Skip to content

පටුනට යන්න

පිළිසඳරක් | පාඕලා කියොට්සි

ජීව රසායන විද්‍යාඥයෙක් දෙවියන් ගැන කියයි

ජීව රසායන විද්‍යාඥයෙක් දෙවියන් ගැන කියයි

දොස්තර පාඕලා කියොට්සි අවුරුදු 20කටත් වැඩිය ඉතාලියේ ෆෙරාරා විශ්ව විද්‍යාලයේ අණුක ජීව විද්‍යාඥයෙක් හැටියට වැඩ කරලා තියෙනවා. විද්‍යාවෙන් ඉගෙනගත්ත දේ ගැනත් දෙවියන් ගැන ඈට තියෙන විශ්වාසය ගැනත් අපි ඇගෙන් අහලා බැලුවා.

ඔයා ගැන ටිකක් අපිට කියන්න.

තාත්තා සපත්තු හැදුවා. අම්මා වැඩ කළේ ගොවිපොළක. ඒත් මට ඕන වුණේ විද්‍යාඥයෙක් වෙන්න. වත්ත පුරා හිටපු ලස්සන කුරුල්ලෝ, කෘමීන් විතරක් නෙමෙයි ලස්සන මල් ගැනත් මට තිබුණේ පුදුම කුතුහලයක්. කවුරු හරි බුද්ධිමත් කෙනෙක් ඒ දේවල් හදලා තියෙනවා කියලා පොඩි කාලේ ඉඳලම මට හිතුණා.

ඒ කියන්නේ මේවා නිර්මාණය කරපු දෙවි කෙනෙක් ඉන්නවා කියලා ඔයා විශ්වාස කළා?

එහෙමමත් නෑ. මොකද, මං පොඩි කාලේ තාත්තා පපුවේ අමාරුවක් හැදිලා මැරුණ වෙලාවේ මට දෙවියන් ගැන සැකයක් මතු වුණා. ‘මෙච්චර ලස්සන දේවල් නිර්මාණය කළා නම් දුකයි මරණයයි නැති කරන්න ඇයි එයාට බැරි’ කියලා මං හිතුවා.

දෙවියන්ව විශ්වාස කරන්න විද්‍යාව ඔයාට උදව් වුණාද?

මුලදි නම් නෑ. හැබැයි මම අණුක ජීව විද්‍යාඥයෙක් වුණාට පස්සේ, ස්වාභාවිකවම සෛල මැරෙන එක ගැන අධ්‍යයනය කරන්න ගත්තා. මෑතක් වෙනකම් විද්‍යාඥයන් ඒකට වැඩි අවධානයක් දුන්නැති වුණාට ඒක අධ්‍යයනය කරන්නම ඕන විෂයක්.

නියමිත කාලෙදී ස්වාභාවිකවම සෛල මැරෙන එක අත්‍යවශ්‍යද?

ඔව්. අපේ ශරීරය හැදිලා තියෙන්නේ සෛල ට්‍රිලියන ගාණකින්. ජීවයේ පැවැත්මට පරණ සෛල මැරිලා අළුත් සෛල නිපදවෙන්න ඕනේ. සෛලවලට ඒවාට ආවේණික ජීව කාලයක් තියෙනවා. සමහර සෛලවල ආයු කාලය සති කීපයයි. තවත් ඒවා අවුරුදු ගාණක් තියෙනවා. සෛල නියමිත කාලෙට කලින් හරි පස්සේ හරි මැරෙන එක හානිකරයි. ඒ නිසා පරණ සෛල මැරිලා අළුත් සෛල නිපදවීමේ ක්‍රියාවලිය නියමිත කාලේදී තිතටම සිද්ධ වෙන්න ඕනේ.

තිතටම නොවුණොත්?

සමහර අධ්‍යයනවලින් හොයාගෙන තියෙන්නේ නියමිත කාලෙදි සෛල මැරුණේ නැත්නම් හන්දිපත් රුදාව සහ පිළිකා හැදෙන්න පුළුවන් කියලයි. අනිත් අතට සෛල නියමිත කාලෙට කලින් මැරුණම පාකින්සන්, ඇල්සයිමර් වගේ රෝග හැදෙන්නත් පුළුවන්. මගේ පර්යේෂණ කටයුතු මේ රෝගවලට ප්‍රතිකාර හොයාගන්න උදව් වෙනවා.

පර්යේෂණ කටයුතුවලින් ඔයාට තේරුණේ මොකක්ද?

අපි නිරෝගීව ඉන්නවාට කැමති, අපිව නිර්මාණය කරපු කෙනෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනෙ කියලා මට තේරුණා. ඒත් මිනිස්සු දුක් විඳින්නෙත් මැරෙන්නෙත් ඇයි කියන එකට උත්තරයක් මට ලැබුන්නෑ.

ඒත් නියමිත කාලෙදී සෛල ස්වාභාවිකවම මැරෙන එක කවුරු හරි තිතටම සකස් කළා කියන එකේ සැකයක් නෑනෙ?

නෑ. මොකද ඒ ක්‍රියාවලිය සැලසුම් කරන්න කවුරු හරි බුද්ධිමත් කෙනෙක් ඉන්නම ඕනේ. ඒ දෙවියන් කියලා දැන් මං දන්නවා. අධි තාක්ෂණික අණ්වීක්ෂ පාවිච්චි කරලා සෛල නිරීක්ෂණය කරද්දී මං දැක්කේ, අවශ්‍ය නම් තප්පර ගාණක් ඇතුළත සෛල විනාශ කරගන්න සෛලවලටම හැකියාවක් තියෙනවා කියලා. ඒ ක්‍රියාවලිය නම් හරිම පුදුමාකාරයි!

මැරෙන හැම සෛලයක් ගාණෙම තවත් සෛලයක් හැදෙනවා. ඒ අනුව මිනිස්සුන්ට නොමැරී ජීවත් වෙන්න පුළුවන් කියන එක වෙන්න බැරි දෙයක් නෙමෙයි

එතකොට දෙවියන් ගැනයි දුක් වේදනා ගැනයි ඔයාට තිබුණ ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණේ කොහෙන්ද?

යෞවනයෝ දෙන්නෙක් 1991දි අපේ ගෙදරට ආවා. එයාලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. අපි මැරෙන්නේ ඇයි කියලා එයාලගෙන් ඇහුවාම එයාලා මට පෙන්නුවේ ‘එක මිනිසෙක් පව් කළ නිසා හැමෝටම පව්කාර ස්වභාවය ඇතුල් වෙලා ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මිනිස්සු මැරෙනවා’ කියන බයිබල් පදේ. (රෝම 5:12) ඒ කියන්නේ දෙවියන් අපිව නිර්මාණය කළේ මැරෙන්න නෙමෙයි. මුල් මිනිසා පව් කළේ නැත්නම් අපිට නොමැරී ජීවත් වෙන්න තිබුණා. පර්යේෂණවලින් ඉගෙනගත්ත දේවල් ඒකට එකඟයි කියලා මට ඒ වෙලාවේ තේරුණා. මොකද මැරෙන හැම සෛලයක් ගාණෙම තවත් සෛලයක් හැදෙනවා. ඒ අනුව මිනිස්සුන්ට නොමැරී ජීවත් වෙන්න පුළුවන් කියන එක වෙන්න බැරි දෙයක් නෙමෙයි.

බයිබලය දෙවියන්ගේ පොතක් කියන එක ඔයාට තහවුරු වුණේ කොහොමද?

ගීතාවලිය 139:16 කියන්නේ ‘මා කලලයක්ව සිටියදී, මාගේ අවයව සෑදෙන්නත් කලින් ඒ සියල්ල ගැන තොරතුරු ඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබුණා’ කියලයි. සෛලවල ලියවිලා තියෙන තොරතුරු ගැන මං දන්නෙ විද්‍යාඥයෙක් හැටියට ඒවා අධ්‍යයනය කරන හින්දයි. ඒත් එදා හිටපු බයිබල් ලේඛකයා කොහොමද ඒ ගැන දන්නේ. මේ වගේ තවත් දේවල් ඉගෙනගද්දී මට තේරුණා බයිබලය ලියලා තියෙන්නේ දෙවිගේ මැදිහත් වීමෙන්මයි කියලා.

ඔය දේවල් කොහොමද ඔයා ඉගෙනගත්තේ?

බයිබලයේ තියෙන දේවල් තවත් ඉගෙනගන්න කැමතිද කියලා දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් මගෙන් ඇහුවා. දෙවියන් දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලත් ඔහු ළඟදීම ‘මරණය සදහටම ගිල දමන්න’ යනවා කියලත් මම එයාලගෙන් ඉගෙනගත්තා. (යෙසායා 25:8) අපේ සෛල කිසිම අඩුවක් නැතුව තිතටම ක්‍රියාත්මක වෙන්න සලස්වන එක අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන්ට මහ දෙයක් නෙමෙයි. නොමැරී හැමදාම ජීවත් වෙන්න එදාට අපිට පුළුවන්.

බයිබලෙන් ඉගෙනගත්ත දේවල් ඔයා අනිත් අයට කියලා දෙනවාද?

ඔව්. මම 1995දී සාක්ෂිකරුවෙක් වුණා. ඒ කාලේ ඉඳන්ම ඉගෙනගත්ත දේවල් අනිත් අයට කියලා දෙනවා. මගේ යාළුවෙක්ගේ සහෝදරයෙක් සියදිවි හානි කරගත්තා. ඒකෙන් පස්සේ මගේ යාළුවා හිටියේ ලොකු කම්පනයකින්. පල්ලියේ පූජකයා එයාට කියලා තියෙන්නේ එහෙම කරගන්න අයට දෙවියන්ගෙන් කිසිම සමාවක් නැහැ කියලයි. ඒත් මං එයාට බයිබලෙන් පෙන්නුවා යෙහෝවා දෙවි මැරුණු අයව නැවත ජීවත් කරවනවා කියන දෙවිගේ පොරොන්දුව ගැන. (යොහන් 5:28, 29) අපිව නිර්මාණය කරපු දෙවියන් අපේ හැඟීම් ගැන කොච්චර සැලකිලිමත්ද කියලා දැනගත්තම එයාට දැනුණේ පුදුම සහනයක්. කාට හරි මේ විදිහට උදව් කරන්න ලැබෙනකොට විද්‍යාව හදාරලා ලබන සතුටට වඩා සතුටක් මට දැනෙනවා.