Skip to content

පටුනට යන්න

අරපරෙස්සමෙන් වියදම් කරන්න

අරපරෙස්සමෙන් වියදම් කරන්න

අරපරෙස්සමෙන් වියදම් කරන්න

ඔබෙඩ්ට දරුවන් දෙදෙනෙක් සිටිනවා. වසර 10ක් පුරා ඔහු රැකියාව කරමින් සිටියේ තරු පහේ හෝටලයකයි. පවුලේ අවශ්‍යතා සැපයීමට ඔහුට කිසිදු ගැටලුවක් තිබුණේ නැහැ. විනෝද ගමන්වලටද ඔහු හුඟක් මුදල් වියදම් කළා. නමුත් හෝටලයේ ආදායම අඩු වූ නිසා සේවකයන්ව ඉවත් කිරීමේදී ඔබෙඩ්ටද ඔහුගේ රැකියාව අහිමි වුණා.

ස්ටීවන් වසර 22ක් පුරා බැංකුවක විධායක නිලධාරියෙක් ලෙස සේවය කළා. ඒ නිසා ඔහුට විශාල නිවසක්, වාහනයක්, ගෙදර වැඩට සේවකයන් සහ ධනවත් පාසැල්වලට දරුවන් ඇතුල් කිරීමේ අවස්ථාව ලැබුණා. නමුත් බැංකුවේ සේවකයන් අඩු කිරීමට ගත් තීරණය නිසා ස්ටීවන්ටද ඔහුගේ රැකියාව අහිමි වුණා. ඒ අවස්ථාව ගැන ඔහු මෙසේ මතක් කරනවා. “මට දැනුණේ මගේ මුළු ලෝකයම කඩා වැටුණා වගේ. මට දුකක් වගේම භයකුත් දැනුණා.”

මුළු ලෝකයටම බලපා තිබෙන ආර්ථික ප්‍රශ්න නිසා මිලියන ගණනකට ඔවුන්ගේ ස්ථිර රැකියා අහිමි වුණා. ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට නැවත රැකියා සොයාගැනීමට හැකි වුණත් ඔවුන්ට ලැබුණේ ඉතා අඩු වැටුපක්. අනික් අතට බඩු මිලද අහස උසට නැඟ තිබෙනවා. දියුණු වෙමින් පවතින රටවලට පමණක් නොව දියුණු රටවලටද මේ ගැටලුව බලපානවා.

ඊට මුහුණ දිය හැකි ආකාරය

රැකියාව අහිමි වීම හෝ ආදායම අඩු වීම නිසා මානසික පීඩනයක් දැනීමට ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවකදී අධෛර්යයට පත් වෙන්න එපා. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය.” (හිතෝපදේශ 24:10) ආර්ථික ප්‍රශ්න නිසා දුක් වෙවී ඉන්නවා වෙනුවට ඊට මුහුණ දීම සඳහා ඥානවන්තව ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි.—හිතෝපදේශ 2:7.

බයිබලය ආර්ථිකය පිළිබඳ උපදෙස් සපයන පොතක් නොවෙයි. නමුත් එහි ඇති මඟ පෙන්වීම් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීමේදී බොහෝදෙනෙකුට උපකාරවත් වී තිබෙනවා. අපි උදාහරණ කිහිපයක් බලමු.

ආදායමට අනුව ජීවත් වන්න. යේසුස් මෙම ඥානවන්ත මඟ පෙන්වීම ලබා දුන්නා. ‘ඔබ අතර සිටින කෙනෙක් යම් ගොඩනැඟිල්ලක් සාදන්න අදහස් කරනවා කියා සිතන්න. නමුත් ඔහුට එය සම්පූර්ණයෙන්ම ගොඩනඟා අවසන් කරන්න හැකි වෙයිද කියා දැනගැනීමට මුලින්ම ඔහු ඒ සඳහා යන වියදම ගණන් බලන්නේ නැද්ද?’ (ලූක් 14:28) එම උපදෙස අදාළ කරගන්න කෙනෙක් තම ආදායමට සරිලන ආකාරයෙන් වියදම් කරන ආකාරය ගැන සටහන් කරගෙන ඊට අනුව වැඩ කරනවා. ඔබෙඩ්ට නම් එය එතරම් ලෙහෙසි වුණේ නැහැ. ඔහු මෙසේ පවසනවා. “කලින් නම් අපි හිතුණ හිතුණ දේවල් ගන්නවා. ගණන් හිලව් බැලුවේ නැහැ. මොකද අපිට වියදම් කරන්න සල්ලි තිබුණා.” නමුත් ලැබෙන ආදායම අඩු වන විට පවුලේ අත්‍යවශ්‍ය දේවලට පමණක් වියදම් කිරීමට සිදු වෙනවා. ඒ සඳහා හොඳින් සැලසුම් කිරීම අත්‍යවශ්‍යයි.

තත්වයට අනුව සකස් වන්න. ආදායම අඩු වන විට ඊට අනුව සකස් වීම ලෙහෙසි නොවුණත් එසේ කිරීම අත්‍යවශ්‍යයි. බයිබලයේ ඒ සම්බන්ධයෙන් මෙම ඥානවන්ත උපදෙස ලබා දෙනවා. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති.” (හිතෝපදේශ 22:3) තත්වයට අනුව සකස් වීමට තමන් කළ දේ ගැන ස්ටීවන් මෙසේ පවසනවා. “අපි අපේ පොඩි ගෙදර පදිංචියට ගියා. හැබැයි ඒකෙ වැඩ ඉවර කරලා තිබුණෙත් නැහැ. අපේ ළමයින්වත් පොඩි ඉස්කෝලෙකට දැම්මා.”

ආදායම අඩු වන විට ඒ තත්වයට අනුව සකස් වීමට නම් පවුලේ අය සමඟ සාකච්ඡා කිරීම ඉතා වැදගත්. වසර නවයක් පමණ බැංකුවක රැකියාවක් කළ ඔස්ටින්ට ඔහුගේ රැකියාව අහිමි වූ පසු ඔහු කළ දේ ගැන මෙසේ පවසනවා. “අපිට අත්‍යවශ්‍ය දේවල් මොනවද කියලා මායි මගේ නෝනයි කතා කළා. පස්සේ ඒවා ලියාගත්තා. කෑමවලට, විනෝදයට සහ ඇඳුම්වලට වැඩිපුර දරපු වියදම් කපන්න අපි තීරණය කළා. මගේ පවුලේ අය ඒ හැම දේකටම එකඟ වෙච්ච එක මට ලොකු සහනයක්.” සමහරවිට දෙමාපියන් කරන එවැනි වෙනස්කම් ගැන දරුවන්ට නොතේරෙනවා විය හැකියි. නමුත් එය ඔවුන්ට තේරුම් කර දෙන්න දෙමාපියන් උත්සාහ කළ යුතුයි.

අලුත් රැකියාවකට හුරු වන්න. ඔබ හුරු වී සිටින්නේ කාර්යාලයක වැඩ කිරීමට නම් දාඩිය මහන්සියෙන් වැඩ කිරීම අභියෝගයක් විය හැකියි. ඔස්ටින්ටත් එය අභියෝගයක් වුණා. “බැංකුවේ මැනේජර් කෙනෙක් හැටියට වැඩ කරපු මට කම්කරුවෙක් විදිහට වැඩ කරන එක ලේසි වුණේ නැහැ” කියා ඔහු පවසනවා. මිනිසුන් තමන් ගැන මොනවා හිතයිද කියා දිගින් දිගටම කල්පනා කිරීමෙන් කිසිදු යහපතක් සිදු වන්නේ නැහැ. හිතෝපදේශ 29:25හි පවසන්නේ “මනුෂ්‍යයන්ට භය වීම උගුලකි” කියායි.

තමන් ගැන ඕනෑවට වඩා සිතීමෙන් වැළකී සිටීමට නිහතමානිකම අත්‍යවශ්‍යයි. හෝටලයේ කළ රැකියාව අහිමි වූ පසු ඔබෙඩ්ට ගරාජයක වැඩ කිරීමට ඔහුගේ මිතුරෙක් ආරාධනා කළා. දූවිලි සහිත පාරවල්වල ඇවිදගෙන ගොස් තීන්ත සහ වාහනවල අමතර කොටස් රැගෙන ඒමට ඔහුට සිදු වුණා. ඔහු එම රැකියාවට හුරු වූ ආකාරය ගැන මෙසේ පවසනවා. “මම මේ රස්සාවට කැමති නැති වුණත් කරන්න දෙයක් නැති නිසා ඒක කළා. හැබැයි පස්සේ මම ඒකට හුරු වුණා. මට ලැබුණේ කලින් ලැබුණු පඩියට වඩා හතරෙන් එකකටත් වඩා අඩු පඩියක්. හැබැයි ඒක මගේ පවුලේ අත්‍යවශ්‍ය වියදම්වලට ප්‍රමාණවත්. මට ඒ රස්සාවට හුරු වෙන්න පුළුවන් වුණේ මම මගේ තත්වය ගැන එච්චර හිතුවේ නැති නිසයි.” ඔබටත් එවැනි ආකල්පයක් ඇතුව සිටිය හැකිද?

සෑහීමට පත් වන්න. සෑහීමට පත් වී සිටින කෙනෙක් ලද දෙයින් සතුටු වෙනවා. නමුත් දැඩි ආර්ථික ප්‍රශ්න තිබෙන අයට එය එතරම් ලෙහෙසි දෙයක් නොවෙයි. ලද දෙයින් සතුටු වෙමින් සරල ජීවිතයක් ගත කළ පාවුල්ගේ අද්දැකීම බලන්න. ඔහු මෙසේ පවසනවා. “මා කවර තත්වයක සිටියත් කුමන දෙයකට මුහුණ දුන්නත් එනම්, මා තෘප්තිමත්ව සිටියත් කුසගින්නෙන් සිටියත් බොහෝ දේවල් ඇතුව සිටියත් අගහිඟකම්වලින් පෙළුණත් ඒ ඒ තත්වයන්ට අනුව හැඩගැසීමේ රහස ඉගෙනගෙන සිටිමි.”—ෆිලිප්පි 4:11, 12.

අප සිටින තත්වය එතරම්ම නරක නොවෙන්න පුළුවන්. නමුත් වර්තමාන ලෝකයේ සිදු වන දේවල් අනුව තත්වයන් ඉතා ඉක්මනින් වෙනස් විය හැකියි. ඒ නිසා පාවුල් පැවසූ මේ දේ ගැන අප ගැඹුරින් සිතා බැලිය යුතුයි. “දෙවිට භක්තියෙන් සේවය කරන විට ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැකියි. නමුත් ඒ සඳහා කෙනෙකු තමාට තිබෙන දේවලින් සෑහීමට පත්ව සිටිය යුතුයි. එහෙයින් අපට කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.” අපේ එදිනෙදා අවශ්‍යතා ගැන ඕනෑවට වඩා කනස්සලු වීම නිෂ්ඵල දෙයක් බව ඉන් පැහැදිලියි.—1 තිමෝති 6:6, 8.

සැබෑ සන්තෝෂය ලැබෙන අයුරු

අපට අවශ්‍ය සෑම දෙයක්ම තිබුණා කියා හෝ අප සුඛෝපභෝගී ජීවිතයක් ගත කළා කියා හෝ අපට සැබෑ සතුට භුක්ති විඳිය නොහැකියි. සැබෑ සතුට ලැබෙන ආකාරය ගැන යේසුස් මෙවැනි අදහසක් දැක්වුවා. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.” අප සතු දේවල් අන් අයට දීමෙන් ඇත්තෙන්ම සැබෑ සතුට සහ තෘප්තිය අද්දැකිය හැකියි.—ක්‍රියා 20:35.

අපගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි අපේ සෑම අවශ්‍යතාවක් ගැනම සැලකිලිමත්. සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමටත් අනවශ්‍ය ලෙස කනස්සලු වීමෙන් වැළකී සිටීමටත් අවශ්‍ය මඟ පෙන්වීම් ඔහු බයිබලයේ දී තිබෙනවා. එම උපදෙස් අදාළ කරගත් විගස අපේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලැබෙයි කියා සිතන්න බැහැ. නමුත් අප “දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන” දෙන විට ඔහු අපේ එදිනෙදා අවශ්‍යතා සපයන බවට සහතික වී තිබෙනවා.—මතෙව් 6:33.