Skip to content

පටුනට යන්න

දෙවිගේ නාමය දැනගැනීම අභියෝගයක් වී තිබෙන්නේ ඇයි?

දෙවිගේ නාමය දැනගැනීම අභියෝගයක් වී තිබෙන්නේ ඇයි?

ඔබ දෙවිගේ නාමය දැනගන්නවාට අකමැති කෙනෙක් සිටිනවා. ඔහු උත්සාහ කරන්නේ ඔබව දෙවිගෙන් ඈත් කරන්නයි. ඒ කවුද? ඒ වෙන කිසිවෙක් නොව සාතන් නමැති යක්ෂයායි. බයිබලයේ ඔහුව හඳුන්වා තිබෙන්නේ දෙවි කෙරෙහි විශ්වාසයක් නැති මිනිසුන්ගේ මනස් අන්ධ කරන “මේ සමාජයේ දෙවියා” ලෙසයි. ඔහුට අවශ්‍ය වන්නේ ඔබව අන්ධකාරයට ඇද දමා “දෙවි පිළිබඳ තේජවත් දැනුමෙන්” ඔබේ සිත ‘ආලෝකවත් වීම’ වළක්වන්නයි. ඔහු එය කරන්නේ කෙසේද?—2 කොරින්ති 4:4-6.

දෙවිගේ නාමය මිනිසුන්ගෙන් සැඟවීමට යක්ෂයා බොරු උගන්වන ආගම් යොදාගෙන තිබෙනවා. උදාහරණයකට යුදෙව් ආගමික ඉගැන්වීම් ගැන සලකා බලන්න. එම ඉගැන්වීම් නිසා සමහර යුදෙව්වන් ශුද්ධ ලියවිලි අමතක කර දමා දෙවිගේ නාමය භාවිත කිරීම අත්හැර දැමුවා. එමෙන්ම ක්‍රිස්තු වර්ෂ මුල් සියවස්වල සිටි ප්‍රසිද්ධියේ ශුද්ධ ලියවිලි කියෙවූ අය දෙවිගේ නාමය වෙනුවට “ස්වාමීන්” යන ආදේශක වචනය යොදාගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ අයට දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට තිබූ අවස්ථාව නැති වී ගියා. නමුත් යේසුස් සම්බන්ධයෙන් පැවසිය හැක්කේ කුමක්ද? දෙවිගේ නාමය භාවිත කිරීම ගැන ඔහුට හැඟුණේ කෙසේද?

යේසුස් සහ ඔහුගේ අනුගාමිකයන් දෙවිගේ නාමය දැනුම් දුන්නා

යෙහෝවා දෙවිට යාච්ඤා කළ අවස්ථාවකදී යේසුස් මෙසේ පැවසුවා. “මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා. ඒ ගැන ඉදිරියටත් දැනුම් දෙනවා.” (යොහන් 17:26) ඇත්තටම යේසුස්ට කලින් සිටි අනාගතවක්තෘවරුන් හා සමානව යේසුස්ද දෙවිගේ නාමය ප්‍රසිද්ධියේ සඳහන් කළා. ඔහු ශුද්ධ ලියවිලි කියෙවූ විටත් ඉන් උපුටා දැක්වූ විටත් ඒවා පැහැදිලි කර දුන් විටත් දෙවිගේ නාමය ප්‍රකාශ කළා. යුදෙව් ආගමේ සම්ප්‍රදායන් නිසා සමහරු දෙවිගේ නාමය භාවිත නොකළත් යේසුස් එවැනි සම්ප්‍රදායන් අනුමත කළේ නැහැ. දෙවිගේ වචනය නොසලකාහරිමින් සිටි ආගමික නායකයන්ව හෙළාදකිමින් ඔහු මෙසේ පැවසුවේ ඒ නිසයි. “ඔබ, ඔබේ සම්ප්‍රදායන් නිසා දෙවිගේ වචනය අවලංගු කර තිබෙනවා.”—මතෙව් 15:6.

දෙවිගේ නාමය දැනුම් දීම සම්බන්ධයෙන් යේසුස් කදිම ආදර්ශයක්

යේසුස් මිය ගොස් නැවත ස්වර්ගයට ගිය පසුවත් ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන් දිගටම දෙවිගේ නාමය අන් අයට දැනුම් දුන්නා. ( “මුල් ක්‍රිස්තියානීන් දෙවිගේ නම භාවිත කළාද” යන කොටුව බලන්න.) ක්‍රිස්තු වර්ෂ 33දී ක්‍රිස්තියානි සභාව බිහි වූ දවසේ පේතෘස් ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දක්වමින් යුදෙව්වන්ට සහ යුදෙව් ආගමට හැරුණු අයට මෙසේ පැවසුවා. “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවාගනු ලබන්නේය.” (ක්‍රියා 2:21; යෝවෙල් 2:32) මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් විවිධ ජාතීන් අතරට ගොස් දෙවිගේ නාමය දැනුම් දී දෙවිව හොඳින් හඳුනාගැනීමට මිනිසුන්ට උපකාර කළා. යේසුස්ගේ අනුගාමිකයෙකු වූ යාකොබ් යෙරුසලමේ සිටි වැඩිමහල්ලන් සහ යේසුස්ගේ නියෝජිතයන් සමඟ පැවැත්වූ රැස්වීමකදී මෙසේ පැවසුවේ ඒ නිසයි. ‘වෙනත් ජාතීන්වල මිනිසුන්ව තෝරාගැනීමට දෙවි පියවර ගත්තේ තම නාමය දැරීමට සෙනඟක් ඔවුන් අතරින්ද තෝරාගැනීමටයි.’—ක්‍රියා 15:14.

කොහොමවුණත් දෙවිගේ නාමය දැනගැනීමෙන් මිනිසුන්ව වළක්වන්න දැරූ වෑයම යක්ෂයා නතර කළේ නැහැ. යේසුස්ගේ මුල් අනුගාමිකයන් මිය ගිය පසුව යක්ෂයා යළිත් ක්‍රියාත්මක වුණා. ඔහු ක්‍රිස්තියානියැයි කියාගන්නා අය මාර්ගයෙන් සත්‍යය විකෘති කළා. (මතෙව් 13:38, 39; 2 පේතෘස් 2:1) උදාහරණයකට යේසුස්ගේ නියෝජිතයෙකු වූ යොහන් මිය ගිය කාලයේදීම උපත ලැබූ ජස්ටින් මාටර් නම් ලේඛකයා පැවසූ දේ සලකා බලන්න. ඔහු අවධාරණයෙන් යුතුව සඳහන් කළේ සියලු දේ සපයන “දෙවිට නමක් නැහැ” කියායි.

මුල් සියවස්වල සිටි සත්‍ය ඉගැන්වීම් විකෘති කළ ක්‍රිස්තියානීන් අලුත් ගිවිසුමේ පිටපත් සෑදු විට යෙහෝවා යන දෙවිගේ නාමය ඒ පිටපත්වලට ඇතුළත් කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ග්‍රීක භාෂාවෙන් ස්වාමීන් යන ආදේශක වචනය යොදාගත්තා. පැරණි ගිවිසුමට සිදු වුණෙත් ඒ හා සමාන දෙයක්. පැරණි ගිවිසුමට අදාළ ලියවිලිවල සඳහන්ව තිබූ දෙවිගේ නාමය උච්චාරණය කිරීම නතර කර දැමීමත් සමඟ පිටපත්කරුවන් දෙවිගේ නාමයත් ඒ ලියවිලිවලින් ඉවත් කළා. උදාහරණයකට ස්ථාන 130කට වඩා වැඩි ගණනක සඳහන්ව තිබූ දෙවිගේ නාමය ඉවත් කර ඔවුන් “ස්වාමීන්” යන වචනය යෙදුවා. ප්‍රතිඵලයක් ලෙස ඒ ලියවිලි ඇසුරෙන් ක්‍රිස්තු වර්ෂ 405දී ජෙරොම් ලතින් භාෂාවෙන් බයිබලය (Vulgate) පරිවර්තනය කළ විට ඔහු දෙවිගේ නාමය ඇතුළත් කළේ නැහැ.

නොනවතින උත්සාහයක්

මුල් බයිබල් පිටපත්වල දෙවිගේ නාමය 7,000 වාරයක් පමණ සඳහන් වී තිබුණා කියා අද සිටින බයිබල් විශාරදයන් පිළිගන්නවා. ඒ නිසා අද බහුලව භාවිත කරන ඇතැම් බයිබල් පරිවර්තනවල දෙවිගේ නාමය ඇතුළත් කර තිබෙනවා. උදාහරණයකට කතෝලික ජෙරුසලම් බයිබලයේ මෙන්ම ස්පාඤ්ඤ භාෂාවෙන් පළ වී ඇති ලා බිබ්ලියා ලැටිනොමෙරිකා සහ රේනා වැලේරා පරිවර්තනවල දෙවිගේ නාමය බහුලව දැකිය හැකියි. ඇතැම් බයිබල් පරිවර්තනවල දෙවිගේ නාමය සඳහන් වී තිබෙන්නේ “යාවේ” ලෙසයි.

කනගාටුදායක ලෙස බයිබල් පරිවර්තන වැඩවලට අනුග්‍රහය දක්වන පල්ලි දෙවිගේ නාමය බයිබලයට ඇතුළත් කිරීමට අවසර දෙන්නේ නැහැ. උදාහරණයකට වර්ෂ 2008 ජූනි 29දා වතිකානුව බිෂොප්වරුන් අමතා ලියූ ලිපියක සඳහන් වූ දේ සලකා බලන්න. “ඊශ්‍රායෙල්වරුන් නමස්කාර කළ දෙවිගේ නාමය නැවතත් භාවිත කිරීමේ පුරුද්දක් මෑත කාලයේදී පටන්ගෙන ඇති බව පෙනෙන්න තිබෙනවා. දෙවිගේ නාමය කිසිම ආකාරයකින් භාවිත නොකරන්න. බයිබලය පරිවර්තනය කරන විටත් දෙවිගේ නාමය වෙනුවට ස්වාමීන් කියා සඳහන් කළ යුතුයි.” ඉන් පැහැදිලි වෙන්නේ දෙවිගේ නාමය ඉවත් කිරීම වතිකානුවේ එකම අරමුණ බවයි.

කතෝලික ආගමට අමතරව රෙපරමාදු ආගම්ද දෙවිගේ නාමය බයිබලයට ඇතුළත් නොකිරීමට පියවර ගත්තා. රෙපරමාදු ආගමේ අනුග්‍රහයෙන් 1978දී කරන ලද නිව් ඉන්ටර්නැෂිනල් වර්ෂන් නම් බයිබලය ප්‍රකාශයට පත් කිරීමට සම්බන්ධ වූ කෙනෙක් මෙසේ පැවසුවා. “දෙවිගේ අද්විතීය නාමය යෙහෝවා කියලා අපි දන්නවා. ඒ නිසා දෙවිගේ නාමය බයිබලයට ඇතුළත් කළ යුතුමයි. නමුත් අපි එහෙම කළා නම් ඒ වෙනුවෙන් වියදම් කළ සල්ලි (විසිපන්කෝටි හැටලක්ෂයම) වතුරේ දැම්මා වගේ වෙනවා.”

දෙවිගේ නාමය ලතින් ඇමරිකානුවන්ගෙන් සැඟවීමට පල්ලි ගෙන තිබෙන පියවර ගැනත් සලකා බලන්න. ජාත්‍යන්තර බයිබල් සමාගමක් වන එක්සත් බයිබල් සමාගමේ පරිවර්තක උපදේශකයෙකු වන ස්ටීවන් වෝට් මෙසේ වාර්තා කළා. “දෙවිගේ නාමය භාවිත කිරීම සම්බන්ධයෙන් ලතින් ඇමරිකාවේ සිටින රෙපරමාදු ආගමිකයන් අතර වාද විවාද ඇති වෙනවා. එක් ක්‍රිස්තියානියැයි කියාගන්නා ආගමික කණ්ඩායමක් 1960දී ප්‍රකාශයට පත් කළ රේනා වැලේරා නම් බයිබල් පරිවර්තනයේ පිටපත් ඉල්ලා සිටියා. නමුත් ඒ බයිබල් පිටපත්වලින් දෙවිගේ නාමය ඉවත් කර ඒ වෙනුවට ස්වාමීන් යන ආදේශක නාමය යොදන්න කියා ඔවුන් පැවසුවා.” වෝට් පැවසූ ලෙස මුලදී එක්සත් බයිබල් සමාගම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළත් පසුව “දෙවිගේ නාමය ඉවත් කරමින්” එම බයිබලය ප්‍රකාශයට පත් කරන්න ඔවුන් එකඟ වුණා.

බයිබල් පිටපත්වලින් දෙවිගේ නාමය ඉවත් කර ඒ වෙනුවට “ස්වාමීන්” කියා යෙදීමෙන් බයිබලය කියවන අයට දෙවිව දැනගැනීමට තිබෙන අවස්ථාව ගිලිහී ගොස් තිබෙනවා. ඒ නිසා බයිබලයේ “ස්වාමීන්” කියා යොමු දක්වන්නේ යෙහෝවා දෙවිටද නැත්නම් ඔහුගේ පුත්‍රයා වන යේසුස්ටද කියා තේරුම්ගැනීම පහසු වී නැහැ. ඒ සම්බන්ධයෙන් උදාහරණයක් සලකා බලමු. එක් අවස්ථාවක පේතෘස්, දාවිත් රචනා කළ දෙයක් උපුටා දක්වමින් මෙසේ සඳහන් කළා. “යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට [එනම් නැවත නැඟිටුවන ලද යේසුස්ට] මෙසේ කීවේය. “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න.” නමුත් බොහෝ බයිබල් පරිවර්තනවල ඒ අදහස සඳහන් කර තිබෙන්නේ “මාගේ දකුණු පැත්තේ හිඳගනින්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි” කියායි. (ක්‍රියා 2:34, 35 පැරණි අනුවාදය) එම පදයේ සඳහන් දේ කවුරුන් විසින් කාහට කියනලද්දක්ද කියා පැහැදිලි නැහැ. ඩේවිඩ් ක්ලයින්ස් නම් ලේඛකයා ලියූ “යාවේ සහ ක්‍රිස්තියානි ධර්මයේ දෙවි” නම් රචනාවේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “දෙවිගේ නාමය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ එක් ප්‍රතිඵලයක් ලෙස දෙවි වෙනුවට යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි පමණක් ක්‍රිස්තියානියැයි කියාගන්නා අයගේ අවධානය යොමු වී තිබෙනවා.” යේසුස් යාච්ඤා කළ සැබෑ දෙවිට නමක් තිබෙන බව අද පල්ලි යන බොහෝදෙනා දන්නේ නැහැ.

දෙවි ගැන දැනගැනීමෙන් මිනිසුන්ව වළක්වන්න යක්ෂයා ඉතා කපටි ලෙස ක්‍රියා කරමින් සිටිනවා. ඒ වුණත් දෙවිව හඳුනාගෙන ඔහු සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්න ඔබට පුළුවන්.

ඔබට දෙවිව හඳුනාගත හැකියි

බොරු ආගම් මාර්ගයෙන් දෙවිගේ නාමය මිනිසුන්ගෙන් සැඟවීමට සාතන් දැඩි උත්සාහයක යෙදී සිටින බව පැහැදිලියි. නමුත් යෙහෝවා දෙවි ඔහු ගැනත් ඔහුගේ අරමුණු ගැනත් දැනගැනීමට කැමැත්තක් දක්වන සියලුදෙනාටම තම නාමය හෙළි කරනවා. සියලු බලැති දෙවිව ඉන් වළක්වන්න යක්ෂයාටවත් වෙන කිසිම බලවේගයකටවත් බැහැ.

බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඔබට දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගත හැකි ආකාරය සම්බන්ධයෙන් කියා දෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා. “මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා” කියා යේසුස් පැවසූ ලෙසම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද දෙවිගේ නාමය සියල්ලන්ටම දැනුම් දෙනවා. (යොහන් 17:26) මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් යෙහෝවා දෙවි විවිධ තත්වයන්ට අනුව කටයුතු කර ඇති ආකාරය බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඔබට දැනගත හැකියි. එවිට යෙහෝවා දෙවිගේ අනර්ඝ ගුණාංග ගැන ඔබට වඩාත් හොඳින් දැනගැනීමට හැකි වෙනවා.

අතීතයේ සිටි දෙවිගේ සේවකයෙකු වූ යෝබ්, දෙවිගේ “සමීප මිතුරෙකු” වූවා හා සමානව ඔබටත් දෙවිගේ සමීප මිතුරෙකු විය හැකියි. (යෝබ් 29:4) බයිබලය මාර්ගයෙන් ඔබ දෙවි ගැන ඉගෙනගන්නා විට දෙවි තම නාමයට අනුව “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා බව” ඔබ තුළම විශ්වාසයක් ඇති වෙයි. (නික්මයාම 3:14) ඇත්තෙන්ම යෙහෝවා දෙවි තම නාමයට එකඟව මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් දී තිබෙන සියලුම පොරොන්දු ඉටු කරනවා.