Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

යුග දිවියේ මුල් වසර සාර්ථක කරගැනීමට මඟ පෙන්වීම්

යුග දිවියේ මුල් වසර සාර්ථක කරගැනීමට මඟ පෙන්වීම්

ස්වාමිපුරුෂයා පැවසුවේ: “මම වේලාසනින් නැඟිටින්න කැමතියි. ඒත් මගේ බිරිඳ ටිකක් පරක්කු වෙන කල් නිදාගන්නවා. එක වෙලාවකට එයා හොඳට කතා කළත් තවත් වෙලාවකට මූණ එල්ලගෙන ඉන්නවා. වැරදිලාවත් පිඟන් කෝප්ප පිහදන රෙදි කෑල්ලෙන් මම අත් දෙක පිහදගත්තොත් එයාට හුඟක් කේන්ති යනවා. ඒ වගේ දේවල් නිසා මට හිතෙනවා අපි දෙන්නා ගැළපෙන්නේ නැහැ කියලා.”

භාර්යාව පැවසුවේ: “මම කතාබහ කරන්න හුඟක් කැමතියි. මොකද මම හැදී වැඩුණේ ඒ වගේ පවුල් පසුබිමක. ඒත් මගේ මහත්තයා ඊට වඩා වෙනස්. සමහර වෙලාවට මගේ මහත්තයා පිඟන් පිහදන රෙදි කෑල්ලෙන්ම අත් දෙකත් පිහදගන්නවා. ඒ වෙලාවට තමයි මට හුඟක් කේන්ති යන්නේ. පිරිමි අයව තේරුම්ගන්න එක හරිම අමාරුයි. මිනිස්සු කොහොම පවුල් ජීවිත සතුටින් ගත කරනවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ.”

ඔබත් අලුත විවාහ වූ කෙනෙක් නම් විවාහ ජීවිතය තුළ යම් ප්‍රශ්න ගැටලු අද්දකිනවාද? විවාහ වීමට කලින් ඔබේ සහකරු තුළ නොදුටු අඩුපාඩුකම් දැන් ඔබ දකිනවාද? සාමාන්‍යයෙන් ඕනෑම යුවළකට විවාහ ජීවිතය තුළ යම් “දුෂ්කරතා” අද්දැකීමට සිදු වෙනවා. ඒ නිසා ඒවා අවම කරගත හැක්කේ කෙසේද කියා අපි සලකා බලමු.—1 කොරින්ති 7:28.

විවාහ වූ පමණින් ඔබ දෙදෙනා විවාහ ජීවිතය සාර්ථක කරගත හැකි පලපුරුදු තත්වයක සිටිනවා කියා සිතන්න එපා. තනිකඩයෙකුව සිටියදී ඔබ තුළ යම් හොඳ ගතිගුණ තිබෙන්න ඇති. එමෙන්ම ඔබ දෙදෙනා ඇසුරු කළ කාලය තුළ ඒ ගුණාංග වැඩි වර්ධනය වෙන්නත් ඇති. ඒ වුණත් විවාහ වූ පසුව එම ගුණාංග ඇතුළු තවත් ගුණාංග වර්ධනය කරගැනීමට ඔබට සිදු වෙනවා. ඔබ අතින් යම් අඩුපාඩුකම් සිදු වුණත් ඒවා නිවැරදි කරගත හැකි බව අමතක කරන්න එපා.

විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට නම් ඒ සම්බන්ධයෙන් හොඳ මඟ පෙන්වීම් ලබා දිය හැකි කෙනෙකුගෙන් උපදෙස් පැතිය යුතුයි. ඇත්තෙන්ම ඒ සම්බන්ධයෙන් හොඳම මඟ පෙන්වීම් දිය හැක්කේ විවාහයේ මූලාරම්භකයා වන යෙහෝවා දෙවිටයි. (උත්පත්ති 2:22-24) එමනිසා විවාහ ජීවිතයේ අභියෝග ජය ගෙන සාර්ථක යුග දිවියක් ගත කිරීම සඳහා ඔහු දී තිබෙන මඟ පෙන්වීම් අපි බයිබලයෙන් සලකා බලමු.

1. අදහස් විමසන්න

අභියෝග මොනවාද?

ජපානයේ වෙසෙන කෙයිජී * පැවසූ දේ සලකා බලන්න. “මට කවුරු හරි කෙනෙක් යම් ආරාධනාවක් කළාම මම ඒ ගැන මගේ බිරිඳගෙන් අහන්නේ නැතුව ඒ ආරාධනාව පිළිගත්තා. හැබැයි කාලයක් යනකොට තමයි මට තේරුණේ ඒකෙන් මගේ බිරිඳ අපහසුතාවයට පත් වෙනවා කියලා.” ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඇලන් පැවසූ දෙයද සලකා බලන්න. “මම ගන්න තීරණ ගැන බිරිඳගෙන් අහන එක මට හිතුණේ මදිපුංචිකමක් කියලයි.” ඔහුට එසේ හැඟුණේ ඔහු හැදී වැඩුණු පවුල් පසුබිම නිසයි. බ්‍රිතාන්‍යයේ වෙසෙන ඩයෑන් ඇයට හැඟුණු ආකාරය මෙසේ පැහැදිලි කළා. “ඕනෙම දෙයක් කරන්න කලින් මගේ පවුලේ අයගෙන් මම උපදෙස් ගත්තා. ඒ නිසා විවාහ වුණාට පස්සෙත් සමහර තීරණ ගන්නකොට මගේ සැමියාගෙන් ඒ ගැන අහනවා වෙනුවට මගේ පවුලේ අයගෙන් අහන්න පෙලඹුණා.”

විසඳුම කුමක්ද?

විවාහ යුවළක් යෙහෝවා දෙවි ඉදිරියේ “එක් කෙනෙකු මෙන් වන්නෝය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 19:3-6) ඇත්තටම මිනිසුන් අතර ඇති වන ඕනෑම බැඳීමකට වඩා ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර ඇති බැඳීම යෙහෝවා දෙවි සුවිශේෂී දෙයක් ලෙස සලකනවා. කොහොමවුණත් ඒ බැඳීම දිගටම ශක්තිමත්ව තබාගැනීමට නම් ස්වාමිපුරුෂයා සහ භාර්යාව හොඳින් අදහස් හුවමාරු කළ යුතුයි.

යෙහෝවා දෙවි ආබ්‍රහම් සමඟ අදහස් හුවමාරු කළ ආකාරය සලකා බැලීමෙන් විවාහ යුවළකට ප්‍රයෝජන ගත හැකියි. උත්පත්ති 18:17-33 දක්වා සඳහන් එම වාර්තාවේ දෙවි, ආබ්‍රහම්ට ගෞරවයෙන් සැලකූ ආකාර තුනක් සඳහන් වෙනවා. (1) මුලින්ම යෙහෝවා දෙවි තමන් කිරීමට යන දේ ගැන ආබ්‍රහම්ට පැවසුවා. (2) පසුව ආබ්‍රහම්ට ඒ ගැන අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දී හොඳින් සවන් දුන්නා. (3) අබ්‍රහම්ගේ ඉල්ලීමට එකඟව තමන් කිරීමට අරමුණු කරගෙන සිටි දෙයෙහි යම් වෙනසක් කිරීමට දෙවි කැමැත්තෙන් සිටියා. ඔබට එය අදාළ කරගත හැක්කේ කෙසේද?

මෙය අත්හදා බලන්න. (1) මුලින්ම ඔබ දෙදෙනාටම බලපාන යම් තීරණයක් ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස් සහකරුට පවසන්න. නමුත් ඒ දේවල් අවසාන තීරණය ලෙස ඉදිරිපත් කරන්න එපා. (2) පසුව ඔබේ සහකරුගේ අදහස් විමසන්න. නමුත් ඒ ගැන ඔබ දරන අදහසම ඔබේ සහකරුත් දැරිය යුතුයි කියා සිතන්න එපා. (3) සහකරු ඉදිරිපත් කළ යෝජනාවලට අනුව යම් වෙනසක් කළ හැකි නම් ඒ දේ කරන්න. එසේ කිරීමෙන් ‘සාධාරණ ලෙස කටයුතු කරන්න’ ඔබට හැකි වෙනවා.—ෆිලිප්පි 4:5.

2. අවබෝධයෙන් කටයුතු කරන්න

අභියෝග මොනවාද?

ඔබ හැදී වැඩුණු පසුබිම නිසා අදහස් ප්‍රකාශ කිරීමේදී අන් අයගේ හැඟීම් නොසලකාහැරීමට ඉඩ තිබෙනවා. උදාහරණයකට යුරෝපයේ වෙසෙන ලියැම් පැවසූ දේ සලකා බලන්න. “මම කතා කරන විදිහ නිසා අනික් අයගේ හිත රිදෙයිද කියලා මම කල්පනා කළේ නැහැ. මම හිතන්නේ නැතුව කිව්ව දේවල් නිසා මගේ බිරිඳගේ හිත හුඟක් රිදිලා තියෙනවා. ඒ නිසා මගේ බිරිඳගේ හිත රිදෙන්නේ නැති විදිහට කතා කරන්න මට ඉගෙනගන්න සිද්ධ වුණා.”

විසඳුම කුමක්ද?

ඔබ කතා කිරීමට හුරු වී සිටින විලාසයෙන්ම ඔබේ සහකරුට කතා කිරීම සුදුසුයි කියා සිතන්න එපා. (ෆිලිප්පි 2:3, 4) බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ස්වාමීන්ගේ දාසයෙකු ලෙස සේවය කරන කෙනෙකුට දබර කිරීමට අවශ්‍යතාවක් නැත. ඒ වෙනුවට ඔහු සියලුදෙනා සමඟ කටයුතු කළ යුත්තේ මෘදුකමිනි.” (2 තිමෝති 2:24) මෘදු පුද්ගලයෙකුට අන් අය සම්බන්ධයෙන් මනා අවබෝධයක් ඇතුව කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. එමනිසා එවැනි කෙනෙක් කේන්ති යන අවස්ථාවලදී පවා අනික් පුද්ගලයා ගැන සැලකිලිමත් වෙමින් කාරුණිකව ප්‍රශ්න විසඳාගැනීමට පෙලඹෙනවා.

මෙය අත්හදා බලන්න. ඔබේ සහකරු සමඟ කේන්ති ගිය අවස්ථාවකදී ඔහුව හෝ ඇයව ඔබේ රැකියාවේ ස්වාමියා ලෙස හෝ මිතුරෙකු ලෙස දැකීමට උත්සාහ කරන්න. ඔබ කෙදිනකවත් එවැනි කෙනෙකුට කේන්තියෙන් හෝ සැරෙන් කතා කරයිද? නැහැ. එසේනම් ඔබේ සහකරු සමඟ ඊටත් වඩා අවබෝධයෙන් කටයුතු කරමින් ගෞරවයෙන් කතා කළ යුතු නැද්ද!—කොලොස්සි 4:6.

3. අලුත් වගකීම්වලට හුරු වන්න

අභියෝග මොනවාද?

විවාහ වූ මුල් අවධිය තුළ ස්වාමිපුරුෂයෙක් ඔහුගේ මූලිකත්වය හොබවන ආකාරයෙන් බිරිඳ අපහසුතාවයට පත් විය හැකියි. උදාහරණයකට ඉතාලියේ වෙසෙන ආන්ටොනියෝ පැවසූ දේ සලකා බලන්න. “මගේ තාත්තා සමහර කාරණා ගැන තීරණ ගන්නකොට ඒ ගැන අම්මාගෙන් ඇහුවේ නැහැ. ඒ නිසා මාත් විවාහ වුණු මුල් කාලයේදී මගේ බිරිඳ එක්ක කටයුතු කළේ ඒ විදිහටයි.” අනික් අතට භාර්යාවක්ද විවාහ වූ මුල් කාලය තුළ ස්වාමිපුරුෂයාට යටහත් පහත් ලෙස කතා කිරීමට අපොහොසත් විය හැකියි. ඒ සම්බන්ධයෙන් කැනඩාවේ සිටින ඩෙබී පැවසුවේ මෙයයි. “පිළිවෙලට වැඩ කරන්න පුරුදු වෙන්න කියලා මම මගේ ස්වාමිපුරුෂයාට බල කළා. ඒත් ඒකෙන් වුණේ එයා තවත් දඩබ්බර වුණ එක විතරයි.”

ස්වාමිපුරුෂයෙකුට කළ හැකි දේ.

දරුවන් දෙමාපියන්ට කීකරු විය යුතු ආකාරය සහ භාර්යාවක් ස්වාමිපුරුෂයාට යටත් විය යුතු ආකාරය ගැන බයිබලයේ ඇති මඟ පෙන්වීම් අතර වෙනසක් තිබෙන බව ඇතැම් ස්වාමිපුරුෂයන් තේරුම්ගෙන නැහැ. (කොලොස්සි 3:20; 1 පේතෘස් 3:1) බයිබලයේ සඳහන් වෙන්නේ ස්වාමිපුරුෂයෙක් ‘තම බිරිඳට ඇලුම් වන්නේය ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය’ කියායි. (මතෙව් 19:5) නමුත් දෙමාපියන් සහ දරුවන් සම්බන්ධයෙන් බයිබලයේ එවැනි දෙයක් සඳහන් වෙන්නේ නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ භාර්යාවක් ඇගේ ස්වාමිපුරුෂයාට සහකාරියක් වන බවයි. (උත්පත්ති 2:18) ඒ අනුව දරුවෙක් දෙමාපියන් සමඟ කටයුතු කරන ආකාරයටම භාර්යාවක් ස්වාමිපුරුෂයෙක් සමඟ කටයුතු කළ යුතුයි කියා ස්වාමිපුරුෂයෙක් සිතනවා නම් ඔහු විවාහ සැලැස්මට ගරු කරනවා කියා පැවසිය හැකිද?

යේසුස් ක්‍රිස්තියානි සභාවට සැලකූ ආකාරයෙන් තම භාර්යාවන්ට සලකන්න කියා බයිබලයේ ස්වාමිපුරුෂයන්ට උපදෙස් දී තිබෙනවා. පහත සඳහන් කරුණු දෙක ඔබ අදාළ කරගන්නවා නම් ඔබගේ මූලිකත්වයට කැමැත්තෙන්ම යටත් වීම සඳහා එය භාර්යාවට උපකාරවත් වෙයි. (1) විවාහ වූ මුල් අවධියේදී ඔබේ භාර්යාව සෑම අවස්ථාවකදීම ඔබේ මූලිකත්වයට යටත් වෙයි කියා බලාපොරොත්තු වෙන්න එපා. (2) ඔබේම ශරීරය ගැන ඔබ සැලකිලිමත් වෙනවා හා සමානව ඔබේ භාර්යාවට ප්‍රේම කරන්න. ප්‍රශ්න ගැටලු ඇති වන අවස්ථාවලදී පවා ඇයට ප්‍රේමයෙන් සලකන්න.—එෆීස 5:25-29.

භාර්යාවකට කළ හැකි දේ.

ස්වාමිපුරුෂයාව ඔබේ හිස හැටියට පත් කර තිබෙන්නේ යෙහෝවා දෙවි බව අමතක කරන්න එපා. (1 කොරින්ති 11:3) ඒ අනුව ඔබ ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට ගරු කරනවා නම් ඉන් පෙන්වන්නේ ඔබ දෙවිට ගරු කරන බවයි. නමුත් ඔබ ස්වාමිපුරුෂයාගේ මූලිකත්වය ප්‍රතික්ෂේප කරනවා නම් ඉන් පෙනී යන්නේ දෙවිගේ ආඥා ඔබ සිතට ගෙන නැති බවයි.—කොලොස්සි 3:18.

යම් ගැටලුවක් පැන නැඟුණ විට ඔබේ සැමියාට දොස් පවරනවා වෙනුවට ගැටලුව විසඳාගැනීමට උත්සාහ කරන්න. පුරාණයේ සිටි එස්තර් බිසව ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. ඇයගේ ස්වාමිපුරුෂයා වූ අහෂ්වේරොෂ් රජ යුදෙව්වන්ව ඝාතනය කිරීමට අනුමැතිය දී තිබුණා. නමුත් ඒ විනාශය වැළැක්වීමට එස්තර් පියවර ගත්තා. කොහොමවුණත් ඇය අහෂ්වේරොෂ් රජට දොස් පවරනවා වෙනුවට ගැටලුවට අවධානය දී ඉතා නිහතමානී ආකාරයෙන් කටයුතු කළ නිසා රජ ඇගේ ඉල්ලීම ඉටු කරමින් යුක්තිය ඉටු කළා. (එස්තර් 7:1-4; 8:3-8) ඔබත් පහත සඳහන් කරුණු දෙක අදාළ කරගන්නවා නම් ඔබේ ස්වාමිපුරුෂයා ඔබට බොහෝ සෙයින් ප්‍රේම කිරීමට පෙලඹෙයි. (1) පවුලේ මූලිකයා ලෙස ඔහුට හිමි වැඩ කොටසට හුරුවීම සඳහා ඔහුට යම් කාලයක් දෙන්න. (2) ඔහු අතින් අඩුපාඩු සිදු වුණත් ඔහුට ගෞරවයෙන් සලකන්න.—එෆීස 5:33.

මෙය අත්හදා බලන්න. ඔබේ සහකරු හෝ සහකාරිය දියුණු කරගත යුතු පැති ගැන සිතනවා වෙනුවට ඔබ දියුණු විය යුතු පැති සටහන් කරගන්න. ස්වාමිපුරුෂයෙනි ඔබ මූලිකත්වය හොබවන ආකාරය නිසා ඔබේ භාර්යාව වේදනාවට පත් වෙනවාද? එසේනම් ඔබට දියුණු විය හැකි පැති මොනවාද කියා ඔබේ භාර්යාවගෙන් අසා ඒවා සටහන් කරගන්න. භාර්යාවෙනි ඔබෙන් ලැබිය යුතු නිසි ගෞරවය ඔබේ ස්වාමිපුරුෂයාට ලැබෙන්නේ නැහැ කියා ඔහුට හැඟෙනවාද? එසේනම් ඔබ දියුණු කරගත යුතු පැති මොනවාද කියා ඔබේ පුරුෂයාගෙන් අසා ඒවා සටහන් කරගන්න.

සාධාරණ වන්න

සන්තෝෂවත් විවාහ ජීවිතයක් ගත කිරීමට පුරුදු වීම බයිසිකලයක් පදින්න පුහුණු වෙනවාට සමාන කළ හැකියි. මුලදී පුද්ගලයෙක් බයිසිකලයෙන් වැටෙන්න ඉඩ තිබෙනවා. නමුත් කාලයත් සමඟම ඔහු හොඳින් බයිසිකලය පැදීමට හුරු වෙනවා. ඒ හා සමානව විවාහ ජීවිතයේ මුල් අවධියේදීත් යම් ප්‍රශ්න ගැටලු අද්දැකීමට සිදු වුණත් කාලයත් සමඟම සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට හැකි බව මතක තබාගන්න.

විවාහ ජීවිතයේ විහිළු තහළුවලටත් ඉඩක් දෙන්න. කිසිම විටක ඔබේ සහකරුගේ අවශ්‍යතා සැහැල්ලුවට ගන්න එපා. ඔබ අතින් අඩුපාඩුකම් සිදුවන විට ඒවා කැමැත්තෙන්ම පිළිගන්න. ඔබේ යුග දිවියේ මුල් වසර තුළ ඔබේ සහකරුව හෝ සහකාරියව සතුටු කිරීමට උපරිමය කරන්න. (ද්විතීය කතාව 24:5) ඒ සියල්ලටම වඩා දෙවිගේ මඟ පෙන්වීම් ඔබගේ විවාහ ජීවිතයට අදාළ කරගැනීමට උපරිම වෑයමක් දරන්න. එසේ කිරීමෙන් ඔබට සතුටින් පිරි යුග දිවියක් ගත කිරීමට හැකි වන බවට කිසිම සැකයක් නැහැ.

^ 9 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

ඔබගෙන්ම මෙසේ අසාගන්න . . .

  • මගේ කිට්ටුම මිතුරා ලෙස මම සලකන්නේ මගේ සහකරුවද නැත්නම් වෙන කෙනෙකුවද?

  • මගේ සහකරුට හෝ සහකාරියට මම ආදරය කරන බවත් ගෞරවය කරන බවත් පෙන්වීමට අද දවස තුළදී මම කළේ මොනවාද?