Skip to content

පටුනට යන්න

අවංක පසුතැවිල්ලට සමාව දෙන දෙවි

අවංක පසුතැවිල්ලට සමාව දෙන දෙවි

දෙවිට ළං වෙන්න

අවංක පසුතැවිල්ලට සමාව දෙන දෙවි

2 සාමුවෙල් 12:1-14

අපි සෑම කෙනෙකු අතින්ම බොහෝ අවස්ථාවලදී වැරදි සිදු වෙනවා. එවැනි අවස්ථාවලදී ‘දෙවි මගේ යාච්ඤාවලට සවන් දෙයිද, මං කළ වරදට දෙවි සමාව දෙයිද’ කියා අපට සිතෙන්න පුළුවන්. යෙහෝවා දෙවි වැරදි දේවල් අනුමත කරන්නේ නැහැ. නමුත් අවංකව පසුතැවිලි වන අයට ඔහු සමාව දෙනවා. ඒ බව පුරාණයේ සිටි දාවිත් රජ සම්බන්ධ සිදුවීමකින් අපට පැහැදිලිව දැනගත හැකියි.

දාවිත් රජ බැත්-ෂෙබා නම් කාන්තාව සමඟ අනාචාරයේ යෙදීමෙන් බරපතළ වරදක් කළා. පසුව එම වරද වසාගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. ඒ නිසා ඔහු බැත්-ෂෙබාගේ ස්වාමිපුරුෂයාව මරා දැමීමට පියවර ගත්තා. ඉන්පසු තමා අතින් කිසිම වරදක් සිදු නොවූ ආකාරයට ඔහු ජීවත් වුණා. නමුත් ඒ කිසිවක් දෙවිගෙන් සැඟවීමට ඔහුට හැකි වුණාද? නැහැ. දෙවි ඒ සියල්ල දුටුවා. ඒ වුණත් දාවිත් රජ තමන් කළ වැරදි ගැන පසුතැවී හරි මඟට පැමිණෙන බව දෙවි දැන සිටියා. ඊට හේතුව යෙහෝවා දෙවිට කෙනෙකුගේ සිත සෝදිසි කිරීමට හැකි වීමයි. (හිතෝපදේශ 17:3) කොහොමවුණත් දාවිත් රජ කළ වැරදි සම්බන්ධයෙන් දෙවි කටයුතු කළේ කෙසේද?

දාවිත් රජ කළ වරද පෙන්වා දීමට යෙහෝවා දෙවි තම අනාගතවක්තෘවරයෙකු වූ නාතන්ව ඔහු වෙතට යැව්වා. (2 සාමුවෙල් 12:1) එසේ ගිය නාතන් දාවිත් රජ ඉදිරියේ කල්පනාකාරීව කතා කිරීමට වගබලා ගත්තා. නමුත් ඔහු දාවිත් රජ කර තිබෙන වරදේ බරපතළකම පෙන්වා දුන්නේ කෙසේද?

නාතන් එය තේරුම් කර දීමට ධනවත් මිනිසෙක් සහ දුප්පත් මිනිසෙක් සම්බන්ධ කතාවක් දාවිත් රජට පැවසුවා. දාවිත් රජ කලින් එඬේරෙකුව සිටි නිසා නාතන් පවසන කතාව ඔහුට හොඳින්ම අවබෝධ වෙන්න ඇති. එම කතාවේ සිටි ධනවත් මිනිසාට “විශාල බැටළු හා ගව රැළක් සිටියා.” නමුත් දුප්පත් මිනිසාට සිටියේ “එකම එක බැටළු පැටියෙක් විතරයි. ඌත් ගෑනු සතෙක්.” දිනක් ධනවතාගේ නිවසට අමුත්තෙක් පැමිණියා. ඒ අවස්ථාවේදී එම ධනවතා තමාගේ විශාල බැටළු රැළෙන් සතෙක් ගන්නවා වෙනුවට දුප්පතාට සිටි එකම බැටළුවාව රැගෙන ඌව මරා අමුත්තාට සංග්‍රහ කළා. මේ කතාව ඇසූ විගස දාවිත් රජ මහත් සේ කෝප වී පැවසුවේ අනුකම්පාවක් නැතුව මේ දේ කළ ඒ ධනවතාව මරා දැමිය යුතුයි කියායි. *2 සාමුවෙල් 12:2-6.

එවිට නාතන් “ඔබ තමයි ඒ මිනිසා” කියා දාවිත් රජට පැවසුවා. (2 සාමුවෙල් 12:7) ඒ අවස්ථාවේදී තමන් කළ වරදේ බරපතළකම දාවිත් රජට පැහැදිලි වුණා. ඒ වරද කිරීමෙන් දාවිත් රජ යෙහෝවා දෙවිගේ නීතිය කඩ කළ නිසා දෙවි එම වරද සැලකුවේ තමාට විරුද්ධව කළ පාපයක් ලෙසයි. ඒ නිසා “ඔබ මට අවමන්” කළා කියා දෙවි, දාවිත් රජට පැවසුවා. (2 සාමුවෙල් 12:10) එවිට දාවිත් රජ බොහෝ සෙයින් පසුතැවී තමා ‘යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළ’ බව පිළිගත්තා. ඔහු කළ වරදට යෙහෝවා දෙවි සමාව දුන්නත් එම වරදේ ප්‍රතිවිපාකවලින් බේරීමට ඔහුට හැකි වුණේ නැහැ.—2 සාමුවෙල් 12:13, 14.

තමා කළ වරද ගැන මහත් සේ ශෝක වූ දාවිත් රජ ඒ ගැන තමන්ට හැඟුණු ආකාරය අලළා ගීතිකාවක් රචනා කළා. එය ගීතාවලිය පොතේ 51වන ගීතිකාවයි. තමන් කළ වරදට යෙහෝවා දෙවි සමාව දුන් බව තේරුම්ගත් දාවිත් රජ මෙසේ පැවසුවා. “තැළුණාවූ බිඳුණාවූ හදවතක් ඔබ හෙළා නොදකින්නෙහිය.” (ගීතාවලිය 51:17) තමන් අතින් සිදු වූ වැරදි ගැන පසුතැවිලි වන කෙනෙකුට එම වදන් මොන තරම් සහනයක්ද!

[පාදසටහන]

^ 7 ඡේ. අමුත්තෙක් නිවසකට පැමිණි විට බැටළුවෙකුව මරා සංග්‍රහ කිරීම අතීතයේ ඊශ්‍රායෙලයේ සිරිතක්ව තිබුණා. නමුත් ඒ සඳහා බැටළුවෙකුව සොරකම් කිරීම වරදක් වූ අතර ඊට වන්දියක් ලෙස බැටළුවන් හතරදෙනෙක් දීමට සිදු වුණා. (නික්මයාම 22:1) දාවිත් රජ බැටළු පැටවාව ගත් ධනවතාව සැලකුවේ කිසිම අනුකම්පාවක් නැති කෙනෙක් ලෙසයි. ඊට හේතුව යම් දිනක පවුලේ අයට කිරි සහ ලොම් ගැනීමටත් බැටළු රැළක් ඇති වීමටත් ඉඩ තිබුණේ ඒ බැටළු පැටවාගෙන් නිසයි.