Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

හැම ප්‍රවෘත්තියක්ම විශ්වාස කරන්න පුළුවන්ද?

හැම ප්‍රවෘත්තියක්ම විශ්වාස කරන්න පුළුවන්ද?

ජනමාධ්‍ය හරහා ලැබෙන තොරතුරු ගැන හුඟදෙනෙක්ට තියෙන්නේ අල්ප විශ්වාසයක්. 2012දී ඇමරිකාවේ සිදු කළ සමීක්ෂණයකින්ද එය තහවුරු වුණා. එම සමීක්ෂණයේදී පුවත්පත්, රූපවාහිනී සහ ගුවන්විදුලි ප්‍රවෘත්තිවල නිරවද්‍යභාවය, අපක්ෂපාතිකම සහ තොරතුරු ආවරණය කරන විදිහ ගැන ජනයාගේ අදහස් විමසුවා. ඊට සහභාගි වූ අයගෙන් 10න් 6ක්ම කියා සිටියේ ලැබෙන තොරතුරු ගැන ‘වැඩි විශ්වාසයක් නැහැ’ කියා හෝ ‘කිසි විශ්වාසයක් නැහැ’ කියායි. එසේ සිතීම සාධාරණද?

මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන කැප වී සිටින්නේ සම්පූර්ණ මෙන්ම නිවැරදි ප්‍රවෘත්ති ජනයාට ලබා දීමටයි. ඒත් අපට ලැබෙන තොරතුරු ගැන දෙවරක් සිතා බැලීමට සිදු වෙන අවස්ථා නැතුවාම නොවෙයි. ඒ ඇයි කියා දැන් අපි බලමු.

  • මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෝ. අපට ලැබෙන ප්‍රවෘත්ති හසුරුවන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයන් ලෙස හඳුන්වන ආයතන කිහිපයක් විසින්. ඇතුළත් කරන තොරතුරුත් ආවරණය කරන විදිහත් වැඩි වැදගත්කමක් දෙන්නේ කුමකටද කියාත් තීරණය කරන්නේ ඔවුනුයි. මේ ආයතනවල අරමුණ ලාභ ලැබීම නිසා ඔවුන් බොහෝවිට වැඩ කරන්නේ ආර්ථික වාසි ලැබෙන විදිහටයි. ඒ නිසා යම් ප්‍රවෘත්තියක් විකාශනය කිරීමෙන් ඔවුන්ට අවාසියක් සිදු වෙයි කියා සිතුණොත් ඒ ප්‍රවෘත්තිය වාර්තා නොකරන්නත් ඉඩ තියෙනවා.

  • දේශපාලනය. අපට අහන්න, දකින්න ලැබෙන තොරතුරු බොහොමයක් දේශපාලනයට සම්බන්ධයි. ආණ්ඩුවකට අවශ්‍ය වන්නේ තම අරමුණුවලටත් පක්ෂ සාමාජිකයන්ටත් මහජනයාගේ සහයෝගයයි. මාධ්‍ය ආයතනයක පැවැත්මට රජයේ සහාය අවශ්‍ය නිසා යම් අවස්ථාවලදී මාධ්‍ය ආයතන, රජය හා රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් වැඩ කරනවා.

  • ප්‍රචාරණය. බොහෝ රටවල මාධ්‍ය ආයතන පවත්වාගෙන යෑමට අවශ්‍ය ආදායමෙන් වැඩි හරියක් ලැබෙන්නේ වෙළඳ දැන්වීම්වලින්. ඇමරිකාවේ සඟරා ප්‍රකාශකයන් තම ආදායමෙන් සියයට 50ත් 60ත් අතර ප්‍රමාණයක්ද පුවත්පත් සියයට 80ක්ද ගුවන්විදුලිය හා රූපවාහිනිය තම මුළු ආදායමද ලබාගන්නේ වෙළඳ දැන්වීම්වලිනුයි. යම් මාධ්‍ය ආයතනයකින් තමන්ගේ ප්‍රචාරණ කටයුතුවලට එතරම් ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැත්නම් ප්‍රචාරණ ආයතන වෙනත් මාධ්‍ය ආයතනයක් වෙත යනවා. එසේ නම් මාධ්‍ය ආයතන, ප්‍රචාරණ ආයතනවල අප්‍රසාදයට ලක් නොවී, හොඳ හිත දිනාගැනීමට විකාශනය කරන ප්‍රවෘත්ති සංස්කරණය කිරීම පුදුමයක් නෙවෙයි.

  • වංකකම. හැම වාර්තාකරුවෙක්ම අවංක නැහැ. උදාහරණයකට ජපානයේ වාර්තාකරුවෙකුට කිමිදුම්කරුවන් නිසා ඔකිනාවා ප්‍රදේශයේ ඇති කොරල්පරවලට වන හානිය ගැන වාර්තා කරන්න අවශ්‍ය වුණා. එය ඔප්පු කිරීමට සාක්ෂි නොලැබුණු නිසා ඔහු හිතාමතාම කොරල්පරවලට හානි කර පසුව ඒවා ඡායාරූප ගත කළා. සමහර අවස්ථාවල ජනයාව නොමඟ යැවීමට වාර්තාකරුවන් ඡායාරූපවලට යම් වෙනස්කම් පවා කරනවා. පරිගණක තාක්ෂණයෙන් ඔවුන් එම ඡායාරූප කොතරම් සියුම් ලෙස සකස් කරනවාද යත් වෙනස්කමක් කළාද කියලවත් සොයාගන්න බැහැ.

  • මාධ්‍යවේදියාගේ මතය. වාර්තාවකට ඇතුළත් කරන සහ ඉවත් කරන තොරතුරු මොනවාද කියා තීරණය කරන්නේ මාධ්‍යවේදියායි. ඒ නිසා තොරතුරු ඉදිරිපත් කරන ආකාරයෙන් ජනයා හිතන විදිහ වෙනස් කරන්න මාධ්‍යවේදියෙක්ට හැකියි. උදාහරණයකට, පාපන්දු කණ්ඩායමක් ගෝල දෙකකින් පරාජය වෙනවා කියා සිතන්න. එය සත්‍යයක් වුණත් ඒ ගෝල දෙක අහිමි වීම ගැන ඔහුගේ මතයට අනුව තොරතුරු ඉදිරිපත් කරමින් වාර්තාවක් සකස් කරන්න මාධ්‍යවේදියෙක්ට හැකියි.

  • තොරතුරු කපාහැරීම. ප්‍රවෘත්තියක් කාගෙත් අවධානය ඇදගන්න ආකාරයට සකස් කිරීමේදී සංකීර්ණ සහ ගැටලුසහගත තොරතුරු බොහෝවිට කපාහරිනවා. එසේ කරද්දී සමහර කරුණු වැඩියෙන් උලුප්පා දැක්වෙන්නත් සමහර කරුණු යටපත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම තොරතුරු රාශියක් ඇතුළත් වාර්තාවක් විනාඩි කිහිපයක් ඇතුළත ඉදිරිපත් කිරීම අභියෝගයක් නිසා ප්‍රවෘත්ති සකස් කිරීමේදී වැදගත් තොරතුරු පවා අත්හරින්න සිදු වෙනවා.

  • තරඟකාරිත්වය. මෑතක සිට රූපවාහිනී නාලිකා බොහොමයක් බිහි වී තිබෙන නිසා නරඹන්නෝ එක් නාලිකාවකට කොටු වෙන්නේ නැහැ. ඒ නිසා නරඹන්නන්ව තම නාලිකාවේ පමණක් රඳවාගැනීමට සිත් ඇදගන්නා ආකාරයෙන් ප්‍රවෘත්ති සකස් කරන්න ඔවුන්ට සිදු වෙනවා. “දැන් ප්‍රවෘත්ති ත්‍රාසය කුතුහලය අවුස්සන දර්ශන ඇතුළත් වැඩසටහනක් වෙලා. නරඹන්නන් පැය ගණන් ප්‍රවෘත්ති බලන්න අකමැති නිසා ඒවා ඉදිරිපත් කරන්නේ ඉතා කෙටියෙන්” කියා එක් පොතක සඳහන් වුණා.—Media Bias.

  • අත්වැරදීම්. මාධ්‍යවේදීන් අතින්ද වැරදි සිදු විය හැකියි. වචනයක් ලිවීමේදී සිදු වෙන දෝෂ හෝ ව්‍යාකරණ දෝෂ නිසා වාක්‍යයක අදහස විකෘති විය හැකියි. සමහරවිට තොරතුරු හොඳින් පරීක්ෂා කර නොතිබෙන්නත් පුළුවන්. කලබලයෙන් වැඩ කරන අවස්ථාවල අත්වැරදි සිදු වීමට ඇති ඉඩකඩ වැඩියි. උදාහරණයකට 1,00,000 වෙනුවට 10,000ක් ලෙස ලියවෙන්න ඉඩ තියෙනවා.

  • වැරදි උපකල්පන. අද සත්‍යයයි කියා පිළිගත් දෙයක් හෙට සත්‍යයක් නොවෙන්න පුළුවන්. ඒ නිසා හැමවිටම නිවැරදි වාර්තා ඉදිරිපත් කිරීම හිතන තරම් පහසු නැහැ. උදාහරණයකට කලින් විශ්වාස කළේ සූර්යයා, පෘථිවිය වටා කැරකෙනවා කියායි. ඒත් සූර්යයා වටා කැරකෙන්නේ පෘථිවිය බව දැන් කවුරුත් දන්නා සත්‍යයක්.

සමබර වෙන්න

මාධ්‍යය හරහා අපි අහන, දකින, කියවන තොරතුරු සෑම එකක්ම විශ්වාස කිරීම ඥානවන්ත දෙයක් නොවෙයි. ඒත් සෑම තොරතුරක්ම විශ්වාස කරන්න බැහැයි කියා එයින් අදහස් කරන්නේ නැහැ. කළ යුතු හොඳම දේ නම් ලැබෙන තොරතුරු ගැන කල්පනාකාරී වීමයි.

බයිබලයෙත් මෙවැනි උපදෙසක් දී තිබෙනවා. “දිව කෑමවල රස තෝරන්නාක් මෙන් දෙසවන වචන විමසා බලන්නේය.” (යෝබ් 12:11) අපි අහන, දකින, කියවන දේ ගැන හොඳින් හිතා බලන්න උදව් වෙන පැති කිහිපයක් අපි දැන් බලමු.

  • සපයන්නා: තොරතුරු සපයන්නේ විශ්වසනීය හා අනුමැතිය ලත් පුද්ගලයෙක් හෝ ආයතනයක්ද? වැඩසටහන හෝ ප්‍රකාශනය ප්‍රසිද්ධ වගකීමෙන් තොරතුරු වාර්තා කරන බවටද නැත්නම් හැඟීම්වලට වහල්ව තොරතුරු වාර්තා කරන බවටද? ඔවුන්ට මූල්‍යමය සහය ලැබෙන්නේ කාගෙන්ද?

  • මූලාශ්‍රය: මාධ්‍ය ආයතනයට තොරතුරු ලැබෙන්නේ හොඳින් සොයා බලා තොරතුරු ඉදිරිපත් කරන, විශ්වසනීය, සාධාරණ, අරමුණක් ඇතුව ක්‍රියා කරන සහ අපක්ෂපාතී මත දරන මූලාශ්‍රයකින්ද? අදාළ තොරතුරු ලැබෙන්නේ එක් මූලාශ්‍රයකින් විතරක්ද?

  • අරමුණ: තොරතුරු ඉදිරිපත් කරන්නේ යමක් දැනුම් දෙන්නද නැත්නම් ආස්වාදයක් ලබා දීමටද? යමක් විකිණීමටද නැත්නම් සහය දැක්වීමද?

  • ස්වරය: ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන්නේ කේන්තියෙන් හෝ විවේචනාත්මක ස්වරූපයෙන් නම් එහි කවරෙකුට හෝ පහර ගැසීමේ චේතනාවක් තිබිය හැකියි.

  • එකඟතාව: වෙනත් මාධ්‍යවලින් ඉදිරිපත් කරන තොරතුරුත් සමඟ එය එකඟද? නැත්නම් පරස්පර විරෝධීද?

  • කාලීන බව: තොරතුරු යල් පැන ගිය ඒවාද? කාලයත් සමඟ තොරතුරු අලුත් වෙන නිසා කලින් නිවැරදියි කියා පිළිගත් දෙයක් අද නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සිදු වූ සැණින්ම පළ වෙන පුවත්වල සෑම තොරතුරක්ම ඒ වෙද්දී ඇතුළත් වී නැති නිසා එය සම්පූර්ණ පුවතක් ලෙස පිළිගන්න බැහැ.

එසේ නම් හැම ප්‍රවෘත්තියක්ම විශ්වාස කරන්න පුළුවන්ද? බයිබලයේ දී තියෙන මේ නැණවත් උපදෙස සිතට ගන්න. “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝපදේශ 14:15.