ෂයා ඒකට කීකරු වෙයි කියලා ඔයා හිතනවාද?

ඇන්ඩෘ: ඇත්තටම මම කවදාවත් ඒ ගැන හිතලා තිබුණේ නැහැ.

දෙවි දුෂ්ටකම් සම්පූර්ණයෙන්ම ඉවත් කරයි

මාලන්: දෙවි අනිවාර්යයෙන්ම දුෂ්ට මිනිස්සුන්ව විනාශ කරනවා. ඔයාම ඒක කියවලා බලන්නකො. ඒක තියෙන්නේ ගීතාවලිය 37:9.

ඇන්ඩෘ: “දුෂ්ටයන්ව විනාශ කරනු ලබන්නේය. නමුත් යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්නෝ පොළොව උරුම කරගන්නෝය.”

මාලන්: එතන කියන විදිහට දෙවි දුෂ්ටයන්ට මොනවාද කරන්න යන්නේ?

ඇන්ඩෘ: දුෂ්ටයන්ව විනාශ කරනවා.

මාලන්: අන්න හරි. දෙවි දුෂ්ට මිනිස්සුන්ව සදහටම විනාශ කරනවා විතරක් නෙවෙයි, දෙවිට කීකරු වෙන අයට මේ පොළොව උරුම කරලත් දෙනවා. දෙවි ඇත්තටම දුෂ්ටයන්ට දඬුවම් කරනවා නම් ඒක කරන්න දෙවි මේ තරම් කල් ගන්නේ ඇයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?

ඇන්ඩෘ: ඒකත් ඇත්ත තමයි.

මාලන්: මං ඊළඟ වතාවේ ඔයාව මුණගැහෙන්න ආවාම ඔයාට ඒකට උත්තරයක් දෙන්නම්. *

ඇන්ඩෘ: මාත් කැමතියි ඒක ගැන දැනගන්න.

^ 35 ඡේ. රෝම 5:12 බලන්න.

^ 81 ඡේ. වැඩි විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 11වන පරිච්ඡේදය බලන්න.