Skip to content

පටුනට යන්න

‘අපේ විශ්වාසය තව ශක්තිමත් කරන්න’

‘අපේ විශ්වාසය තව ශක්තිමත් කරන්න’

“මගේ විශ්වාසය ශක්තිමත් කරගන්න මට උපකාර කරන්න.”—මාක් 9:24.

ගීතිකා: 81, 135

1. විශ්වාසය කොයි තරම් වැදගත්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

‘මහත් පීඩාවෙන් මාව බේරගන්න දෙවි කැමති වෙයිද’ කියලා කවදා හරි ඔයා හිතලා තියෙනවද? මහත් පීඩාවෙන් බේරෙන්න නම් අපිට තියෙන්න ඕනම දෙයක් ගැන පාවුල් මෙහෙම කියනවා. “යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම් ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක.” (හෙබ්‍රෙ. 11:6) ‘ඒක කියන්නත් දෙයක්ද’ කියලා හිතෙයි. ඒත් “සියලුදෙනා තුළ විශ්වාසය නැහැ” කියන දේ අපිට පිළිගන්න වෙනවා. (2 තෙස. 3:2) ඒ නිසා අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න එක හරිම වැදගත්.

2, 3. (අ) විශ්වාසය අත්‍යවශ්‍යම දෙයක් කියන්නේ ඇයි? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 අපේ විශ්වාසය ‘සෝදිසියට ලක් වෙනවා’ කියලා පේතෘස් කිව්වා. මහත් පීඩාවට තව වැඩි දවසක් නැහැ. මහත් පීඩාව අතරතුරේ “යේසුස් ක්‍රිස්තුස් එළිදරව් වන අවස්ථාවේදී” ආශීර්වාද ලබන අය අතරේ ඉන්නයි අපිට ඕනේ. (1 පේතෘස් 1:7 කියවන්න.) ඒ නිසා “ජීවිතය රැකගැනීමට දායක වන විශ්වාසයක් ඇති” කරගන්න අපි මහන්සි වෙන්න ඕනේ. (හෙබ්‍රෙ. 10:39) “මගේ විශ්වාසය ශක්තිමත් කරගන්න මට උපකාර කරන්න” කියලා ඉල්ලපු මිනිසා වගේ අපිත් උදව් ඉල්ලමු. (මාක් 9:24) “අප තුළ තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කරන්න” කියලා ඉල්ලපු නියෝජිතයන් වගේ අපිත් දෙවිගෙන් ඉල්ලමු.—ලූක් 17:5.

3 අපේ විශ්වාසය ශක්තිමත් කරගන්නේ කොහොමද? අපිට තියෙන්නේ ශක්තිමත් විශ්වාසයක් කියලා ඔප්පු කරන්නේ කොහොමද? විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් ඉල්ලලා යාච්ඤා කරද්දී දෙවි ඒ ඉල්ලීම ඉටු කරනවා කියලා ස්ථිර වෙන්න පුළුවන් කොහොමද? ඒ ගැන දැන් බලමු.

විශ්වාසය ශක්තිමත් කරගන්නවට දෙවි සතුටුයි

4. විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන ආදර්ශ මොනවද?

4 ශක්තිමත් විශ්වාසයක් තිබුණු අය ගැන බයිබලේ වාර්තා කරලා තියෙන්නේ ‘අපිට යමක් ඉගෙනගන්නයි.’ (රෝම 15:4) ආබ්‍රහම්, සාරා, ඊසාක්, යාකොබ්, මෝසෙස්, රාහබ්, ගිඩියොන්, බාරාක් වගේ අය ගැන ඉගෙනගද්දී ඒ අයට තිබුණා වගේ විශ්වාසයක් ඇති කරගන්න අපිත් පෙලඹෙනවා. (හෙබ්‍රෙ. 11:32-35) ශක්තිමත් විශ්වාසයක් තියෙන අය අදත් ඉන්නවා. ඒ අයගේ අද්දැකීම් කියවද්දීත් විශ්වාසය තව ශක්තිමත් කරගන්න ලොකු ආසාවක් ඇති වෙනවා. *

5. එලියාට ශක්තිමත් විශ්වාසයක් තිබුණා කියලා පැහැදිලි වුණේ කොහොමද? අපි අපෙන්ම අහගන්න ඕනෙ මොකක්ද?

5 එලියාට ශක්තිමත් විශ්වාසයක් තිබුණා. ඒක ඔප්පු වුණු අවස්ථා පහක් ගැන බලමු. (1) නියඟයක් ඇති වෙනවා කියලා ආහබ් රජුට කියපු අවස්ථාව. “මා සේවය කරන ඊශ්‍රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි වන යෙහෝවාගේ නාමයෙන් මම කියන මේ දේ සත්‍යයක්. මා අණ දුන්නොත් මිස ඊළඟ අවුරුදු කිහිපය තුළ වැසිවත් පිනිවත් ඇති වෙන්නේ නැහැ” කියලා ඔහු කිව්වේ ලොකු විශ්වාසයකින්. (1 රාජා. 17:1) (2) නියඟය පැවති කාලේ. තමන්ටත් අනිත් අයටත් ජීවත් වෙන්න අවශ්‍ය දේවල් ඒ කාලේ පුරාම දෙවි සපයනවා කියලා එලියා විශ්වාස කළා. (1 රාජා. 17:4, 5, 13, 14) (3) වැන්දඹුවගේ දරුවාව නැවත නැඟිටවපු අවස්ථාව. දරුවාව නැවත නැඟිටුවන්න දෙවිට පුළුවන් කියලා එලියා හොඳටම දැනගෙන හිටියා. (1 රාජා. 17:21) (4) කර්මෙල් කන්දේදී. දෙවි ගින්නක් එවලා තමන්ගේ පූජාව දවා දමයි කියන දේ ගැන ඔහුට සැකයක් තිබුණේ නැහැ. (1 රාජා. 18:24, 37) (5) නියඟය අවසන් වෙලා වැස්සක් එනවා කියපු අවස්ථාව. වැස්සක ලකුණක්වත් තිබුණේ නැතත් ඔහු ආහබ් රජුට කිව්වේ “මහා වර්ෂාවක් එන හඬක් මට ඇසෙනවා. ඒ නිසා ගොස් කා බී සතුටින් ඉන්න” කියලයි. (1 රාජා. 18:41) ‘එලියාට තිබුණා වගේ ශක්තිමත් විශ්වාසයක් මටත් තියෙනවද’ කියලා අපෙන්ම අහලා බලමු.

විශ්වාසය ශක්තිමත් කරගන්නේ කොහොමද?

6. විශ්වාසය ශක්තිමත් කරගන්න නම් දෙවිගෙන් අපිට ලැබෙන්න ඕනෙ මොකක්ද?

6 ශක්තිමත් විශ්වාසයක් අපේ හැකියාවෙන් ඇති කරගන්න බැහැ. ඒකට දෙවිගේ බලය ඕනේ. මොකද විශ්වාසය කියන්නේ කෙනෙක් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක්. (ගලා. 5:22) ඒ නිසා දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න කියලා යේසුස් දුන්න උපදෙස පිළිපදින එක ඥානවන්ත දෙයක්. යෙහෝවා දෙවිගෙන් “බලය ඉල්ලුවොත්” ඔහු ඒක දෙනවා කියලා යේසුස් පොරොන්දු වුණා.—ලූක් 11:13.

7. විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න පුළුවන් විදිහ පැහැදිලි කරන්න.

7 ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න එක විතරක් මදි, ඒක දිගටම තියාගන්නත් උත්සාහ කරන්න ඕනේ. ඒ කොහොමද? විශ්වාසය අපි සමාන කරමු ගින්නකට. ගින්නක් අවුළවපු ගමන්ම ගිනිදලු නඟිමින් හොඳට ඇවිළෙනවා. ඒත් දිගටම දර දැම්මේ නැත්නම් ගින්න අඩු වෙලා නිවිලා යනවා. දිගටම ඇවිළෙන්න නම් ඒකට තව තව දර දාන්න ඕනේ. අපේ විශ්වාසයත් ඒ වගේ. දිනපතාම බයිබලේ කියවලා අධ්‍යයනය කරනවා නම් බයිබලේ ගැන අපිට තියෙන ඇල්ම වගේම දෙවිට තියෙන ආදරෙත් තව වැඩි වෙනවා. එතකොට අපේ විශ්වාසය දිගටම ශක්තිමත්ව තියාගන්න අපිට පුළුවන්.

8. ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්නත් ඒක දිගටම තියාගන්නත් උදව් වෙන්නේ මොනවද?

8 ‘බව්තීස්ම වෙන්න කලින් ඉගෙනගත්ත දේවල් හොඳටම ඇති’ කියලා හිතන්න එපා. (හෙබ්‍රෙ. 6:1, 2) දිගටම බයිබලේ අධ්‍යයනය කරන්න. උදාහරණෙකට දැනටමත් ඉටු වෙලා තියෙන අනාවැකි ගැන අධ්‍යයනය කරන්න. එහෙම කරද්දී ශක්තිමත් විශ්වාසයක් ඇති කරගෙන ඒක දිගටම තියාගන්න ඔයාට පුළුවන් වෙයි. ඔයාගේ විශ්වාසය ශක්තිමත්ද නැද්ද කියලා තේරුම්ගන්නත් බයිබල් අධ්‍යයනය ඔයාට උදව් වෙයි.—යාකොබ් 1:25; 2:24, 26 කියවන්න.

9, 10. අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න (අ) හොඳ යාළුවෝ (ආ) රැස්වීම් (ඇ) සේවය උදව් වෙන්නේ කොහොමද?

9 “ඔබ මාගේ විශ්වාසයෙනුත් මා ඔබේ විශ්වාසයෙනුත් දිරිගැන්වීමක් ලබනු ඇත” කියලා පාවුල් කිව්වා. (රෝම 1:12) සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරද්දී විශේෂයෙන්ම විවිධ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීලා ‘විශ්වාසය සෝදිසියට ලක් වුණු’ අයව ආශ්‍රය කරද්දී අපේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. (යාකො. 1:3) අපි ආශ්‍රය කරන අයට පුළුවන් අපේ විශ්වාසය ශක්තිමත් කරන්න නැත්නම් දුර්වල කරන්න. (1 කොරි. 15:33) ‘එකිනෙකාව දිරිගන්වන්න පුළුවන්’ හොඳ යාළුවන්ව රැස්වීම්වලදී අපිට ආශ්‍රය කරන්න ලැබෙනවා. රැස්වීම් අතපසු කරන්න එපා කියලා අපිට දිරිගන්වන්නේ ඒ නිසයි. (හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.) රැස්වීම්වලින් ඉගෙනගන්න දේවලිනුත් අපේ විශ්වාසය ශක්තිමත් වෙනවා. “විශ්වාසයක් ඇති වන්නේ පණිවිඩයට සවන් දුන්නොත් පමණයි” කියලා පාවුල් කිව්වේ ඒ නිසයි. (රෝම 10:17) ‘මං වරද්දන්නේ නැතුව හැම රැස්වීමකටම යනවද’ කියලා ඔයාගෙන්ම අහලා බලන්න.

10 විශ්වාසය ශක්තිමත් කරගන්න පුළුවන් තවත් විදිහක් තමයි ශුභාරංචිය දේශනා කරන එක. මොන දේට මුහුණ දෙන්න වුණත් පළවෙනි සියවසේ ක්‍රිස්තියානීන් වගේ දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන්න, නිර්භීතව කතා කරන්න දේශනා සේවය අපිට උදව් වෙනවා.—ක්‍රියා 4:17-20; 13:46.

11. කාලෙබ්ට සහ යොෂුවාට දෙවි ගැන ශක්තිමත් විශ්වාසයක් ඇති වුණේ කොහොමද? ඒ අය වගේ වෙන්න අපිට පුළුවන් කොහොමද?

11 දෙවි අපේ යාච්ඤාවලට උත්තර දෙන විදිහ, අපිට උදව් කරන විදිහ දකිද්දී ඔහු ගැන අපිට තියෙන විශ්වාසය තව වැඩි වෙනවා. යොෂුවා සහ කාලෙබ් ඒක අද්දැක්කා. පොරොන්දු දේශයේ තොරතුරු බලන්න ගිය වෙලාවේ තමන්ට දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලා ඒ දෙන්නා පෙන්නුවා. ඊටපස්සේ ගත වුණු අවුරුදු ගාණ පුරාම දෙවි ඔවුන්ට උදව් කරපු වතාවක් ගානේ ඔවුන්ට තිබුණු විශ්වාසය තවත් වැඩි වුණා. “යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා” කියලා යොෂුවා කිව්වේ ලොකු විශ්වාසයකින්. දෙවිට “ගරුබිය පෙන්වමින් අවංක සිතින් ඔහුට නමස්කාර කරන්න. දිගටම ඔහුට විශ්වාසවන්තව සිටින්න” කියලා ඔහු සෙනඟට මතක් කළා. ඔහු ස්ථිරවම කිව්වේ “මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ” කියලයි. (යොෂු. 23:14; 24:14, 15) දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරද්දී, ඔහු අපිට පෞද්ගලිකව උදව් කරන විදිහ අද්දකිද්දී අපේ විශ්වාසයත් තව වැඩි වෙනවා.—ගීතා. 34:8.

ශක්තිමත් විශ්වාසයක් තියෙනවා කියලා පැහැදිලි වෙන විදි

12. අපිට ශක්තිමත් විශ්වාසක් තියෙනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

12 අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙනවා කියලා ඔප්පු කරන්නේ කොහොමද? ඒ ගැන යාකොබ් කිව්වේ මෙහෙමයි. “මම මාගේ ක්‍රියාවලින් මා තුළ තිබෙන විශ්වාසය ඔබට පෙන්වමි.” (යාකො. 2:18) අපිටත් ශක්තිමත් විශ්වාසයක් තියෙනවා නම් ඒක අපේ ක්‍රියාවලින් පේනවා.

සේවය වෙනුවෙන් පුළුවන් හැම දේම කරන අය තමන්ට ශක්තිමත් විශ්වාසයක් තියෙනවා කියලා ඔප්පු කරනවා (13 ඡේදය බලන්න)

13. සේවයේ හවුල් වෙන එකෙන් අපේ විශ්වාසය පෙන්නන්න පුළුවන් කොහොමද?

13 දේශනා සේවයේ හවුල් වෙන එක අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙනවා කියලා ඔප්පු වෙන ප්‍රධානම විදිහක්. අවසානය ළඟයි කියලත් ඒක ප්‍රමාද වෙන්නේ නැහැ කියලත් අපිට හොඳටම විශ්වාස නිසයි අපි සේවයේ හවුල් වෙන්නේ. (හබ. 2:3) ‘දේශනා සේවයේ යන එක මං සලකන්නේ වටිනා දෙයක් විදිහටද? අනිත් අයට දෙවි ගැන කියලා දෙන්න මං උපරිමය කරනවද? තව වැඩියෙන් සේවය කරන්න පුළුවන්ද කියලා මං හොයලා බලනවද?’ ඒ ප්‍රශ්න ගැන හිතලා බලද්දී අපිට තියෙන්නේ ශක්තිමත් විශ්වාසයක්ද කියලා අපිටම තේරුම්ගන්න පුළුවන්. (2 කොරි. 13:5) ‘ගැලවීම ලබන්නේ විශ්වාසය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන්’ කියන දේ ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා කියලා දේශනා සේවයේ උපරිමයෙන් හවුල් වෙලා අපි ඔප්පු කරමු.—රෝම 10:10 කියවන්න.

14, 15. (අ) අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙනවා කියලා එදිනෙදා වැඩ කරන විදිහෙන් පෙන්නන්න පුළුවන් කොහොමද? (ආ) අද්දැකීමක් කියන්න.

14 එදිනෙදා මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැටලු විඳදරාගන්න එකත් අපේ විශ්වාසය ඔප්පු කරන්න පුළුවන් විදිහක්. දුප්පත්කම, අසනීප, අධෛර්යය වීම්, මානසික පීඩනය වගේ දේවලට මුහුණ දෙද්දී යෙහෝවා දෙවි සහ යේසුස් “උපකාර අවශ්‍ය වේලාවේදීම” අපිට උදව් කරනවා කියන විශ්වාසය ඇතුව ඉන්න එක අත්‍යවශ්‍යයි. (හෙබ්‍රෙ. 4:16) දෙවිගෙන් උදව් ඉල්ලද්දීත් අපිට ඔහු ගැන කොච්චර විශ්වාසයක් තියෙනවද කියලා පේනවා. “දිනපතා අපට අවශ්‍ය වන ආහාර” දෙවිගෙන් ඉල්ලන්න කියලා යේසුස් කිව්වා. (ලූක් 11:3) අපිට අත්‍යවශ්‍ය දේවල් දෙන්න දෙවිට පුළුවන් කියලා පැහැදිලි වෙන සිද්ධීන් බයිබලේ තියෙනවා. උදාහරණෙකට සාගතය තිබුණු කාලය පුරාම දෙවි එලියාව රැකබලා ගත්තා. බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. “කපුටෝ ඔහුට උදේ හවස රොටි සහ මස් ගෙනාවෝය. ඔහු ඔයෙන් වතුර බීවේය.” (1 රාජා. 17:3-6) අපිට අවශ්‍ය දේවල් දෙන්නත් දෙවිට පුළුවන්.

එදිනෙදා එන ප්‍රශ්න විඳදරාගන්න එකෙන් අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙනවා කියලා පැහැදිලි වෙනවා (14 ඡේදය බලන්න)

15 බයිබල් ප්‍රතිපත්ති ජීවිතේට අදාළ කරගන්නවා නම් පවුලේ අවශ්‍යතා සපයන්න අපිට පුළුවන්. මතෙව් 6:33 සහ හිතෝපදේශ 10:4 තියෙන ප්‍රතිපත්ති තමන්ගේ පවුලේ අය අදාළ කරගත්ත විදිහ ගැන රෙබෙකා විස්තර කළා. තමන්ටත් පවුලේ අයටත් දෙවි එක්ක තියෙන බැඳීම රස්සාව නිසා දුර්වල වෙන්න පුළුවන් කියලා තේරුම්ගත්ත එයාගේ සැමියා රස්සාවෙන් අස් වුණා. ඒත් දරුවෝ හතරදෙනෙක්ව බලාගන්න තිබුණු නිසා පොඩි පොඩි කෑම හදලා විකුණන්න පටන්ගත්තා. එයාලගේ වෙහෙසට දෙවි ආශීර්වාද කළා. “යෙහෝවා දෙවි අපිව කවදාවත් අත්හැරියේ නැහැ කියලා අපිට දැනුණා. අපි එක වේලක්වත් බඩගින්නේ හිටියේ නැහැ” කියලා රෙබෙකා කියනවා. දෙවි ගැන තියෙන විශ්වාසය ශක්තිමත් වුණු ඒ වගේ අද්දැකීමක් ඔයාටත් තියෙනවද?

16. දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරද්දී ලැබෙන්නේ මොකක්ද?

16 දෙවි කියන විදිහට වැඩ කරනවා නම් අවසන් ප්‍රතිඵලය යහපත් එකක් වෙනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ. පාවුල් මෙහෙම කියනවා. “ධර්මිෂ්ඨ තැනැත්තා ඔහුගේ ජීවිතය රැකගන්නේ ඔහුගේ විශ්වාසය නිසයි.” (ගලා. 3:11; හබ. 2:4) දෙවිව විශ්වාස කරන එක අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ ඒ නිසයි. දෙවිගේ කැමැත්ත කරන්න අපිට පුළුවන් හැම දේම කළත් අපිට යම් සීමාවන් තියෙනවා. ඒත් පාවුල් කියන්නේ “අප තුළ ක්‍රියාත්මක වන බලය මාර්ගයෙන් අප ඉල්ලන ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් අපට සිතාගත හැකි ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් දේවල් කිරීමේ හැකියාව දෙවි සතුය” කියලයි. (එෆී. 3:20) දෙවි අපි ළඟින්ම ඉඳන් අපි ගන්න උත්සාහයට උදව් කරන එක ගැන අපි ඔහුට කොච්චර ස්තුති කරන්න ඕනෙද?

විශ්වාසය ඉල්ලලා කරන යාච්ඤාවලට උත්තර

17. (අ) නියෝජිතයන්ගේ ඉල්ලීම යේසුස් ඉටු කළේ කොහොමද? (ආ) අපේ ඉල්ලීමටත් දෙවි උත්තර දෙනවා කියලා නිසැක වෙන්න පුළුවන් ඇයි?

17 මේ වෙන කල් කතා කරපු දේවල් ගැන හිතද්දී යේසුස්ගේ නියෝජිතයන් ඉල්ලුවා වගේ “අප තුළ තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කරන්න” කියලා දෙවිගෙන් ඉල්ලන්න අපිත් පෙලඹෙයි. (ලූක් 17:5) ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී දෙවිගේ බලය දීලා සහ දෙවිගේ අරමුණ ගැන තවත් හොඳින් අවබෝධ කරගන්න හැකියාව දීලා යේසුස් නියෝජිතයන් කරපු ඒ ඉල්ලීමට උත්තර දුන්නා. ඒ නිසා ඔවුන්ගේ විශ්වාසය තව ශක්තිමත් වුණා. ඒ කාලේ ලෝකෙ සිද්ධ වුණු විශාලතම දේශනා කිරීමේ කාර්යය කරන්න ඔවුන්ට පුළුවන් වුණේ ඒකේ ප්‍රතිඵලයක් විදිහටයි. (කොලො. 1:23) විශ්වාසය තව ශක්තිමත් කරන්න කියලා අපි කරන යාච්ඤාවලටත් දෙවි උත්තර දෙයිද? “දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට” ඔහු අපිට උත්තර දෙනවා කියලා දෙවි පොරොන්දු වෙනවා.—1 යොහ. 5:14.

18. විශ්වාසය ශක්තිමත් කරගන්න අයට යෙහෝවා දෙවි ආශීර්වාද කරන්නේ කොහොමද?

18 අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙනවා නම් දෙවි අපි ගැන කොයි තරම් සතුටු වෙයිද! විශ්වාසය ශක්තිමත් කරන්න කියලා අපි කරන ඉල්ලීම ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරයි. යෙහෝවා දෙවිගේ උදව්වෙන් අපේ විශ්වාසය තව තවත් ශක්තිමත් කරගද්දී දෙවිගේ රාජ්‍යයට “පිවිසෙන්න සුදුස්සන් බවට පත් වෙන්න” අපිට පුළුවන්.—2 තෙස. 1:3, 5.

^ 4 ඡේ. ෆේලික්ස් බොරිස් (1994 ජූනි 8 ‘පිබිදෙව්!’) සහ ජොසෆින් ඉලයාස් (2009 සැප්තැම්බර් ‘පිබිදෙව්!’) වගේ අයගේ ජීවිත කතා කියවන්න.