Skip to content

පටුනට යන්න

පිබිදෙව්! නූපන් දරුවෙකුගේ ජීවිතයක් බේරාගනියි

පිබිදෙව්! නූපන් දරුවෙකුගේ ජීවිතයක් බේරාගනියි

පිබිදෙව්! නූපන් දරුවෙකුගේ ජීවිතයක් බේරාගනියි

● මෙක්සිකෝවේ ජීවත් වන ඇනීටා නමැති තිදරු මවට නැවතත් දරුවෙකු ලැබෙන්න සිටියා. * තමන්ට තවත් දරුවෙකු අවශ්‍ය නැති බවත් කුසේ සිටින බිලිඳාව නැති කිරීමට තමන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් බවත් ඇය තම ස්වාමිපුරුෂයාට පැවසුවා. ඒ වගේම තම ජීවිතය පවා නැති කරගන්නා බවටද ඇය තර්ජනය කළා! ඒ වන විට ඇය යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් සමඟ බයිබලය ගැන ඉගෙනගනිමින් සිටියත් ඇය ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වූයේ නැහැ. “මම ඒ කාලේ අනික් අය කියන දේ අහන්න කැමති කෙනෙක් නෙවෙයි” කියා ඇය පැවසුවා.

ඇයට බයිබලය ගැන කියා දුන් සාක්ෂිකාරිය ගබ්සාව පිළිබඳ බයිබලයේ සඳහන් දේ ඇනීටාට පෙන්වූවා. උදාහරණයකට නූපන් බිලිඳෙකුගේ ජීවිතය පවා යෙහෝවා දෙවිට ඉතාමත් අනර්ඝ බව ඇය පැහැදිලි කළා. එමෙන්ම එදා කවුරුන් හෝ ඊශ්‍රායෙලයේ සිටි ගැබිනි මවකට අනතුරක් සිදු කළොත් හෝ ඉන් ඇය හෝ ඇගේ නූපන් දරුවා මිය ගියහොත් දෙවිගේ නීතියට අනුව ඔහු මිනීමරුවෙකු වන බව ඇය පැහැදිලි කළා. (නික්මයාම 21:22, 23) * නමුත් ඒ වන විටත් බිලිඳාව නැති කිරීමට ඇය තීරණය කර තිබූ නිසා ඒ ගැන කිසි තැකීමක් කළේ නැහැ.

ඇනීටා මෙසේද පවසනවා. “බිලිඳාව ඉක්මනින්ම නැති කරන්න පුළුවන් විශේෂ බෙහෙතක් ගැන මට එක් කෙනෙක් කිව්වා. ඉතින් මම ඒ බෙහෙත අරගෙන ඒක මට එන්නත් කරන්න කියලා යාළුවෙකුට කිව්වා. ඔහු ඒක කළත් කිසි වෙනසක් වුණේ නැහැ. ඊට හේතුව ඒ අපරාධයට හවුල් වෙන්න ඔහු අකමැති වූ නිසා ඒ සිරින්ජරයට වතුර පුරවා මට එන්නත් කළ බව මම පසුව දැනගත්තා.”

ඒ වුණත් බිලිඳාව නැති කිරීමේ අදහස ඇය අත්හැරියේ නැහැ. කුසට මාස හතරක්ව තිබියදී ගබ්සාව සිදු කිරීමට වෛද්‍යවරයෙක් එකඟ වුණා. නමුත් ඒ සඳහා යෑමට දින හයකට පෙර ඉහත සඳහන් සාක්ෂිකාරිය ඇනීටාට 1980 මැයි 22 පිබිදෙව්! කලාපයේ සඳහන් “නූපන් දරුවෙකුගේ දිනපොත” (සිංහලෙන් නැත) යන ලිපිය පෙන්වූවා. එහි අවසන් වාක්‍යයේ මෙසේ සඳහන් වුණා. “අද මගේම අම්මා මාව මැරුවා.” ඒ වචනවලින් ඇගේ සිත සලිත වී ගිය අතර ඇය පැය කිහිපයක් යන තුරු හොඳටම ඇඬුවා. “ඇත්තටම මගේ ඇස් ඇරුණේ ඒ ලිපිය නිසයි” කියා ඇය පැවසුවා.

අවසානයේදී ඇනීටා ලස්සන සෞඛ්‍ය සම්පන්න දුවෙක් බිහි කළා. “මට යෙහෝවා දෙවි ගැන දැනගන්න ලැබිලා තියෙන නිසා මගේ මුළු හදවතින්ම දෙවිට ප්‍රේම කරන්න දැන් මට පුළුවන්” කියා ඇය පැවසුවා. දැන් ඇය යෙහෝවා දෙවි ගැන ඇගේ දියණියටද උගන්වන්නේ ඇය තුළත් යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රේමයක් ඇති කිරීමටයි. ඒ වගේම ඇගේ දියණියත් තම ජීවිතය වෙනුවෙන් යෙහෝවා දෙවිට ණයගැති බව යටහත්පහත්ව පිළිගන්නවා. ඊට මූලික හේතුව ජීවිතයේ උල්පත යෙහෝවා දෙවි නිසයි. අනික් හේතුව නම් පිබිදෙව්! සඟරාවේ සඳහන්ව තිබූ ජීවිතය හා සම්බන්ධ දෙවිගේ ප්‍රතිපත්ති නිසයි.

[පාදසටහන්]

^ 2 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 3 ඡේ. එම බයිබල් වගන්තියේ සඳහන් ‘දරුණු අනතුරක්’ යන අදහස මුල් හෙබ්‍රෙව් භාෂාවේ සඳහන් වන්නේ මව හෝ දරුවා මිය යෑම ලෙසයි.