Skip to content

පටුනට යන්න

උත්සාහය අත්හරින්න එපා!

උත්සාහය අත්හරින්න එපා!

ඔබත් ඔබේ බිරිඳ හරි සැමියා හරි යෙහෝවා දෙවිට සේවය කරන දවස එනකල් අවුරුදු ගාණක් බලං හිටපු කෙනෙක්ද?

එහෙම නැත්නම් ඔබ එක්ක බයිබලය පාඩම් කරපු ශිෂ්‍යයා මුලින් හොඳ දියුණුවක් පෙන්නුවත් තීරණයක් ගන්න බැරුව තාමත් ඉන්න එක ගැන ඔබ දුක් වෙනවද?

උත්සාහය අත්හරින්න එපා. එහෙම කියන්නේ ඇයි කියලා බ්‍රිතාන්‍යයෙන් එන මේ අද්දැකීම් කියෙව්වට පස්සේ ඔබට තේරෙයි. අනිත් අයට සත්‍යය කියා දෙන්න දරන මහන්සියට ප්‍රතිඵල ලබන්න නම් ඔබ කරන්න ඕනෙ මොනවද කියලා මේ අද්දැකීම්වලින් ඔබට පැහැදිලි වෙයි.—දේශ. 11:1.

අධෛර්යය වෙන්න එපා

අත්හරින්නේ නැතුව දිගටම උත්සාහ කිරීම අත්‍යවශ්‍ය දෙයක්. එහෙම කරන්න නම් සත්‍යයට ඇලුම් කරන ගමන් දෙවිව විශ්වාස කරන්නත් ඕනෙ. (ද්වි. 10:20) කියෝර්කිනා එහෙම කළා. සාක්ෂිකරුවන් එක්ක 1970දී බයිබලය පාඩම් කරන්න ගන්නකොට එයාගේ සැමියා කිර්යාකෝස් ඒකට අකමැති වුණා. ඔහු, සාක්ෂිකරුවන්ට ගෙදරට එන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ ප්‍රකාශන ගෙදර තියෙනවා දැක්කොත් ඒවත් අරගත්තා.

කියෝර්කිනා රැස්වීම්වලට යන්න පටන්ගත්තම ඇගේ සැමියට තවත් කේන්ති ගියා. දවසක් ඔහු නමස්කාර මධ්‍යස්ථානයට ගියේ සහෝදරයන් එක්ක වාද කරන්න හිතාගෙනයි. ඔහු ඉංග්‍රීසි භාෂාවට වඩා ග්‍රීක් භාෂාව හොඳට කතා කරනවා කියලා දැනගත්ත සහෝදරියක් වෙනත් සභාවක හිටපු ග්‍රීක භාෂාව කතා කරන සහෝදරයෙකුට දුරකථනයෙන් කතා කරලා එතනට එන්න කිව්වා. ඒ සහෝදරයාගේ කරුණාවන්තකමට හිත ගිය කිර්යාකෝස් බයිබලය පාඩම් කරන්න කැමති වුණා. ඒත් ඒ පාඩම මාස දෙක තුනකට වඩා තිබුණේ නැහැ.

ඊටපස්සේ ගත වුණ අවුරුදු තුනත් කියෝර්කිනාට ලේසි වුණේ නැහැ. ඔහු දිගටම ඇයට විරුද්ධ වුණා. බව්තීස්ම වුණොත් ඇයව අත්හරිනවා කියලත් තර්ජනය කළා. ඒත් ඇගේ බව්තීස්ම දවසේදී ඇය යාච්ඤා කරලා එහෙම වෙන්න දෙන්න එපා කියලා දෙවිගෙන් ඉල්ලුවා. එදා සිද්ධ වුණේ පුදුම දෙයක්. ඇයව සමුළුවට එක්කගෙන යන්න සහෝදරයන් ආපු වෙලාවේ කිර්යාකෝස් කිව්වා “ඔයගොල්ලෝ යන්න, මම එයාව එක්කගෙන එන්නම්” කියලා. ඔහු ඇයව එක්කගෙන ආවා විතරක් නෙවෙයි, සමුළුවේ උදේ වැඩසටහනටත් ඉඳලා ඇගේ බව්තීස්මයත් බැලුවා.

සාක්ෂිකරුවන්ව හම්බ වෙලා අවුරුදු 40කට විතර පස්සේ තමන්ගේ සැමියා බව්තීස්ම වෙනවා බලන්න කියෝර්කිනාට අවස්ථාව ලැබුණා

එදා ඉඳන් කිර්යාකෝස් වෙනස් වෙන්න පටන්ගත්තා. කියෝර්කිනාට සාක්ෂිකරුවන්ව හම්බ වෙලා අවුරුදු 40කට විතර පස්සේ තමන්ගේ සැමියා බව්තීස්ම වෙනවා බලන්න අවස්ථාව ලැබුණා. කිර්යාකෝස් වෙනස් වුණේ ඇයි? “මොන තරම් කරදර ආවත් එයා කවදාවත් යෙහෝවා දෙවිව අත්හැරියේ නැහැ. මට කියෝර්කිනා ගැන හරි ආඩම්බරයි.” ඒ ගැන කියෝර්කිනා කියන්නේ මෙහෙමයි. “එයා මට කොච්චර විරුද්ධ වුණත් මම දෙවිට නමස්කාර කරන එක නතර කරන්නේ නැහැ කියලා හිතාගත්තා. ඒ කාලය පුරාම මම දෙවිට යාච්ඤා කළා. එයා කවදා හරි සත්‍යය පිළිගනියි කියන බලාපොරොත්තුව අත්හැරියෙත් නැහැ.”

ඔබේ ආදර්ශය

පාවුල් මෙහෙම කිව්වා. “ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. එවිට ඔවුන්ගෙන් සමහරෙකු දෙවිගේ පණිවිඩයට කීකරු වී නොසිටියත් ඔවුන්ට ඒ ගැන වචනයක්වත් නොපවසා ඔබේ ආදර්ශයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ.” (1 පේතෘ. 3:1) ඒ උපදෙස අදාළ කරගත්ත කෙනෙක් තමයි ක්‍රිස්ටීන්. ඇයට සත්‍යය ලැබුණේ අවුරුදු 20කටත් වඩා වැඩි කාලයකට ඉස්සෙල්ලයි. ඇගේ සැමියා නම් දෙවි කෙනෙක් ගැන කිසිම උනන්දුවක් දැක්වුවේ නැහැ. ඒත් ඔහු ක්‍රිස්ටීන්ගේ හැසිරීමේ වෙනසක් දැක්කා. “එයා වෙනදාටත් වඩා සතුටින් ඉන්නවා මම දැක්කා. ප්‍රශ්න ඇති වෙද්දී ඒවාට මුහුණ දෙන්න එයාට ලොකු ශක්තියක් තිබුණා. ඒක මටත් හයියක් වුණා.”

තමන්ගේ ආගම පිළිගන්න කියලා ක්‍රිස්ටීන් කවදාවත් එයාගේ සැමියා වන ජෝන්ට බල කළේ නැහැ. ඔහු මෙහෙම කියනවා. “මුල ඉඳලාම ක්‍රිස්ටීන් දැනගෙන හිටියා මට බල කරනවට වඩා මම කැමති වෙලාවක සත්‍යය පිළිගන්න ඉඩ දෙන්න ඕනෙ කියලා.” ජෝන් කැමැත්තක් දක්වයි කියලා හිතෙන විද්‍යාව, පරිසරය වගේ විෂයන් ගැන ලිපි තියෙන මුරටැඹ, පිබිදෙව්! සඟරා දැක්කම ඒ ලිපි ඔහුට පෙන්නලා ක්‍රිස්ටීන් මෙහෙම කියනවා. “මං හිතන්නේ ඔයා මේවා කියවන්න ආස වෙයි.”

කාලයක් යනකොට ජෝන් රැකියාවෙන් විශ්‍රාම අරන් ගෙවතු අලංකාර වැඩ කරන්න පටන්ගත්තා. ඒ නිසා ජීවිතය ගැන වැඩියෙන් හිතන්න එයාට කාලය ලැබුණා. ‘අපි මේ ලෝකෙට ආවේ අහම්බෙන්ද, එහෙම නැත්නම් අපිව නිර්මාණය කරලා තියෙන්නේ අරමුණක් ඇතුවද’ කියලා ඔහු හිතන්න පටන්ගත්තා. දවසක් ජෝන් එක්ක කතා කරකර හිටපු සාක්ෂිකරුවෙක් ඇහුවා, “අපි පාඩමක් පටන්ගමුද” කියලා. “මම දෙවි කෙනෙකුව විශ්වාස කරන්න පටන් අරන් තිබුණ නිසා මම ඒකට කැමති වුණා” කියලා ජෝන් කියනවා.

ක්‍රිස්ටීන් උත්සාහය අත්හැරපු නැති එක කොච්චර දෙයක්ද! අවුරුදු 20ක් තිස්සේ කරපු යාච්ඤාවලට ප්‍රතිඵලයක් හැටියට ජෝන් බව්තීස්ම වුණා. දැන් ඒ දෙන්නම දෙවිට උද්‍යෝගයෙන් සේවය කරනවා. ජෝන් මෙහෙම කියනවා. “මම සාක්ෂිකරුවෙක් වෙන්න හේතු වුණ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි සාක්ෂිකරුවන්ගේ මිත්‍රශීලීකම සහ කරුණාවන්තකම. අනිත් එක තමයි ක්‍රිස්ටීන් වගේ විශ්වාසවන්ත, ආදරණීය බිරිඳක් මට හිටපු එක.” ක්‍රිස්ටීන්, 1 පේතෘස් 3:1 අදාළ කරගත්ත නිසා එයාගේ උත්සාහය සාර්ථක වුණා.

අවුරුදු ගාණකට පස්සේ ප්‍රතිඵල ලැබෙයි

යම් හේතුවක් නිසා මුලින් තිබුණ උනන්දුව අඩු වුණ බයිබල් ශිෂ්‍යයන් ගැන මොකක්ද කියන්න පුළුවන්. බයිබලයේ අපිට උනන්දු කරන්නේ මේ වගේ දෙයක් කරන්නයි. “උදෑසන ඔබේ බීජ වපුරන්න. කිසි විවේකයක් නොගෙන සවස් වන තුරුම එසේ කරන්න. මන්ද ඒ කුමන බීජ පැළ වෙයිද කියා ඔබ දන්නේ නැත. සමහරවිට ඉන් එකක් හෝ දෙකක් හෝ ඒ සියල්ල වුවද පැළ වීමට ඉඩ තිබේ.” (දේශ. 11:6) සත්‍යය නමැති බීජ පැළ වෙන්නත් යෙහෝවා දෙවිට කිට්ටු වීමේ තියෙන වටිනාකම වටහාගන්නත් කෙනෙක්ට අවුරුදු ගාණක් ගත වෙන්න ඉඩ තියෙනවා.—යාකො. 4:8.

ඇලිස්ගේ කතාවත් ඒ වගේ එකක්. ඇලිස්, ඉන්දියාවේ ඉඳන් එංගලන්තයට ආපු කෙනෙක්. ඇය 1974දී බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. හින්දි භාෂාව කතා කරපු ඇයට ඕනෙ වුණේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තවත් වැඩි කරගන්නයි. අවුරුදු කිහිපයක්ම බයිබලය පාඩම් කරන අතරම ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණ රැස්වීම්වලටත් ඇය ගියා. බයිබලයෙන් පාඩම් කරන දේවල් සත්‍යයයි කියලා දැනගෙන හිටියත් ඇය ඒක කළේ විනෝදාංශයක් හැටියටයි. මුදල් හම්බ කරන එකත් පාටිවලට ගිහින් විනෝද වෙන එකත් ඇගේ ජීවිතයේ මුල් තැන අරන් තිබුණ නිසා පාඩමත් ටික දවසකින් නතර වුණා.

ඇලිස්ට පාඩම් කරපු ස්ටෙලාට අවුරුදු 30කට විතර පස්සේ ඇගෙන් ලියුමක් ලැබුණා. ඒකේ තිබුණේ මේ වගේ දෙයක්. “ඔයත් එක්ක 1974දී බයිබලය පාඩම් කරපු කෙනෙක් බව්තීස්ම වුණා කියලා දැනගත්තම ඔයා පුදුම වෙයි. ඔයා මං වෙනුවෙන් කළේ ලොකු දෙයක්. ඒ කාලයේදී දෙවිට කැප වෙන්න මට උවමනාවක් තිබුණේ නැති නිසා ඔයා පැළ කරපු සත්‍යයේ බීජ එදා පැළ වුණේ නැහැ. ඒත් ඒක කවදාවත් මගේ හිතෙන් අයින් වුණේ නැහැ.”

ස්ටෙලාට ඇලිස් එවපු ලියුමේ මෙහෙම සඳහන් වුණා. “ඔයත් එක්ක 1974දී බයිබලය පාඩම් කරපු කෙනෙක් බව්තීස්ම වුණා කියලා දැනගත්තම ඔයා පුදුම වෙයි”

කොහොමද ඇලිස් වෙනස් වුණේ? ඇගේ සැමියා 1997දී මිය ගියා. ඒ දුක දරාගන්න බැරුව ඇය දවසක් දෙවිට යාච්ඤා කළා. විනාඩි දහයක්වත් යන්න ඉස්සෙල්ලා පන්ජාබි භාෂාව කතා කරන සාක්ෂිකරුවන් දෙන්නෙක් ඇවිල්ලා මිය ගිය අය නැවත ජීවත් වෙයිද? කියන පත්‍රිකාව දීලා ගියා. දෙවි තමන්ගේ යාච්ඤාවට සවන් දුන්න බව තේරුම්ගත්ත ඇය සාක්ෂිකරුවන්ව හම්බ වෙන්න තීරණය කළා. ඇයට මතක් වුණා ස්ටෙලා ඒ කාලෙදී පන්ජාබි භාෂාව කතා කරන සභාවක ලිපිනයක් දුන්නා කියලා. ඒ ලිපිනය හොයාගත්ත ඇය එතනට ගියා. එතන හිටපු අය ඇයව පිළිගත්තේ හරිම සතුටින්. “ඔවුන් පෙන්නපු ආදරය නිසා මට පුළුවන් වුණා මගේ දුක දරාගන්න” කියලා ඇලිස් කියනවා.

ඇය දිගටම රැස්වීම්වලට ගියා වගේම බයිබල් පාඩමත් ආපහු පටන්ගත්තා. ටිකෙන් ටික පන්ජාබි භාෂාව හොඳට කතා කරන්නත් කියවන්නත් පුළුවන් වුණා. වර්ෂ 2003දී ඇය බව්තීස්ම වුණා. ස්ටෙලාට ලියපු ලියුම ඇය අවසන් කරන්නේ මේ වචනවලින්. “අවුරුදු 29කට ඉස්සෙල්ලා සත්‍යයේ බීජ මං තුළ පැළ කරන්න ඔයා දරපු උත්සාහයටත් ඔයාගේ ආදර්ශයටත් ගොඩක් ස්තුතියි.”

“අවුරුදු 29කට ඉස්සෙල්ලා සත්‍යයේ බීජ මං තුළ පැළ කරන්න ඔයා දරපු උත්සාහයටත් ඔයාගේ ආදර්ශයටත් ගොඩක් ස්තුතියි.”—ඇලිස්

අපිට මේ අද්දැකීම්වලින් ඉගෙනගන්න පුළුවන් මොනවද? සමහරවිට ඔබ හිතනවාටත් වඩා කාලය ගත වුණත් කෙනෙක්ට දෙවි ගැන දැනගන්න ආශාවක් තියෙනවා නම්, ඔහු අවංකයි නම්, නිහතමානී නම් සත්‍යය පිළිගන්න යෙහෝවා දෙවි ඒ පුද්ගලයාට උපකාර කරනවා. යේසුස් කිව්ව මේ උපමාව ඔබට මතකද? “බීජය පැළ වී උසට වැඩී ඇති ආකාරය [වපුරන්නා] දකියි. නමුත් එය සිදු වුණේ කොහොමද කියා ඔහු දන්නේ නැහැ. මුලින්ම පොළොවෙන් මතු වන්නේ කුඩා අංකුරයක්. ඉන්පසුව ක්‍රමානුකූලව ඒ අංකුරය පැළයක් බවට වැඩී එහි කරල් හටගනී. අන්තිමට සම්පූර්ණයෙන් පැසී ඇති ධාන්‍ය කරල් එහි දක්නට ලැබෙයි.” (මාක් 4:27, 28) ඒ වගේ සමහර අය තුළ තියෙන සත්‍යයේ බීජයත් වර්ධනය වෙන්නේ ක්‍රමානුකූලවයි. කෙනෙක් තුළ සත්‍යයේ බීජය පැළ වෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා වැඩි වැඩියෙන් සත්‍යයේ බීජ වපුරන්න. එතකොට වැඩි වැඩියෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙයි.

යාච්ඤාවේ තියෙන වටිනාකමත් අමතක කරන්න එපා. කියෝර්කිනා සහ ක්‍රිස්ටීන්, දිගටම දෙවිට යාච්ඤා කළා. ඔබත් ‘නොකඩවාම යාච්ඤා කරනවා’ නම්, උත්සාහය අත්හරින්නේ නැත්නම් කාලයක් ගත වුණත් ඔබේ උත්සාහයේ ප්‍රතිඵල ලබාගන්න ඔබට පුළුවන් වෙයි.—රෝම 12:12; දේශ. 11:1.