Skip to content

පටුනට යන්න

කුස පුරවන සිත පිනවන ඉරිඟු

කුස පුරවන සිත පිනවන ඉරිඟු

කුස පුරවන සිත පිනවන ඉරිඟු

ඉරිඟු වගා කරන්නෙක් වන හාලන් මෑතක් වනතුරුම එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ එක්තරා ප්‍රදේශයක ඉරිඟු වගාව සරුවට කරගෙන ගියා. ඔහුට ඉරිඟු ගැන කතා කරනවාට වඩා තවත් දෙයක් නැහැ. ඒ නිසා පිබිදෙව්! සඟරාවේ පාඨකයන් සමඟත් ඒ ගැන යම් තොරතුරු ටිකක් බෙදාගන්න අපි හාලන්ට ආරාධනා කළා. ඒ වගේම ඒ ශාකයේ තවත් අරුම පුදුමයන් ගැන මේ ලිපිය පුරාම කතා කරනවා. එනම්, ඉරිඟු පැළෑටියේ ආරම්භය, එහි ව්‍යාප්තිය හා ඉන් ඇති ප්‍රයෝජන වැනි දේවල්. ඒ සම්බන්ධයෙන් හාලන් දැක්වූ අදහස් කිහිපයක් දැන් අපි සලකා බලමු.

ඉරිඟු පැළ කතා කරන අයුරු

“මට නම් ඉරිඟු පැළය කියන්නේ හුඟක් ලස්සන දෙයක්. ඒකේ කරල්, කොළ, ඇට, පුදුම රටාවකට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි හරියට පුංචි ළමයෙක් අඬලා එයාට අවශ්‍ය දේ ඉල්ලනවා වගේ තමන්ට අවශ්‍ය දේවල් ඉරිඟු පැළේ කතා කරලා ඉල්ලනවා. ඒ කොහොමද? පැළයට අවශ්‍ය ජලය සහ පෝෂණය හරියට ලැබෙන්නේ නැත්නම් කොළවල පැහැය හා හැඩය වෙනස් කිරීමෙන් පැළය ඒ බව දන්වනවා. එමගින් ඊට අවශ්‍ය දේ ගොවියා තේරුම්ගන්නවා.

“ඒ වගේම පැළයකට අවශ්‍ය ෆොස්ෆේට් ප්‍රමාණය අඩු වුණොත් එහි කොළවල රතට හුරු දම් පාට ලප මතු වෙනවා. මැග්නීසියම්, නයිට්‍රිජන් හා පොටෑසියම් ප්‍රමාණය අඩු වීමෙන්ද ඒ හා සමාන වෙනත් ලක්ෂණ මතු කර පෙන්වනවා. ඒ විතරක් නොවෙයි යම් පැළයකට රෝගයක් වැලඳිලාද නැත්නම් යම් රසායනික ද්‍රව්‍යයකින් හානි වෙලාද කියලත් පැළයක් දිහා බැලීමෙන් ගොවියාට දැනගන්න පුළුවන්.

“මම සාමාන්‍යයෙන් ඉරිඟු වගා කරන්නේ වසන්ත කාලයේදීයි. ඒ කාලයේදී පසේ තියෙන උෂ්ණත්වය පැළයට මුල් ඇදීමට උපකාරවත් වෙනවා. ඉන්පස්සේ පැළය මාස පහක් හයක් යද්දී අඩි හයක් විතර උසට සම්පූර්ණයෙන්ම වැඩෙනවා.

“ඉරිඟු පැළයක් සාමාන්‍යයෙන් වැඩෙන්නේ අදියරෙන් අදියරයි. මුල් අදියරේදී පැළයක කොළ පහක් පමණ දකින්න ලැබෙනවා. ඒ අවස්ථාවේදී මුල් මගින් පස ගැන සොයා බැලීමක් කරනවා. එයින් ලැබෙන තොරතුරු මත තමයි තීරණය වෙන්නේ ඉරිඟු බඩයේ ප්‍රමාණය සහ පේළි සංඛ්‍යාව. ඉන්පස්සේ ශාකයේ කොළ 12ත් 17ත් අතර ප්‍රමාණයක් හටගනිද්දී ඒ කියන්නේ දෙවන අදියරේදී නැවතත් ශාකයේ මුල් මගින් පස ගැන සොයා බලනවා. එමගින් කොතරම් ඉරිඟු ඇට ප්‍රමාණයක් හටගන්නවාද කියා නිශ්චය කරගන්න ශාකයට පුළුවන්. මේ තුළින් සිදු වෙන්නේ පසෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න ශාකය මගින් සැලසුම් කිරීමයි. දැන් අපි ඉරිඟු ශාකයේ බෝවීම ගැන තොරතුරු කිහිපයක් කතා කරමු.”

ඉරිඟු බෝ වන්නේ කෙසේද?

“සෑම ඉරිඟු පැළයකම පිරිමි කොටස සහ ගැහැනු කොටස ලෙස කොටස් දෙකක් තිබෙනවා. පැළයේ ඉහළ කොටස පිරිමි කොටසයි. ඒකේ හීන් දිගටි මලක් තිබෙනවා. එහි පරාගධානි 6,000ක් පමණ තිබෙනවා. ඒවායේ තමයි පරාග කණිකා සෑදෙන්නේ. එම පරාගධානි සියුම් කුඩු වැනි පරාග කණිකා මිලයන ගණනකින් සමන්විතයි. පරාගනය සිදු වන කාලයේදී සුළගින් එම පරාග කණිකා වෙනත් ඉරිඟු පැළයක පහළ කොටසේ තිබෙන ඩිම්බ කෝෂ මත තැන්පත් වෙනවා.

“එම පරාග කණිකා ඩිම්බ කෝෂ මත තැන්පත් වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ඉරිඟු කරලක් හටගන්න කලින් දකින්න තියෙන්නේ ආවරණයක් තුළ කෙඳි විශාල ප්‍රමාණයක් පමණයි. එම කෙඳි හුඟක් සියුම් වන අතර ඒවා සුදු පාටයි. එම කෙඳි ආරම්භ වෙන්නේ කරලේ පහළ කොටසේ සිට බව ඒ දෙස හොඳින් බැලුවොත් ඔබට පෙනෙයි.

“ඒ සෑම කෙන්දක්ම එම ආවරණයේ පහළ පිහිටා ඇති ඩිම්බවලට සම්බන්ධ වී තිබෙනවා. එම ආවරණය ඉහළින් පෙනෙන කෙඳි මත පරාග රැඳුණු විට ඒවා එම කෙඳි දිගේ පහළට පැමිණනවා. ඊටපස්සේ ඒවා ඩිම්බ කෝෂ මත තැන්පත් වෙනවා. පසුව ඉරිඟු කරලේ මදය වර්ධනය වෙන්න පටන්ගෙන ඒ එක් එක් ඩිම්බ කෝෂයෙන් ඉරිඟු ඇට හටගන්නවා.

“ඉරිඟු කරලේ සමහර තැන්වල ඇට දකින්න ලැබෙන්නේ නැහැ. ඊට හේතුව ඒවායේ පරාගනය සිදු වී නැති වීම හෝ නිසි කාලයේදී එය වර්ධනය වී නොමැති වීමයි. සමහරවිට එසේ වීමට පසෙහි තෙතමනය අඩුකම බලපාන්න පුළුවන්. ඒ තත්වය ගොවියා හොඳින් අවබෝධ කරගෙන තිබුණොත් ඊට පිළියමක් යොදා ඔහුගේ අස්වැන්න සරු කරගැනීමට ඔහුට හැකි වෙනවා. කොහොමවුණත් මම නම් කළේ බෝග මාරු ක්‍රමයට අවුරුදු පතා ඉරිඟු සහ සෝයා බෝංචි මාරුවෙන් මාරුවට වගා කිරීමයි. සෝයා බෝංචි රනිල කුලයට අයත් ශාකයක් නිසා එයින් පසට අවශ්‍ය නයිට්‍රිජන් ලබාගන්න පුළුවන් වගේම වගාව විනාශ කරන කෘමීන්ගෙන් ආරක්ෂා කරගන්නත් පුළුවන්. *

“අවසානයේදී දෑතේ වීරියෙන් කළ ඉරිඟු වගාවේ පල දකින විට මට දැනෙන සතුට කියා නිම කරන්න බැහැ. ඉරිඟු වගේම වෙනත් ගස් දිහා බලද්දී ඒවා කොතරම් අපූරු නිර්මාණයන්ද කියලා මට හිතෙනවා. ඇත්තටම ඉරිඟු ගැන තියෙන මගේ දැනුම කොතරම් අල්පද!”

හාලන් පැවසූ දෙයින් ඔබට ඉරිඟු පිළිබඳව තවත් තොරතුරු දැනගන්න ආශාවක් ඇති වුණාද? එසේනම් ඒවායේ ඉතිහාසය හා ඉන් ඇති අපමණ ප්‍රයෝජන ගැන දැන් අපි සලකා බලමු.

එතරින් මෙතරට!

ඉරිඟු පැළෑටිය මුලින්ම වගා කළේ මෙක්සිකෝවේ කියා සිතිය හැකියි. ඉන්පසුව එය මුළු ලොව පුරාම ව්‍යාප්ත වුණා. ඈත අතීතයේදී පේරූ වැසියන් ඉරිඟු දේවතාවියකට වන්දනාමාන කළා. ඔවුන් එම දේවතාවියට ඉරිඟු කරල්වලින් සෑදූ ඔටුන්නක් පළඳවා තිබුණා. ලේඛකයෙක් වූ ජෝසෆ් කාස්ට්නර් අමෙරිකාවේ වෙසෙන ඉන්දියානුවන් ගැන මෙසේ පැවසුවා. ‘ඔවුන් ඉරිඟු දේවත්වයෙන් සැලකුවා. ඒ වගේම ඔවුන් සිතුවේ ඔවුන්ව මවා තිබෙන්නේ ඉරිඟුවලින් කියායි. එක් ඉරිඟු පැළයකින් මිනිසෙකුට දිනකට අවශ්‍ය ආහාර පහසුවෙන්ම සපුරාගන්න පුළුවන්. ඒවා වගා කරන්නත් වැඩි වියදමක් යන්නේ නැහැ.’ කෙසේවෙතත් ලතින් අමෙරිකානුවන් නම් ඔවුන්ගේ ආහාර වේල්වලට ඉරිඟුවලට අමතරව බෝංචිද එක් කරගන්නවා.

වර්ෂ 1492දී දේශ ගවේෂකයෙක් වූ ක්‍රිස්ටෝපර් කොලම්බස් අමෙරිකාවට පැමිණීමෙන් පසුව ඔහු ඉරිඟු බීජ යුරෝපයට හඳුන්වා දුන් අතර පසුව යුරෝපීයන් අතරත් ඉරිඟු ජනප්‍රිය වෙන්න පටන්ගත්තා. කොලම්බස්ගේ පුත්‍රයා වූ ෆර්ඩිනෑන්ඩ් ඔහුගේ එක් පොතක සඳහන් කළ පරිදි තම්බා ගැනීමෙන්, බැදගැනීමෙන් හෝ පිටි කරගැනීමෙන් භාවිතයට ගත හැකි ඉතා රසවත් ධාන්‍ය වර්ගයක් ඔහුගේ පියා දැක තිබුණා. කොලම්බස් එම බීජ තම රටට රැගෙන ගිය අතර ඉන්පසුව ඒවා ව්‍යාප්ත වූ ආකාරය ගැන ජෝසෆ් කාස්ට්නර් මෙවැනි දෙයක් පැවසුවා. ‘වර්ෂ 1500 මැදභාගය වන විට ඉරිඟු ස්පාඤ්ඤයේ පමණක් නොව බල්ගේරියාව සහ තුර්කියේ පවා වගා කරන්න පටන්ගත්තා. වහල් සේවයේ සිටි අය ඒවා අප්‍රිකාවටත් පසුව පිලිපීනය හා ආසියාවටත් රැගෙන ගියා.’ අවසානයේදී ලොව පුරාම ඉරිඟු වගාව පුදුමාකාර ලෙස ව්‍යාප්ත වුණා.

අද ලොව වැඩියෙන්ම භාවිත වන ධාන්‍ය අතුරින් දෙවන ස්ථානය හිමි කරගෙන ඇත්තේ ඉරිඟුයි. පළමුවන ස්ථානයේ වැජඹෙන්නේ තිරිඟු වන අතර හාල්වලට හිමිව ඇත්තේ තෙවන ස්ථානයයි. ඒ ධාන්‍ය වර්ග තුන ලොව පුරා වෙසෙන මිනිසුන්ගේ ප්‍රධාන ආහාර වේලට හිමිකම් කියන අතර සතුන්ගේද කුස පිරවීමට එමගින් හැකි වී තිබෙනවා.

වෙනත් තෘණ විශේෂ මෙන් ඉරිඟුද විවිධ වර්ගවලින් දැකගන්න පුළුවන්. අමෙරිකාවේ පමණක් වර්ග 1,000කට වඩා වැඩි ගණනක්ද, දෙමුහුම් කළ ඉරිඟු වර්ගද දකින්න ලැබෙනවා. සමහර ගස් උසින් අඩි දෙකක් පමණ වන අතර තවත් සමහර ගස් අඩි 20ක් තරම් උසට වැඩෙනවා. සමහර කරල් අඟල් දෙකක් තරම් කුඩා වන අතර තවත් සමහර ඒවා අඩි දෙකක් තරම් විශාල වෙනවා. දකුණු අමෙරිකාවේ වැඩෙන එක් ඉරිඟු වර්ගයක් ගැන එක් පොතක සඳහන් වූ ආකාරයට ඒවා රග්බි ක්‍රීඩාවට භාවිත කරන බෝලයක් තරම් විශාලයි. අඟලක් පමණ වන පැතළි ඉරිඟු ඇට එහි දකින්න ලැබෙන අතර බොහෝ ඇට දිගටි ඒවායි.—Latin American Cooking.

ඉරිඟු කරල් සාමාන්‍යයෙන් කහ පැහැති වුණත් රතු, නිල්, රෝස සහ කලු යන වර්ණවලින්ද දැකගන්න පුළුවන්. සමහර කරල්වල ඇති ඇටවල වර්ණ නිසා එහි විවිධ රටා නිර්මාණය වී තිබෙන ආකාරයක් දැකගන්න පුළුවන්. සමහර මිනිසුන් එවැනි විවිධ වර්ණයන්ගෙන් යුත් ඉරිඟුවලින් පිසූ කෑම වේලක රස බලනවා වෙනුවට වැඩි කැමැත්තක් දක්වන්නේ ආකර්ෂණීය විසිතුරු භාණ්ඩ නිර්මාණය කිරීමටයි.

ඉරිඟුවලින් ඇති ප්‍රයෝජන

ලොව පුරා විවිධ රසයන්ගෙන් යුත් ඉරිඟු වර්ග ගණනාවක් දකින්න ලැබෙනවා. ඒ අතරින් එක්තරා ඉරිඟු වර්ගයක් (sweet corn) ඉතාමත් පැණි රසයි. එය එසේ සිදු වෙන්නේ එහි සෛලවල සිදු වන රසායනික ක්‍රියාවලියක් නිසයි. එහිදී සිදු වෙන්නේ සෛලවල නිපදවන ග්ලූකෝස්, පිෂ්ඨය බවට පරිවර්තනය වීම යම්තාක් දුරට අඩුවීමයි. ලොව පුරාම ඉරිඟුවලින් සියයට 60ක් පමණ සතුන්ගේ ආහාර සඳහාද සියයට 20ක් පමණ මිනිසුන්ගේ පරිභෝජනය සඳහාද ඉතිරිය කර්මාන්ත සඳහාද භාවිත වෙනවා. නමුත් එම ප්‍රතිශතයන් රටින් රටට වෙනස් විය හැකියි.

ඉරිඟුවලින් ප්‍රයෝජන රැසක් ලබාගත හැකියි. විවිධ ආහාර නිෂ්පාදනය කිරීම සඳහා ඉරිඟු ඇට හෝ ඉන් ලබාගන්නා කොටස් බෙහෙවින් ප්‍රයෝජනයට ගන්නවා. ඒ විතරක් නොවෙයි ඉරිඟු, එතනොල් වැනි ජීව ඉන්ධන නිෂ්පාදනය සඳහාද යොදාගන්නවා. මහඟු ප්‍රයෝජන ගෙන දෙන ඉරිඟු ගසේ අපි නොදත් දේ තව කොතරම් ඇද්ද!

[පාදසටහන]

[11වන පිටුවේ කොටුව]

දෙමුහුම් කළ ඉරිඟු

විශාල අස්වැන්නක් ලබාගැනීම සඳහා බොහෝ රටවල වෙසෙන ගොවීන් දෙමුහුම් කළ ඉරිඟු වගා කරනවා. දෙමුහුම් කිරීම සඳහා ඉතා සැලකිල්ලෙන් තෝරාගත් ඉරිඟු ප්‍රභේද දෙකක් මුහුම් කරනු ලබනවා. නමුත් එසේ දෙමුහුම් කිරීමෙන් ලබාගන්නා ඉරිඟු ශාකවල බීජ ඊළඟ වාරයේ වගාව සඳහා භාවිත කළ නොහැකියි. ඒ නිසා සෑම වාරයකදීම ගොවියාට බීජ මිල දී ගන්න සිදු වෙනවා. ඊට හේතුව දෙමුහුම් කළ ඉරිඟු ශාකයකින් ලබාගන්නා බීජ නැවත වගා කිරීමෙන් සරු හා ගුණාත්මක අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැකි වීමයි.

[10වන පිටුවේ පින්තූර]

ලොව පුරා ඉරිඟු වර්ග සිය ගණනක් දකින්න ලැබෙනවා

[හිමිකම් විස්තර]

Courtesy Sam Fentress

Courtesy Jenny Mealing/​flickr.com