Skip to content

පටුනට යන්න

නිරෝගී දිවියකට ස්වාභාවික විෂබීජ නාශක

නිරෝගී දිවියකට ස්වාභාවික විෂබීජ නාශක

20වෙනි සියවසේ මැද භාගයේදී විද්‍යාඥයන් ප්‍රතිජීවක ඖෂධ හොයාගත්තම වෛද්‍යවරුන් හිතුවේ සමහර ලෙඩ රෝග නිට්ටාවටම සුව කරන්න පුළුවන් වෙයි කියලයි. මුලින් මුලින් ඔවුන් හිතපු දේ සිද්ධ වුණත් කාලයක් යද්දී ඒ බෙහෙත්වලට ඔරොත්තු දෙන වෙනත් බැක්ටීරියා වර්ග හිස ඔසවන්න පටන්ගත්තා.

ඒ නිසා අලුත් පිළියමක් විදිහට සමහර විද්‍යාඥයන් අතීතයේදී රෝග මර්දනය කරපු ක්‍රමවලට ඔවුන්ගේ අවධානය නැවතත් යොමු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ඔවුන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ පිරිසිදු වාතාශ්‍රයෙන් හා හිරු එළියෙන් ලැබෙන ප්‍රයෝජනවලටයි.

පරණ ක්‍රම අලුත් වෙයි

කාලයක් පුරා හිරු එළියෙන් හා පිරිසිදු වාතාශ්‍රයෙන් ලැබෙන වාසි ගැන කතා කළ අය එංගලන්තයේ හිටියා. ඒ අය අතරින් වෛද්‍ය ජෝන් ලෙට්සම් (1744-1815) ක්ෂය රෝගයෙන් පෙළෙන දරුවන්ට මුහුදු සුළං හා හිරු එළිය බෙහෙතක් හැටියට නිර්දේශ කළා. ඒ වගේම කාමරයක වැඩ කරන අයට වඩා එළිමහනේ වැඩ කරන ගොවියන්, එඬේරුන් වගේ අයට ක්ෂය රෝගය හැදෙන්න තියෙන ඉඩකඩ අඩු බව 1840දී තවත් ශල්‍ය වෛද්‍යවරයෙක් වන ජෝජ් බොඩිංටන් පැවසුවා.

ෆ්ලෝරන්ස් නයිටිංගේල් (1820-1910) යුද්ධෙන් තුවාල ලබපු බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට ප්‍රතිකාර කරන කාලයේදී මෙහෙම කිව්වා. “දවස පුරාම වහලා තියෙන කාමරයක අමුතු ගඳක් ඇති වෙනවා.” ඒ නිසා ලෙඩෙක් ඉන්න කාමරයක ජනෙල් ඇරලා පිරිසිදු වාතය ඇතුළට එන්න සලස්සන්න ඕනේ. හැබැයි ඒක කරන්න ඕන ලෙඩාට සීතලක් අල්ලන්නේ නැති විදිහටයි කියලත් ඇය කිව්වා. “ලෙඩෙක් ඉන්න තැනකට පිරිසිදු වාතාශ්‍රය විතරක් නෙමෙයි කෙළින්ම හිරු එළිය වැටෙන්නත් ඕනේ” කියලා ඇය කිව්වා. කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇඳුම් අව්වේ දාලා වේලගන්න එක සෞඛ්‍යයට හිතකරයි කියලා ඒ කාලේ හිටපු හුඟක් අයත් පිළිගත්තා.

1800 ගණන්වලට වඩා අද විද්‍යාව ගොඩක් දියුණුයි. ඒත් හුඟක් වෙලාවට පරීක්ෂණවලින් එදා ආපු නිගමනවලටමයි අදත් එන්නේ. උදාහරණයකට 2011දී චීනයේ ශිෂ්‍යයන්ගෙන් පිරුණු නේවාසිකාගාර ගැන කරපු අධ්‍යයනයකින් හෙළි වුණේ වාතාශ්‍රය අඩු කාමරවල ඉන්න ළමයින්ට “වැඩියෙන් ශ්වසන රෝග හැදිලා තියෙනවා” කියලයි.

පිරිසිදු වාතය ගොඩනැඟිල්ලක් ඇතුළට කෙලින්ම එන්න සලස්සලා තියෙනවා නම් සමහර ලෙඩ රෝග පැතිරෙන එක වළක්වන්න ඒක උදව් වෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය පිළි අරන් තියෙනවා. ඒ ක්‍රියා මාර්ගය අනුගමනය කරන්න කියලා ඒ සංවිධානය 2009දී පළ කරපු ලිපියකින් රෝහල් වැනි සෞඛ්‍ය ආයතනවලට දිරිගැන්නුවා. *

ඒත් කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘ඒත් ඒකට විද්‍යාත්මක පදනමක් තියෙනවද? හිරු එළියටයි වාතාශ්‍රයටයි පුළුවන්ද විෂබීජ මරන්න?’

ස්වාභාවික විෂබීජ නාශක

එක්සත් රාජධානියේ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් කළ අධ්‍යයනයකින් ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා. ලන්ඩන් නුවරට ජීව අවි ප්‍රහාරයක් එල්ල වුණොත් ඉන් පිට වෙන හානිකර බැක්ටීරියා කොච්චර කාලයක් වාතයේ රැඳෙයිද කියලා එහි විද්‍යාඥයන් හොයලා බැලුවා. ඒකට ඔවුන් ඊ-කෝලී බැක්ටීරියා, මකුළු දැල්වල දවටලා වාතයට මුදා හැරියා. හිරු එළියෙනුත් බැක්ටීරියා විනාශ වෙන නිසා ඔවුන් ඒ අත්හදා බැලීම කළේ රාත්‍රියේදියි. ප්‍රතිඵලය මොකක්ද?

පැය දෙකකට විතර පස්සේ ඒ හැම බැක්ටීරියාවක්ම වාගේ විනාශ වෙලා තිබුණා. ඒත් ඒ වෙලාවෙම ඒ උෂ්ණත්වය සහ තෙතමනය යටතේ පෙට්ටියක දාලා වහලා තියපු බැක්ටීරියා විනාශ වෙලා තිබුණේ නැහැ. ඒ ඇයි? විද්‍යාඥයන් කියන විදිහට “හොඳින් වාතාශ්‍රය ලැබෙන තැන්වල විෂබීජ නසන්න පුළුවන් යමක් තියෙනවා.” ඒත් ඒක මොකක්ද කියලා තවමත් හරියටම හොයාගෙන නැහැ.

හිරු එළියටත් විෂබීජ නැසීමේ හැකියාවක් තියෙනවා. එක වෛද්‍ය සඟරාවක කිව්වේ “සුළඟින් පැතිරෙන ගොඩක් විෂබීජ හිරු එළියෙන් විනාශ වෙනවා” කියලයි.Journal of Hospital Infection.

මේ තොරතුරුවලින් ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? ඇතුළට වෙලාම ඉන්නේ නැතුව ටිකක් එළියට පහළියට යන්න. ගිහින් ටික වෙලාවක් හිරු එළියේ ඉන්න. පිරිසිදු වාතාශ්‍රයක් තියෙන පරිසරයක ටික වෙලාවක් ගත කරන්න. ඒකෙන් ඔබට සුවයක් දැනෙයි.

^ 8 ඡේ. සමහර අවස්ථාවලදී ජනෙල් ඇරලා තියන එක සුදුසු නැති වෙන්න පුළුවන්. උදාහරණයකට අපිරිසිදු වාතය, අධික ශබ්දය, ආරක්ෂාව නැතිකම සහ ගිනි නිවීමේ රෙගුලාසි වැනි දේවල් නිසා.