Skip to content

පටුනට යන්න

‘යෙහෝවා ඔබගේ කර්මාන්ත කොතරම් නානාප්‍රකාරද!’

‘යෙහෝවා ඔබගේ කර්මාන්ත කොතරම් නානාප්‍රකාරද!’

යෙහෝවාගේ මැවිල්ලේ අසිරිය

‘යෙහෝවා ඔබගේ කර්මාන්ත කොතරම් නානාප්‍රකාරද!’

අපි ගම්බද ප්‍රදේශයක හෝ නගරබද ප්‍රදේශයක ජීවත් වුණත්, කඳු මුදුනක හෝ මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශයක හෝ වෙන ඕනෑම තැනක ජීවත් වුණත් අපි වට වී සිටින්නේ දෙවිගේ විස්මය දනවන මහිමාන්විත මැවිලිවලින්. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2004 දිනදර්ශනයේ කදිම ලෙස යෙහෝවාගේ හස්ත කර්මාන්තයේ විස්මයජනක දර්ශන එකින් එක ගෙනහැර දක්වා තිබෙනවා.

දෙවිගේ මැවිල්ල අගය කරන අය ඒවා ගැන සොයා බැලීමට පෙලඹී තිබෙනවා. උදාහරණයක් ලෙස සලමොන්ගේ ප්‍රඥාව ගැන සලකා බලන්න. බයිබලයේ පවසන්නේ ඔහුගේ ප්‍රඥාව “පූර්ව දිශාවෙහි සියලුදෙනාගේ ඥානයටත් . . . වඩා අධික විය” කියායි. තවද, “ඔහු ලෙබනොන්හි තිබෙන කිහිරි ගස පටන් භිත්තියේ හැදෙන හිසොප් දක්වා ගස් ගැනත් සත්වයන්ද පක්ෂීන්ද බඩ ගා යන්නන්ද මත්ස්‍යයන්ද ගැන කතා කළේය.” (1 රාජාවලිය 4:30, 33) සලමොන්ගේ පියා වූ දාවිත් නිතරම දෙවිගේ අතිවිශිෂ්ට නිර්මාණ ගැන ගැඹුරින් කල්පනා කළා. ඔහු තම සැදුම්කරුට මෙසේ හඬ නඟා ප්‍රශංසා කිරීමට පෙලඹුණා. “යෙහෝවා ඔබගේ වැඩ [හෙවත් කර්මාන්ත] කොපමණ නානාප්‍රකාරද? ඔබ මේ සියල්ල ඥානයෙන් සෑදුවේය. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.”—ගීතාවලිය 104:24. *

අපත් මැවිල්ල නිරීක්ෂණය කරන්නත් ඒවා ගැන ගැඹුරින් කල්පනා කර බලන්නත් කාලය ගත යුතුයි. උදාහරණයකට, අහස දෙස ‘ඇස් ඔසවා බලා’ අපටත් මෙහෙම අහන්න පුළුවන්. ‘මේවා මැවුවේ කවුද?’ ඒ වෙන කවුරුත් නෙවෙයි යෙහෝවා දෙවියි. ඔහු එසේ කළේ ඔහුගේ ඉමහත් ‘බලය’ කරණකොටගෙනයි.—යෙසායා 40:26.

යෙහෝවාගේ මැවිලි කෙරෙහි ගැඹුරින් කල්පනා කිරීම අපව පොලඹවන්නේ කුමක් කිරීමටද? අඩුම වශයෙන් මේ කාරණා තුන, එනම්, (1) අපේ ජීවිත අගය කිරීමට එය සිහිගන්වයි. (2) අනිත් අයටත් මැවිල්ලෙන් ඉගෙනගැනීමට උපකාර කිරීමට අප තුළ ආශාවක් ඇති කරයි. (3) අපේ මැවුම්කරුව වඩාත් හොඳින් දැනගැනීමටත් ඔහුව අගය කිරීමටත් අපව පොලඹවයි.

කිසිම “කල්පනා ශක්තියක් නැති සතුන්ට” වඩා මිනිසුන් හැටියට අපට දේවල් නිරීක්ෂණය කිරීමටත් මැවිල්ලේ අසිරිය අගය කිරීමටත් ඇති හැකියාව ඉතා ඉහළයි. (2 පේතෘස් 2:12) අපේ ඇස්වලින් රමණීය දර්ශන නරඹන්න පුළුවන්. අපේ කන්වලින් මිහිරි කුරුලු ගී නාද අහන්න පුළුවන්. ඒ වගේම කාලය හා ස්ථාන ගැන තිබෙන අවබෝධය අපේ මිහිරි මතකයන් අවදි කරයි. වර්තමානයේ අප ගත කරන ජීවිතය පරිපූර්ණ එකක් නොවූවත් ඇත්ත වශයෙන්ම ජීවත් වීමට ලැබී තිබීම වටිනා ප්‍රස්තාවක් නොවෙයිද!

දරුවන් මැවිලි කෙරෙහි දක්වන ඉමහත් උනන්දුව දැකීමෙන් දෙමව්පියන්ට ආස්වාදයක් ලබන්න පුළුවන්. දරුවන් මුහුදු වෙරළේ සිප්පි කටු ඇහිඳින්න, සතෙකු සුරතල් කරන්න, ගස් නඟින්න මොන තරම් ආශාවක් දක්වනවාද! දරුවන්ට මැවිලි හා මැවුම්කරු අතර තිබෙන සම්බන්ධය තේරුම් කර දීමට දෙමව්පියන් කැමති වෙයි. එසේ කිරීමෙන් දරුවන් තුළ යෙහෝවාගේ පුදුමාකාර මැවිලි කෙරෙහි ඇති වන්නාවූ ගරුබිය ඔවුන්ගේ ජීවිත කාලය පුරාම පවතියි.—ගීතාවලිය 111:2, 10.

අපි මැවිලි අගය කර, මැවුම්කරුව අගය කරන්නේ නැත්නම් ඇත්තටම අපේ දෘෂ්ටිය බොඳ වූ එකක්යයි කීවොත් නිවැරදියි. මේ කාරණය ගැන ගැඹුරින් සිතා බලන්න යෙසායාගේ මෙම අනාවැකිය උපකාරවත් වෙයි. “ඔබ දැනනොගත්තෙහිද? නොඇසුවෙහිද? සදාකාල දෙවි වූද පොළොවේ සීමාවල මැවුම්කරු වූද යෙහෝවා ක්ලාන්ත නොවන්නේය. වෙහෙස නොවන්නේය. ඔහුගේ බුද්ධිය සොයන්ට බැරිය.”—යෙසායා 40:27ආ, 28.

යෙහෝවාගේ කර්මාන්ත, ඔහුගේ පූර්ණ ප්‍රඥාව හා අසමසම බලය මෙන්ම අප කෙරෙහි ඇති ඔහුගේ ගැඹුරු ප්‍රේමය ගැන කියා පායි. අප අවට පරිසරයේ දිස් වන අලංකාරය දකින විට හා එමගින් ඒවා නිර්මාණය කළ තැනැත්තාගේ ගුණාංග අවබෝධ කරගන්නා විට අපත් දාවිත්ගේ වදන් හා එකඟ වෙනවාට සැකයක් නැහැ. “යෙහෝවා . . . ඔබට සමාන කිසිවෙක් නැත. ඔබගේ ක්‍රියාවන්ට සමාන වූ ක්‍රියා නැත.”—ගීතාවලිය 86:8.

කීකරු ජනයාගේ සිත් යෙහෝවාගේ මැවිලිවලට හැමදාම ඇදී යන බවට කිසිම සැකයක් නැහැ. යෙහෝවා ගැන තව තවත් ඉගෙනගැනීමට අපට සදාකාල ජීවිතයේදී ලැබෙන අවස්ථාවලට නිමක් නැහැ. (දේශනාකාරයා 3:11) අපේ මැවුම්කරු ගැන අප වැඩි වැඩියෙන් දැනගන්නා තරමට අපට ඔහු කෙරෙහි ඇති වන ප්‍රේමයද වැඩි වෙයි.

[පාදසටහන]

^ 4 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2004 දිනදර්ශනයේ නොවැම්බර්/දෙසැම්බර් මාස බලන්න.

[9වන පිටුවේ කොටුව]

මැවුම්කරුට ප්‍රශංසා

මැවිල්ල අගය කරන බොහෝ විද්‍යාඥයන් එය දෙවිගේ හස්ත කර්මාන්තය බව පිළිගන්නවා. පහත සඳහන් වන්නේ එවැනි උදාහරණ කිහිපයක්:

“විද්‍යා ක්ෂේත්‍රය තුළ කටයුතු කරන මට මහත් ප්‍රීතියක් ප්‍රබෝධයක් දැනෙන්නේ මා අලුතින් යමක් සොයාගත් විටයි. ඒ එක්කම ‘ආහ්! දෙවි එහෙනම් මේක හදලා තියෙන්නේ මේ විදියටයි’ කියා මම මටම කියාගන්නවා. මගේ ඉලක්කය නම්, දෙවිගේ සැලැස්මේ චූටි දෙයක් හෝ වටහාගන්න එකයි.”—රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය හෙන්රි ෂේෆර්.

විශ්වය ප්‍රසාරණය වෙන්නේ ඇයි කියා අප කවුරුත් දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් තීරණ ගැනීම කියවන පාඨකයා සතුයි. හැබැයි දෙවිව සම්බන්ධ කරගන්නේ නැතුව මේකට හේතුව සොයාගන්න බැහැ.”—බ්‍රිතාන්‍යයේ විශ්ව න්‍යාය විද්‍යාඥයෙක් වන එඩ්වර්ඩ් මිල්.

අප දන්නවා සොබා දහමේ සියලුදෙයක්ම විශිෂ්ට හා නිවැරදි ගණිත ක්‍රමයකට අනුව ක්‍රියා කරන බව. ඒවා එතරම් නිවැරදි වන්නේ ඒවා දෙවි මැවූ නිසයි.”—රුසියාවේ ගණිතඥයෙකු වන ඇලෙක්සැන්ඩර් පොල්යාකොව්.

“අප පරිසරයේ ජීවීන් ගැන අධ්‍යයනය කිරීමේදී අප ඇත්තෙන්ම කරන්නේ මැවුම්කරුගේ සිතුවිලිවලට අවධානය යොමු කිරීමයි. ඔහුගේ සංකල්ප තේරුම්ගැනීමයි. එමෙන්ම ඔහුගේ නිර්මාණ ගැන අපේ අදහස් ඉදිරිපත් කරනවා වෙනුවට ඔහුගේ අදහස් දැනගැනීමට උත්සහ කිරීමයි.”—අමෙරිකානු ජාතික ජීව විද්‍යාඥයෙකු වන එගාසිස් ලුවිස්.

[8, 9වන පිටුවේ පින්තූරය]

ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ ගෙන්ටූ පෙන්ගුවින් කුරුල්ලෝ

[9වන පිටුවේ පින්තූරය]

අ.එ.ජ. වයෝමිංහි ග්‍රෑන්ඩ් ටෙටන් අභය භූමිය

[හිමිකම් විස්තර]

Jack Hoehn/Index Stock Photography