Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

යේසුස් කතා කළ භාෂාව කුමක්ද?

යේසුස් කතා කළේ කුමන භාෂාවද යන්න ගැන විශාරදයන් විවිධ මත දරනවා. නමුත් බොහෝදුරට ඔහු හෙබ්‍රෙව් හෝ අරාමීය භාෂාව කතා කරන්න ඇති. යේසුස් ගලීලයේ නාසරෙත් නුවරට ගොස් ආගම උගන්වන ස්ථානයක් වූ සිනගෝගයකදී අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියෙව්වා. එය ලියැවී තිබුණේ හෙබ්‍රෙව් භාෂාවෙනුයි. එම කොටස ඔහු අරාමීය භාෂාවට පරිවර්තනය කළ බවක් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.—ලූක් 4:16-21.

යේසුස් පොළොවේ සිටි කාලයේදී පලස්තීනයේ භාවිත වූ භාෂාවන් සම්බන්ධයෙන් මහාචාර්ය අර්නස්ට් රයිට් මෙවැනි දෙයක් පවසනවා. “එවකට පොදුවේ භාවිත කළේ ග්‍රීක හා අරාමීය භාෂාවයි. උසස් නිලතල දැරූ රෝම නිලධාරීන් සහ රෝම සොල්දාදුවන් ලතින් භාෂාවෙන් කතා කරන්න ඇති. එමෙන්ම තම සම්ප්‍රදායන්වලට ඇලී සිටි යුදෙව්වන් හෙබ්‍රෙව් භාෂාවෙන් කතා කරන්න ඇති.” හෙබ්‍රෙව්, ලතින් සහ ග්‍රීක යන භාෂාවලින් ලියූ සටහනක් යේසුස්ගේ වධකණුවේ සවි කළේ ඒ නිසයි.—යොහන් 19:20.

මහාචාර්ය ඇලන් මිලර්ඩ් ඔහුගේ කෘතියක මෙවැනි දෙයක් සඳහන් කළා. “එදා සිටි රෝම ආණ්ඩුකාරවරුන් ඔවුන්ගේ රාජකාරී කටයුතුවලදී කතා කළේ ග්‍රීක භාෂාවයි. පිලාත් යේසුස්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී යේසුස් ඔහුට පිළිතුරු දෙන්න ඇත්තේ ග්‍රීක භාෂාවෙන්මයි.” (Discoveries From the Time of Jesus) යේසුස් සහ පිලාත් කතා කළේ ග්‍රීක භාෂාවෙන්ද කියා බයිබලයේ සඳහන් වී නැහැ. අනික් අතට ඔවුන් පැවසූ දේවල් එකිනෙකාට පරිවර්තනය කිරීමට කෙනෙක් සිටි බවත් එහි සඳහන් වෙන්නේ නැහැ.—යොහන් 18:28-40.

මහාචාර්ය රයිට් මෙසේද පැවසුවා. “යේසුස් කතා කළේ ග්‍රීක භාෂාවෙන්ද ලතින් භාෂාවෙන්ද කියලා අපිට දැනගන්න ක්‍රමයක් නැහැ. නමුත් දේවසේවයේදී ඔහු නිතරම වගේ අරාමීය භාෂාවෙන් හෝ අරාමීය ආභාෂයක් තිබූ හෙබ්‍රෙව් භාෂාවෙන් කතා කළා.”—Biblical Archaeology, 1962, 243 පිටුව.

දේවමාලිගා ගොඩනැඟිල්ලේ ගල් කොතරම් විශාලද?

යෙරුසලමේ දේවමාලිගාව හා එහි වෙනත් ගොඩනැඟිලි ඉදි කර තිබුණේ ඉතා විශාල අත්තිවාරමක් මතයි. ඒ සඳහා දැවැන්ත ගල් යොදාගෙන තිබුණා. ඒ නිසයි යේසුස්ගේ ගෝලයන් ඔහුට මෙවැනි දෙයක් පැවසුවේ. “ගුරුතුමෙනි, බලන්න! මේ ගල් දිහා! මේ ගොඩනැඟිලි දිහා!” (මාක් 13:1) ඇත්තෙන්ම ඒ ගල් කොතරම් විශාලද?

යේසුස්ගේ කාලයේදී තිබූ ඒ සුවිශාල අත්තිවාරම ගොඩනඟනු ලැබුවේ හෙරෝද් රජ විසිනුයි. ඒ සඳහා ඔහු භාවිත කළ සමහර ගල් අඩි 35ක් දිග, අඩි 15ක් පළල සහ අඩි 10ක් උසින් යුක්තයි. ටොන් 50කටත් වඩා බරින් යුත් ගල් කිහිපයක්ද ඒ අතර තිබෙනවා. එමෙන්ම ටොන් 400කට ආසන්න බරකින් යුක්ත ගලක්ද එහි තිබෙන අතර ඒ ගැන එක් විශාරදයෙක් පැවසුවේ “ඉදි කිරීම් කටයුතු සඳහා මෙතරම් විශාල ගලක් ඉතිහාසයේ කිසිම දිනක යොදාගෙන නැහැ” කියායි. අඩි 1,575ක් දිග, අඩි 910ක් පළල එම අත්තිවාරමට සම කළ හැකි වෙනත් ගොඩනැඟිල්ලක් ඉතිහාසයේ තිබී නැහැ.

එම දැවැන්ත අත්තිවාරම ගැන ගෝලයන් පැවසූ විට යේසුස් මෙලෙස පිළිතුරු දුන්නා. “මේ මහත් ගොඩනැඟිලි ඔබට පෙනෙනවාද? මෙහි ගලක් පිට ගලක් කිසිසේත් ඉතිරි නොවන ලෙස ඒවා සියල්ලම බිම හෙළනු ලබන්නේය.” (මාක් 13:2) ක්‍රිස්තු වර්ෂ 70දී රෝම සොල්දාදුවන් යෙරුසලම වැටලූ විට මේ දැවැන්ත ගල්ද පෙරළා දැමුවා. ඒවායේ නටබුන් අදටත් දැකගත හැකියි.

[26වන පිටුවේ පින්තූරය]

දේවමාලිගාවේ ගල් පෙරළා දමා ඇති ආකාරය