Skip to content

පටුනට යන්න

ජීවමාන දෙවි ගැන හෙළි කරන නිර්මාණ

ජීවමාන දෙවි ගැන හෙළි කරන නිර්මාණ

“යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.”—එළි. 4:11.

1. නොපෙනෙන දෙවි ගැන අපේ හිතේ තියෙන විශ්වාසය වැඩි කරගන්න නම් අපි කරන්න ඕනෙ මොනවද?

‘මම නම් ඇස් දෙකට දකින්නේ නැතුව කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ.’ සමහරු එහෙම කියනවා ඔබත් අහලා ඇති. ඒත් බයිබලයේ කියන්නේ “කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත” කියලයි. (යොහ. 1:18) එහෙමනම් “නොපෙනෙන දෙවි” කෙනෙක් ගැන විශ්වාසයක් ඇති කරගන්න මිනිසුන්ට උදව් කරන්නේ කොහොමද? (කොලො. 1:15) දෙවි ගැන අපිට තියෙන විශ්වාසය තවත් වැඩි කරගන්නේ කොහොමද? අපි මුලින්ම දෙවි ගැන මිනිසුන්ගේ හිතේ විශ්වාසයක් ඇති නොවෙන්න හේතු වෙලා තියෙන වැරදි ඉගැන්වීම් ගැන දැනගන්න ඕනෙ. ඒ වගේම ඒ ඉගැන්වීම් ‘දෙවි පිළිබඳ දැනුමට විරුද්ධයි’ කියලා බයිබලයෙන් ඔප්පු කරලා පෙන්වන්නත් ඕනෙ.—2 කොරි. 10:4, 5.

2, 3. දෙවි ගැන මිනිසුන්ගේ හිතේ විශ්වාසයක් ඇති නොවෙන්න හේතු වෙලා තියෙන ඉගැන්වීම් දෙක මොනවද?

2 දෙවි ගැන මිනිසුන්ගේ හිතේ විශ්වාසයක් ඇති නොවෙන්න හේතු වෙලා තියෙන එක ඉගැන්වීමක් තමයි පරිණාමවාදය. පරිණාමවාදීන් උගන්වන්නේ ජීවය ඉබේ ඇති වුණා කියලයි. ඒ ඉගැන්වීම බයිබලයේ උගන්වන දේට සම්පූර්ණයෙන්ම පටහැනියි. පරිණාමවාදය ඇත්තක් නම් අපි ගත කරන්නේ කිසිම අරමුණක් නැති ජීවිතයක්.

3 තවත් වැරදි ඉගැන්වීමක් තමයි මැවුම්වාදය. මේ විශ්වයේ තියෙන දේවල් නිර්මාණය කළේ මීට අවුරුදු මිලියන ගාණකට කලින් කියලා මැවුම්වාදීන් පිළිගන්නේ නැහැ. මේ හැම දෙයක්ම මවලා අවුරුදු 10,000ක්වත් ගත වෙලා නැහැ කියලත් හැම දේම පැය 24 දවස් හයකින් මැව්වා කියලත් ඔවුන් කියනවා. ඔවුන්ගේ විශ්වාසයන්ට විරුද්ධව ඉදිරිපත් කරන කිසිම විද්‍යාත්මක සාක්ෂියක් පිළිගන්න ඔවුන් කැමති නැහැ. ඔවුන් බයිබලයට ගරු කරනවා වෙන්න පුළුවන්. ඒත් ඔවුන්ගේ මත නිසා බයිබලය විශ්වාස කරන්න බැරි පොතක් කියලා මිනිසුන්ට හැඟෙනවා. මැවුම්වාදීන් වගේ හිතපු අය පළවෙනි ශතවර්ෂයෙත් හිටියා. දෙවිට උද්‍යෝගයෙන් නමස්කාර කළත් ඔවුන්ට දෙවි පිළිබඳව ‘නිවැරදි දැනුමක්’ තිබුණේ නැහැ. (රෝම 10:2) පරිණාමවාදය සහ මැවුම්වාදය ගැන හුඟක් අය හිතන්නේ ඒවා “බලකොටු හා සමාන” බිඳින්න  බැරි තර්ක තියෙන ඉගැන්වීම් කියලයි. * ඒත් දේවවචනය පාවිච්චි කරලා ඒ තර්ක බිඳින්න අපිට පුළුවන්. එහෙම කරන්න නම් අපිට දේවවචනය ගැන නිවැරදි දැනුමක් තියෙන්න ඕනෙ.

ස්ථිර සාක්ෂි මත පදනම් විශ්වාසයක්

4. අපේ විශ්වාසය පදනම් වෙන්න ඕනෙ මොන දේ මතද?

4 නිවැරදි දැනුම නිධානයක් වගේ කියලා බයිබලයේ කියනවා. (හිතෝ. 10:14) එහෙම කියන්නේ ඇයි? යෙහෝවා දෙවිට ඕනෙ ඔහු ගැන අපි අන්ධ විශ්වාසයකින් ඉන්නවට නෙවෙයි. නිවැරදි දැනුම ලබාගෙන ස්ථිර සාක්ෂි මත පදනම් විශ්වාසයක් අපි තුළ ඇති කරගන්නවටයි දෙවි කැමති. (හෙබ්‍රෙව් 11:1 කියවන්න.) ඒ වගේ විශ්වාසයක් ඇති වෙන්න නම් ඔහු ජීවමාන දෙවි කෙනෙක් කියලා මුලින්ම අපිට ස්ථිර වෙන්න ඕනෙ. (හෙබ්‍රෙව් 11:6 කියවන්න.) ඒක කරන්න පුළුවන් වෙන්නේ අපේ ‘බුද්ධිය’ පාවිච්චි කරලා ඒ ගැන තියෙන සාක්ෂි හොඳට හොයලා බැලුවොත් විතරයි.—රෝම 12:1.

5. කෙනෙකුගේ හිතේ දෙවි ගැන විශ්වාසයක් ඇති කරන්න උදව් වෙන්නේ මොනවද?

5 කෙනෙක්ගේ හිතේ දෙවි ගැන විශ්වාසයක් ඇති කරන්න උදව් වෙන දෙයක් ගැන පාවුල් මෙහෙම කියනවා. “දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි. එමගින් ඔහුගේ සදාතනික බලය හා ඔහු සැබවින්ම දෙවි බවට වූ කාරණය සියල්ලන්ටම පැහැදිලි වේ.” (රෝම 1:20) දෙවි මොන තරම් බලවත්, ප්‍රඥාවන්ත දෙවි කෙනෙක්ද කියලා කෙනෙක්ට ඔප්පු කරලා පෙන්නන්න උදව් වෙන නිර්මාණ කිහිපයක් ගැන දැන් අපි බලමු.

දෙවිගේ බලය පැහැදිලි වෙන නිර්මාණ

6, 7. දෙවිගේ අතිමහත් බලය කියාපාන දේවල් දෙකක් විස්තර කරන්න.

6 දෙවි මොන තරම් බලවත්ද කියලා ඔප්පු වෙන දේවල් මේ විශ්වයේ ඕනෙ තරම් තියෙනවා. වායුගෝලය සහ පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය කියන්නේ ඒවායින් දෙකක්. පෘථිවියට ලැබෙන ආරක්ෂාව වායුගෝලයෙන් අපිට ලැබෙන ප්‍රයෝජනවලින් එකක්. හැම දවසකම වගේ අභ්‍යවකාශයේ තියෙන විශාල ගල් කුට්ටි පෘථිවිය දෙසට ඇදිලා එනවා. ඒත් පෘථිවිය වටා ආරක්ෂක වළල්ලක් වගේ තියෙන වායුගෝලයට ඒවා ඇතුල් වෙද්දිම දැවී විනාශ වෙනවා. රෑ අහසේ අලංකාර දර්ශන විදිහට අපි දකින්නේ දැවී කඩා හැලෙන ඒ උල්කාපාතයි.

7 පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයත් ආරක්ෂක වළල්ලක් විදිහට ක්‍රියා කරනවා. පෘථිවියේ අභ්‍යන්තරයේ අධික ලෙස ගිනියම් වුණ යකඩ දියරයක් තියෙනවා. එයින් විශාල බලයක් නිපදවෙනවා. ඒ බලය පෘථිවිය වටාත් අභ්‍යවකාශය දක්වාත් විහිදෙනවා. චුම්බක ක්ෂේත්‍රය කියන්නේ ඒකටයි. සූර්යයාගෙන් නිකුත් වෙන අහිතකර කිරණ ඇතුළු වෙනත් දේවල් පෘථිවියට එන්න නොදී චුම්බක ක්ෂේත්‍රය මගින් උරාගන්නවා. එහෙම නැත්නම් ඒවා ආයෙත් අභ්‍යවකාශයට හරවලා යවනවා. වායුගෝලය සහ චුම්බක ක්ෂේත්‍රය කියන්නේ යෙහෝවා දෙවිගේ “අතිමහත් බලය” කියාපාන දහස් ගාණක් අතරින් දෙකක් විතරයි.—යෙසායා 40:26 කියවන්න.

දෙවිගේ ප්‍රඥාව පැහැදිලි වෙන නිර්මාණ

8, 9. අද දක්වා පොළොවේ ජීවය පවතින්න උදව් වෙලා තියෙන්නේ මොනවද? එයින් දෙවිගේ ප්‍රඥාව පැහැදිලි වෙන්නේ කොහොමද?

8 ජීවය දිගටම පවත්වාගෙන යන්න පුළුවන් විදිහට මේ පොළොව නිර්මාණය කරලා තියෙන විදිහෙනුත් යෙහෝවා දෙවිගේ ප්‍රඥාව මනාවට පැහැදිලි වෙනවා. විශාල පවුරුවලින් වට වුණ දහස් ගාණක් මිනිසුන් ජීවත් වෙන නගරයක් තියෙනවා කියලා හිතන්න. ඒත් ඒ නගරයට නැවුම් ජලය පිටතින් ලැබෙන්නේ නැහැ. ඒ වගේම නගරය තුළ තියෙන අපද්‍රව්‍ය පිට කරන්න විදිහකුත් නැහැ. ඒ නගරය අපවිත්‍ර, ජීවත් වෙන්න බැරි තැනක් වෙන්න වැඩි දවසක් යන්නේ නැහැ නේද? දැන් අපි පෘථිවිය ඒ නගරයට සමාන කරමු. පෘථිවියට අභ්‍යවකාශයෙන්  ජලය ලැබෙන්නේ නැහැ. ඒ වගේම පොළොවේ තියෙන අපද්‍රව්‍ය වෙනත් තැනකට ගිහින් දාන්න විදිහකුත් නැහැ. එහෙමනම් මේ පොළොවේ දිගටම ජීවය පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ පොළොවේ ඉතාමත් උසස් ප්‍රතිචක්‍රීකරණ සැලැස්මක් තියෙන නිසයි.

9 උදාහරණයකට මිනිසුන්ට හා සතුන්ට ජීවත් වෙන්න උදව් වෙන ඔක්සිජන් ලැබෙන විදිහ ගැන හිතන්න. බිලියන ගාණක් මිනිසුන් හා සතුන් ඔක්සිජන් ආශ්වාස කරලා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. මේ දේ නිතරම වුණත් කවදාවත් ඔක්සිජන් ඉවර වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කොහොමද? පොළොවේ තියෙන ගස් කොළන් කාබන් ඩයොක්සයිඩ්, ජලය, හිරු එළිය හා යම් සාරවත් කොටස් උරාගෙන කාබෝහයිඩ්‍රේට් සහ ඔක්සිජන් නිපදවනවා. ඒ ඔක්සිජන් අපි ආශ්වාස කරලා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. දෙවි නිර්මාණය කරපු ගස් කොළන් නිසා “සියලුදෙනාටම ජීවිතයත් හුස්මත්” ලැබෙන්නේ මොන තරම් පුදුම විදිහටද!—ක්‍රියා 17:25.

10, 11. මොනාක් සමනලයගෙනුත් බත්කූරගෙනුත් යෙහෝවා දෙවිගේ ප්‍රඥාව හෙළි වෙන්නේ කොහොමද?

10 මේ පොළොවේ ජීවී විශේෂ මිලියන 2ත් 100ත් අතර සංඛ්‍යාවක් ඉන්නවා කියලා සොයාගෙන තියෙනවා. ඒ හැම ජීවියෙක්ම දෙවිගේ පුදුමාකාර ප්‍රඥාවට සාක්ෂි සපයනවා. (ගීතාවලිය 104:24 කියවන්න.) ඒ අතරින් දෙන්නෙක් ගැන දැන් අපි බලමු.

බත්කූරගේ ඇස නිර්මාණය කරලා තියෙන විදිහෙන් දෙවිගේ ප්‍රඥාව දැකගන්න පුළුවන් (11 ඡේදය බලන්න)

11 මොනාක් කියන සමනලයට තියෙන්නේ පෑන් තුඩක් තරම් පුංචි මොළයක්. ඒ වුණාට උගේ වැඩ නම් පුංචි නැහැ. ඌට පුළුවන් කැනඩාවේ ඉඳන් මෙක්සිකෝවට පියාඹන්න. ඒ කියන්නේ කිලෝමීටර් 3,000ක විතර දුරක්. හරියටම යන්න ඕනෙ තැන ඌ හොයාගන්නේ සූර්යයාගේ පිහිටීම ආධාරයෙන්. දෙවි ඒ සමනලයගේ මොළය නිර්මාණය කරලා තියෙන්නේ, දවසේ ඒ ඒ වෙලාවට හිරු පිහිටන තැන තේරුම් අරන් යන්න ඕනෙ දිශාව හරියටම තීරණය කරන්න පුළුවන් විදිහටයි. දැන් බත්කූරෙක් ගැන හිතන්න. උගේ එක ඇසක විතරක් කාච 30,000ක් විතර තියෙනවා. ඒ තරම් කාච සංඛ්‍යාවකට අසු වෙන දර්ශන හැම එකක්ම තේරුම්ගන්න උගේ පුංචි මොළයට තියෙන්නේ පුදුම හැකියාවක්. තමන් අවට සිදු වෙන හැම පොඩි සෙලවීමක්ම ඌට පේනවා.

12, 13. සෛලයක් මොන තරම් පුදුමාකාරද කියලා පැහැදිලි කරන්න.

12 දෙවි අපේ සෛල නිර්මාණය කරලා තියෙන විදිහත් හරිම පුදුමයි. ඔබේ සිරුරේ විතරක් සෛල ට්‍රිලියන 100ක් පමණ තියෙනවා. ඒ හැම සෛලයක් ඇතුළෙම DNA එකක් තියෙනවා. මේ DNA එකක් ඇතුළේ ඔබේ ශරීරයේ සැකැස්ම ඇතුළුව ඔබ ගැන හුඟක් විස්තර සඳහන් වෙනවා. ඔබව ආයෙත් නිර්මාණය කරන්න මේ DNA එකක් ඇති.

13 මේ DNA එකක කොච්චර තොරතුරු ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්ද? අපි ඒක මේ විදිහට තේරුම්ගමු. සාමාන්‍ය CD තැටියක, ශබ්දකෝෂයක තියෙන තරම්  තොරතුරු ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්. ඒ වගේ තොරතුරු ප්‍රමාණයක් ගබඩා කරනවා කියන්නේ පුදුම දෙයක්. ඒත් ඒ වගේ CD තැටි ට්‍රිලියනයක තියෙන තොරතුරු ගබඩා කරන්න ඕනෙ වෙන්නේ DNA ග්‍රෑම් එකක් විතරයි. ඒ දේ අපිට මෙහෙමත් කියන්න පුළුවන්. අද ඉන්න බිලියන හතක් වුණ ලෝක ජනගහනය වගේ 350 ගුණයක් බිහි කරන්න අවශ්‍ය කරන තොරතුරු, වියළි DNA තේ හැන්දක තියෙනවා.

14. දෙවිගේ නිර්මාණ ගැන විද්‍යාඥයන් සොයාගෙන තියෙන තොරතුරු දැනගද්දී ඔබට දෙවි ගැන හැඟෙන්නේ කොහොමද?

14 දාවිත්, DNA ගැන අපි දන්න තොරතුරු දැනගෙන හිටියේ නැතත් දෙවිගේ මඟ පෙන්වීමෙන් මෙහෙම කිව්වා. “මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය. මාගේ අවයව සෑදෙන්නත් කලින් ඒ සියල්ල ගැන තොරතුරු ඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ.” (ගීතා. 139:16) දාවිත් කිව්වේ, මිනිස් සිරුර නිර්මාණය කරන්න අවශ්‍ය කරන හැම තොරතුරක්ම දෙවි කලින්ම පොතක ලියලා තියෙනවා වගේ කියලයි. මිනිස් සිරුර ගැන ඔහු දැනගෙන හිටියේ නැති පුදුමාකාර තොරතුරු රැසක් මේ වෙනකොට විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා. ඒ තොරතුරු ගැන දැනගද්දී දාවිත් වගේ දෙවිට ප්‍රශංසා කරන්න ඔබත් පෙලඹෙන්නේ නැද්ද? ඔහු කිව්වේ මෙහෙමයි. “ඔබ මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද! එබැවින් ඔබ කෙරෙහි මහත් ගරුබියක් මා තුළ ඇති වන්නේය. මම ඔබට ප්‍රශංසා කරමි. ඔබේ ක්‍රියා ඇත්තෙන්ම පුදුමාකාරය. ඒ බව මම හොඳින් දනිමි.” (ගීතා. 139:14) බලන බලන හැම තැනකම තියෙන දෙවිගේ නිර්මාණ නිහඬවම කියාපාන්නේ අපේ ප්‍රේමණීය දෙවි සැබෑ කෙනෙක් කියන එක නේද?

නිර්මාතෘව දැන හඳුන ගන්න අනිත් අයට උදව් කරන්න

15, 16. (අ) යෙහෝවා දෙවිගේ නිර්මාණ ගැන ඉගෙනගන්න අපේ පොත් පත් මිනිසුන්ට උපකාර කරලා තියෙන්නේ කොහොමද? (ආ) ඔබ වැඩියෙන්ම කැමති “නිර්මාණයක්ද?” කියන ලිපි මාලාවේ පළ වුණ මොන ලිපියටද?

15 දෙවිගේ නිර්මාණවලින් දෙවි ගැන හෙළි කරන දේ වටහාගන්න, ‘පිබිදෙව්!’ සඟරාව අවුරුදු ගාණක් පුරා මිලියන ගාණකට උපකාර කරලා තියෙනවා. උදාහරණයකට 2006 සැප්තැම්බර් ‘පිබිදෙව්!’ විශේෂ කලාපයේ “සියල්ලේ නිර්මාතෘ කවුද?” කියන දේ ගැන කතා කළා. එක සහෝදරියක් මෙහෙම කිව්වා. “විශේෂ කලාපය සාර්ථකව බෙදා දෙන්න අපිට පුළුවන් වුණා. අපිට හම්බ වුණ ජීව විද්‍යා ගුරුවරියක් පිටපත් 20ක්ම ඉල්ලුවා. එයාට ඕනෙ වුණේ එයාගේ ශිෂ්‍යයන් හැමෝටම එක සඟරාව ගාණේ දෙන්නයි.” තවත් සහෝදරයෙක් මෙහෙම කිව්වා. “මට දැන් අවුරුදු 75ක් විතර වෙනවා. මම 1940 ගණන්වල ඉඳලම දේශනා සේවයේ හවුල් වෙනවා. ඒත් මේ විශේෂ කලාපය බෙදාහැරිය මාසේ ලැබුව තරම් සතුටක් වෙන කිසිම මාසෙක ලබලා නැහැ.”

16 වර්ෂ 2008 ඉඳලා ‘පිබිදෙව්!’ සඟරාවේ “නිර්මාණයක්ද?” කියන ලිපි මාලාව පළ වෙනවා. ඒ පුංචි ලිපි මාලාවේ දෙවිගේ නිර්මාණ කොයි තරම් පුදුමාකාරද කියලත් මිනිසුන් ඒවා අධ්‍යයනය කරලා නව නිර්මාණ බිහි කරන්න උත්සාහ කරන විදිහත් කතා කරනවා. ඒ වගේම ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ කියන සඟරාව 2010දී අපිට ලැබුණා. ලස්සන චිත්‍රත් රූපසටහනුත් තියෙන ඒ සඟරාවේ අරමුණ, දෙවිගේ නිර්මාණ ගැන දෙවිට ප්‍රශංසා කරන්න අපි තුළ පෙලඹීමක් ඇති කරන එකයි. දේශනා සේවයේ පාවිච්චි කරන්නත් ඒක කදිම සඟරාවක්.

17, 18. (අ) දෙමව්පියන්ට තියෙන වගකීම මොකක්ද? (ආ) පවුලේ නමස්කාරයේදී දෙවිගේ නිර්මාණ ගැන සඳහන් සඟරා ඔබ පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද?

17 දෙමව්පියෙනි, පවුලේ නමස්කාරයේදී ඒ සඟරාව ඔබේ දරුවන් එක්ක කියවලා බැලුවද? ඔබ එහෙම කරනවා නම් දරුවන්ගේ හිතේ යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසය තවත් වැඩි වෙයි. පරිණාමවාදීන් දෙවි කෙනෙක් නැහැ කියලා දරුවන්ගේ හිත්වලට කාවද්දන්න හුඟක් දේවල් කියනවා. විද්‍යාඥයන්, ගුරුවරුන් වගේම රූපවාහිනී වැඩසටහන්වලිනුත් ස්වභාවධර්මය ගැන තොරතුරු ඉදිරිපත් කරන්නේ  පරිණාමවාදය සත්‍යයක් විදිහට සලකලයි. ඒ දේවල් සත්‍යයද නැද්ද කියලා හොඳින් හිතලා බලන්න උදව් වෙන තවත් සඟරාවක් අපිට 2010දී ලැබුණා. ඒක තමයි ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරාව. ඒ සඟරා යොදාගෙන “සිතීමේ හැකියාව” වර්ධනය කරගන්නත් දෙවි ගැන සත්‍යය බය නැතුව කතා කරන්නත් ඔබේ දරුවන්ට උදව් කරන්න.—හිතෝ. 2:10, 11.

දෙමව්පියෙනි, නිර්භීතව දෙවි ගැන කතා කරන්න ඔබේ දරුවන්ට උදව් කරන්න (17 ඡේදය බලන්න)

18 පරිණාමවාදය සත්‍යයක් කියලා ඔප්පු වෙන ෆොසිල සොයාගත්තා කියලත් විද්‍යාගාර තුළ ජීවය නිර්මාණය කරන්න පුළුවන් වුණා කියලත් කලින් කලට ප්‍රවෘත්ති පළ වෙනවා. ඒ වගේ ප්‍රවෘත්ති හරිද වැරදිද කියලා කල්පනා කරලා බලන්න ‘ජීවයේ ආරම්භය’ කියන සඟරාව දරුවන්ට උදව් කරනවා. දෙමව්පියෙනි, නිර්මාතෘ කෙනෙක්ව විශ්වාස කරන්නේ ඇයි කියන දේ ගැන නිර්භීතව කතා කරන්න ඔබේ දරුවන්ට උදව් කරන්න. ඒ දේ කරන්න ඒ සඟරා දෙක ඔබට හුඟක් ප්‍රයෝජනවත් වෙයි.—1 පේතෘස් 3:15 කියවන්න.

19. අපි හැමෝටම තියෙන වරප්‍රසාදය මොකක්ද?

19 දෙවිගේ සංවිධානය අපිට දීලා තියෙන සමහර පොත් පත්වලින් යෙහෝවා දෙවිගේ ගතිලක්ෂණ ගැන අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒ දේවල් ගැන ඉගෙනගන්න ඉගෙනගන්න අපේ මුළු හදින්ම දෙවිට ප්‍රශංසා කරන්න අපි පෙලඹෙනවා. (ගීතා. 19:1, 2) මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම නිර්මාණය කරපු යෙහෝවා දෙවි අපේ ප්‍රශංසාවත් ගෞරවයත් ලබන්න හැම අතින්ම වටිනවා කියලා ඔබ හිතන්නේ නැද්ද? දෙවිට ප්‍රශංසා කරන්න අපිට ලැබිලා තියෙන්නේ වරප්‍රසාදයක් කියන එක මතක තියාගෙන නිතරම දෙවිට ප්‍රශංසා කරන්න අපි අධිෂ්ඨාන කරගමු.—1 තිමෝ. 1:17.

^ par. 3 වැඩි විස්තර දැනගැනීමට ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ යන සඟරාවේ 24 සිට 28 පිටු බලන්න.