Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

දරුවන්ව අගය කරන්නේ කොහොමද?

දරුවන්ව අගය කරන්නේ කොහොමද?

ප්‍රශ්නය

සමහර අය කියනවා දරුවන්ව ඕනෑවට වඩා අගය කරන්න ඕනෙ නැහැ කියලා. නිතරම අගය කළොත් තමන්ට ඕනම දෙයක් කරන්න අවසර තියෙනවා කියලා දරුවන් හිතයි කියලා තවත් අය කියනවා.

ඔයා කොච්චර දුරකට දරුවාව අගය කරනවාද කියලා හිතලා බලන එක වැදගත්. ඒ වගේම මොන විදිහටද එයාව අගය කරන්නේ කියලා හිතන්නත් ඕනේ. මොකද දරුවාව අගය කරන විදිහ අනුව එයා දිරිගැන්වෙන්න හරි නරක් වෙන්න හරි පුළුවන්. දරුවාට අනාගතයේදී යහපතක් වෙන විදිහට එයාව අගය කරන්න ඔයාට පුළුවන් කොහොමද?

දැනගන්න ඕන දේ

ප්‍රශංසා කරන එක හොඳ දෙයක් වුණත් හැම ප්‍රශංසාවකින්ම දරුවන්ට යහපතක් වෙන්නේ නැහැ.

ඕනෑවට වඩා අගය කරන එක හානියක්. දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරන්න ඕන කියලා හිතාගෙන සමහර දෙමාපියන් ඕනෑවාට වඩා දරුවන්ට ප්‍රශංසා කරනවා. ඒත් ආචාර්ය ඩේවිඩ් වොල්ෂ් කියන්නේ මෙහෙමයි. “දරුවන්ව බොරුවට වර්ණනා කරද්දී ඒක තේරුම්ගන්න බැරි තරම් දරුවන් මෝඩ නැහැ. දරුවන් කරපු නැති දෙයක් ගැන කියලා එයාලව අගය කරද්දී දරුවන්ට දෙමාපියන් ගැන තියෙන විශ්වාසය අඩු වෙන්නත් පුළුවන්.” *

අගය කරද්දි පරෙස්සම් වෙන්න. ඔයාගේ දුවට චිත්‍ර අඳින්න සහජ හැකියාවක් තියෙනවා කියලා හිතන්න. ඔයා ඒක අගය කරන එක පුදුමයක් නෙමෙයි. ඒත් ඒකෙන් දුවට නරකක් වෙන්නත් පුළුවන්. ඔයා අගය කරන්නේ දුවගේ සහජ දක්ෂතාවන් විතරක් නම් ඒ දක්ෂතා විතරක් දියුණු කරගත්තොත් ඇතියි කියලා එයාට හිතෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් එයා අලුත් දෙයක් ඉගෙනගන්න පෙලඹෙන එකක් නැහැ. ‘මං දක්ෂ නැති දෙයක් කරන්න මොකටද මහන්සි වෙන්නේ’ කියලා එයා හිතයි.

උත්සාහය අගය කරන එක වඩාත් හොඳයි. දරුවන්ගේ හැකියාවන් විතරක් අගය කරනවාට වැඩිය එයාලා යම් දෙයක් කරන්න ගන්න උත්සාහය අගය කරද්දී දරුවන් වටිනා දෙයක් ඉගෙනගන්නවා. ඒ තමයි යම් හැකියාවක් දියුණු කරගන්න නම් ඉවසීම හා අත් නෑර උත්සාහ කරන එක අත්‍යවශ්‍යයි කියන දේ. එතකොට දරුවන් “යම් ඉලක්කයක් තියලා වැඩ කරද්දී තමන්ගේ උපරිමය කරනවා. එහෙම කරද්දී එකපාරම සාර්ථක වුණේ නැති වුණත් කලකිරෙන්නේ නැතුව ඒකෙන් පාඩමක් ඉගෙනගන්නවා” කියලා පොතක කියනවා.—Letting Go With Love and Confidence.

මොනවද කරන්න පුළුවන්?

දක්ෂතාව නෙමෙයි උත්සාහය අගය කරන්න. “ඔයා නම් චිත්‍ර අඳින්න උපන් හපනෙක්” කියලා කියනවාට වඩා “ඔයා මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ හුඟක් හිතලා බලලා” කියලා දරුවාට කියන එක හොඳයි. බැලූ බැල්මට මේ කියමන් දෙකෙන්ම කරන්නේ අගය කරන එක. ඒත් පළවෙනි කියමනෙන් දරුවා දක්ෂ එයාගේ සහජ හැකියාවන්ට විතරයි කියලා දරුවාට හිතෙන්න පුළුවන්.

උත්සාහය අගය කරද්දී, ඕනම දෙයක් හොඳින් පුහුණු වෙන තරමට හැකියාවන් දියුණු කරගන්න පුළුවන් කියලා දරුවා තේරුම්ගනියි. එතකොට එයා අලුත් අභියෝගයක් වුණත් බය නැතුව භාර ගනියි.—හිතෝපදේශ 14:23 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

අසාර්ථක වීම්වලට මුහුණ දෙන්න උදව් කරන්න. දක්ෂ අයත් අසාර්ථක වෙනවා. සමහරවිට කිහිප වතාවක්ම එහෙම වෙලා තියෙන්න පුළුවන්. (හිතෝපදේශ 24:16) හැබැයි ඒගොල්ලො ඒ හැම වතාවකදිම පාඩමක් ඉගෙනගෙන ඉස්සරහට යනවා. ඒ වගේ හිතන්න දරුවාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

උත්සාහය අගය කරන්න. මෙහෙම හිතන්න. ඔයා දුවට නිතරම කියනවා “ඔයාට නම් ගණන්වලට පුදුම දක්ෂකමක් තියෙන්නේ” කියලා. ඒත් එයා විභාගෙකදි ගණන්වලට ලකුණු අඩුවෙන් ගත්තොත් එයා හිතයි ‘මගේ දක්ෂකම නැති වෙලා. ඒ නිසා තවත් ගණන්වලට මහන්සි වෙලා වැඩක් නැහැ’ කියලා.

දරුවාගේ උත්සාහය අගය කරද්දී ඔයා කරන්නේ ඉවසීමෙන් හැකියාවන් දියුණු කරගන්න එයාට උදව් කරන එකයි. ඒ වගේම එක පාරක් දෙපාරක් අසාර්ථක වුණා කියලා එයා හැමදාටම අසාර්ථක පුද්ගලයෙක් නෙමෙයි කියලා හිතන්නත් ඒක උදව්වක්. එතකොට එයා ඉලක්කට යන එක අත් හරින්නේ නැතුව සාර්ථක වෙන්න වෙනත් ක්‍රම හොයයි. එහෙමත් නැත්නම් තවත් මහන්සි වෙලා වැඩ කරයි.—යාකොබ් 3:2 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

කලකිරෙන්නේ නැති විදිහට වැරදි පෙන්නලා දෙන්න. අඩුපාඩු හරි විදිහට පෙන්නලා දෙද්දී දරුවා කලකිරෙන්නේ නැහැ. වැරදි හදාගන්න දරුවාට ඒක උදව්වක්. මේ ලිපියේ කියලා තියෙන තොරතුරු ප්‍රයෝජනයට අරන් දරුවාව අගය කරනවා නම් එයාගේ අඩුපාඩු පෙන්නලා දෙද්දීත් එයා කැමැත්තෙන්ම ඒවා පිළිගනියි. දරුවා ඉලක්ක අත් කරගෙන හොඳ ප්‍රතිඵල නෙළාගද්දී ඒකෙන් දරුවාටයි ඔයාටයි මොන තරම් සතුටක් ලැබෙයිද!—හිතෝපදේශ 13:4 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

^ 8 ඡේ. No: Why Kids—of All Ages—Need to Hear It and Ways Parents Can Say It නමැති පොතෙන්.