Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

හොඳ තාත්තා කෙනෙක් වෙන්න නම්

හොඳ තාත්තා කෙනෙක් වෙන්න නම්

“මගේ පුතාව හොඳට හදාගන්න බැරි වුණේ ඇයි?” එහෙම හිතලා දුක් වෙන්නේ දකුණු අප්‍රිකාවේ ඉන්න මයිකල්. a දරුවව හොඳට හදාගන්න ගොඩාක් මහන්සි වුණත් එයාගේ 19 හැවිරිදි පුතා නොමඟ ගියා. මයිකල් හැම තිස්සෙම කල්පනා කළේ එයා අතින් වුණ වැරැද්ද මොකක්ද කියලයි.

ස්පාඤ්ඤයේ ඉන්න ටෙරීගේ අද්දැකීම ඊට වඩා වෙනස්. ටෙරී ගැන එයාගේ පුතා ඇන්ඩෘ මෙහෙම කියනවා. “පුංචි කාලේ තාත්තා මට නිතරම කතන්දර කියලා දුන්නා. මාත් එක්ක සෙල්ලං කරා. අපි දෙන්නට තනියම කතා කරන්න ඕන වුණාම අපි දෙන්නා විනෝද ගමන් ගියා. තාත්තා මට ගොඩක් දේවල් ඉගැන්නුවා. ඒවා පිළිගන්න අමාරු වුන්නෑ.”

හොඳ තාත්තා කෙනෙක් වෙන එක ලේසි නෑ තමයි. ඒත් බයිබලයේ තියෙන හොඳ මඟ පෙන්වීම් පිළිපැද්දොත් සාර්ථක වෙන්න පුළුවන් කියලා හුඟක් තාත්තලා කියනවා. එයාලට උදව් වුණ මඟ පෙන්වීම් කිහිපයක් දැන් බලමු.

1. දරුවන් එක්ක කාලය ගත කරන්න

තාත්තේ, ඔබට මේ ලෝකයේ තියෙන වටිනාම සම්පත ඔබේ දරුවන් කියලා එයාලට දැනෙන්න සලස්වන්නෙ කොහොමද? ඔබ දරුවන් වෙනුවෙන් බොහෝ දේවල් කරනවා. දරුවන්ට කන්න අඳින්න දෙන්න, ඉන්න හිටින්න තැනක් දෙන්න ඔබ හුඟක් මහන්සි වෙනවා. ඔබ ඒ දේවල් කරන්නේ දරුවෝ ඔබට වටින නිසයි. ඒත් ඔබ දරුවන් එක්ක කාලය ගත කරන්නැත්තං දරුවන්ට හිතෙන්න පුළුවන් ඔබට වටින්නේ ඔබේ රස්සාව, යාළුවෝ, විනෝදාංශ වගේ දේවල් කියලා.

අම්මා කෙනෙක් නම් දරුවා කුසට ආ දා පටන් දරුවත් එක්ක සමීප බැඳීමක් ඇති කරගන්නවා. තාත්තා කෙනෙක් ඒ වගේ බැඳීමක් පටන්ගන්න ඕනෙ කවදද? සාමාන්‍යයෙන් බිළිඳාට ශබ්ද ඇහෙන්න ගන්නේ පිළිසිඳගෙන සති 16කින්. අන්න ඒ කාලෙදිම තාත්තට පුළුවන් සමීප බැඳීමක් ඇති කරගන්න. නූපන් බිළිඳගේ හද ගැස්මට කන් දෙන්න, අතපය ගහද්දි අම්මගේ බඩට අත තියලා ඒවා විඳගන්න, ඇහෙන්න කතා කරන්න වගේම සින්දු කියන්න තාත්තට පුළුවන්.

බයිබලයේ දෙන උපදෙස: “මා අද ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න. ඒවා ඔබේ දූපුතුන්ගේ සිත්වලට කාවද්දන්න. නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත් අවදි වන විටත් ඔබ ඒ දේවල් ගැන කතා කරන්න.” (ද්විතීය කතාව 6:6, 7) ඒකෙන් පැහැදිලි වෙන්නේ දරුවන්ට ඉගැන්වීමේ මූලික වගකීමත් තම දරුවන් එක්ක නිතරම කාලය ගත කිරීමත් දෙවියන් ඈත අතීතයේ සිටම තාත්තලගෙන් බලාපොරොත්තු වුණා කියලයි.

2. හොඳ සවන් දෙන්නෙක් වෙන්න

වැරදි නිගමනවලට එන්නැතුව සන්සුන්ව ඇහුම්කන් දෙන්න

දරුවන් එක්ක කතාබහ කරද්දී ඔබ හොඳ සවන් දෙන්නෙක් වෙන එක හුඟක් වැදගත්. සමහර වෙලාවට දරුවන් කියන දේවලට කේන්ති යන්නත් පුළුවන්. ඒත් ඉවසීමෙන් එයාලා කියන දේවල්වලට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න ඕනෙ.

මොකද, දරුවන්ට දැණුනොත් ඔබ ඉක්මනට කේන්ති අරන් වැරදි නිගමනවලට එන කෙනෙක් කියලා දරුවෝ හිතේ තියෙන දේවල් හිර කර ගන්නවා, කියන්නෑ. ඒත් දරුවන් එක්ක කතා කරද්දී සන්සුන්ව උනන්දුවෙන් ඇහුම්කන් දෙනවා නම් භයක් සැකක් නැතුව ඕනෙම දෙයක් කියන්න දරුවෝ පෙලඹෙයි.

බයිබලයේ දෙන උපදෙස: “සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි. කෝප වීමටද ප්‍රමාද විය යුතුයි.” (යාකොබ් 1:19) ඒ නැණවත් උපදෙස ජීවිතේ හැම කාරණේකදීම අදාළ කරගන්න පුළුවන්. එහෙම කරන තාත්තලාට දරුවන් එක්ක කතාබහ කරද්දී හොඳින් අදහස් හුවමාරු කරගන්න පුළුවන් වෙලා තියෙනවා.

3. ආදරෙන් හික්මවනවා වගේම ප්‍රශංසාත් කරන්න

දරුවා කරන වැඩවලට කලකිරීමක් කේන්තියක් ඇති වුණත් එයාව හික්මවන්න ඕනෙ ආදරෙන් වගේම යහමඟට ගන්න අරමුණින්. ඒ සඳහා දරුවට උපදෙස් දෙන්න, නිවැරදි කරන්න, උගන්වන්න, දඬුවම් කරන්න පවා සිදු වෙනවා.

ඔබ නිතර දරුවව අගය කරනවා නම් එයාට උපදෙස් දෙද්දී ඒක පිළිගන්න එයාට ලේසියි. එය ලැබුණේ එයාගේ යහපතට කියලත් එයා තේරුම්ගන්නවා. අගය කිරීමේ වටිනාකම ගැන හිතෝපදේශ 25:11 කියන්නේ ‘නිසි කලට කියන වදන් රිදී බඳුන්වල තැබූ රන් ඇපල් මෙනි’ කියලයි. දරුවෙක්ව ප්‍රශංසා කරද්දී හොඳ ගුණාංග එයා තුළ වැඩෙනවා. අම්මට තාත්තට එයාව වටිනවා කියන හැඟීම ඇති වෙලා එයාගේ ආත්ම විශ්වාසයත් වැඩි වෙනවා. එතකොට මොන අභියෝග ආවත් හරි දේ කරන්න දරුවා පැකිලෙන්නෑ.

බයිබලයේ දෙන උපදෙස: “පියවරුනි, ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති නොකරන්න. මන්ද එසේ කිරීමෙන් ඔවුන් තුළ කලකිරීමක් ඇති වේ.”—කොලොස්සි 3:21.

4. බිරිඳට ආදරය වගේම ගෞරවයත් දෙන්න

සැමියෙක් හැටියට ඔබ බිරිඳට සලකන විදිහ දරුවට බලපානවා. ළමා මානසික වර්ධනය ගැන විද්වතුන් පිරිසක් මෙහෙම කියනවා. “පියෙකුට දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දේවලින් එකක් තමයි, දරුවන්ගේ අම්මට හොඳින් සැලකීම. දෙමව්පියන් එකිනෙකාට ගරු කරන විට දරුවන්ට සතුටක් වගේම ආරක්ෂාවක් දැනෙනවා.”—The Importance of Fathers in the Healthy Development of Children. b

බයිබලයේ දෙන උපදෙස: ‘ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න. ඔබ එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි.’—එෆීස 5:25, 33.

5. නැණවත් උපදෙස් පිළිපදින්න

දෙවියන්ට හදවතින්ම ආදරය කරන තාත්තෙකුට, දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම දේ, එයාලගේ හිතේ දෙවියන්ට ආදරයක් වගේම දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න උදව් කරන එක.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන අන්තෝනියෝ දරුවන් හයදෙනෙක්ගේ තාත්තා කෙනෙක්. දවසක් එයාගේ දුවෙක් ලියුමක් එව්වා. ඒකේ මෙහෙම තිබුණා. “ආදරණීය තාත්තේ, යෙහෝවා දෙවිට ආදරය කරන්නයි, අසල්වැසියන් ගැනත් මං ගැනත් සැලකිලිමත් වෙන්නයි මට ඉගැන්නුවේ ඔයා. තාත්තා දෙවිට කොච්චර ආදරේද කියලත් තාත්තට මාව කොච්චර වටිනවද කියලත් මං දැක්කා. හොඳ කෙනෙක් වෙන්න මට ඒක උදව් වුණා. තාත්තා හැම වෙලේම මුල් තැන දුන්නේ යෙහෝවා දෙවිට. අපිව සැලකුවෙත් දෙවිගෙන් ලැබුණු තෑගි විදිහට. මේ හැම දේටම ඔයාට ගොඩක් ස්තුතියි.”

බයිබලයේ දෙන උපදෙස: “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. මා අද ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න.”—ද්විතීය කතාව 6:5, 6.

හොඳ තාත්තා කෙනෙක් වෙන්න මේ කරුණු පහ වගේම වැදගත් තවත් දේවල් තියෙනවා. ඔබ ඒ උපදෙස් අදාළ කරගෙන දරුවන්ට ආදරයත් එයාලට අවශ්‍ය දේත් දෙන්න ඔබේ උපරිමය කරද්දී, සියයට සියයක්ම බැරි වුණත් ඔබට පුළුවන් හොඳ තාත්තා කෙනෙක් වෙන්න. c

a සමහර නම් වෙනස් කර ඇත.

b ඔබ තවදුරටත් බිරිඳ එක්ක ජීවත් නොවුණත් ඇයට ආදරෙන් හා ගෞරවයෙන් සලකනවා නම් දරුවන්ට අම්මා එක්ක තියෙන බැඳීමට එය දායක වෙනවා.

c පවුල් ජීවිතයට අවශ්‍ය උපදෙස් සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන “පවුලේ සන්තෝෂයට රහස” යන පොත බලන්න. නැත්නම් www.isa4310.com වෙත පිවිස “මුළු පවුලටම” යටතේ බලන්න.