Skip to content

පටුනට යන්න

අද්විතීය පොතක්

අද්විතීය පොතක්

“මෙතෙක් වැඩියෙන්ම බෙදාහැර තිබෙන පොත බයිබලයයි.”—The World Book Encyclopedia.

අවුරුදු 550කට වඩා ඉහත දී යොහැනස් ගුටන්බර්ග් නම් ජර්මානු ජාතිකයා විසින් අකුරු අතින් අමුණා මුද්‍රණය කිරීමේ ක්‍රමය ලොවට හඳුන්වා දුන්නා. ඉන්පසු ඔහුගේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කළ පළමුවෙනි පොත වුණේ බයිබලයයි. එදා පටන් විවිධ විෂයන් ඇතුළත් පොත් බිලියන ගණන් බිහි වී තිබෙනවා. නමුත් බයිබලය ඒ සෑම පොතකටම වඩා අද්විතීයයි.

  • බයිබලය සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් බිලියන 4.7කට වඩා වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බව ගණන් බලා තිබෙනවා. මෙය ලොව වැඩියෙන්ම බෙදාහරින අනික් පොත වන මාඕ ට්සේටුගේ පුංචි රතු පොතට වඩා පස් ගුණයකින් වැඩියි.

  • මෑතක සිට වසරක් ඇතුළත පිටපත් මිලියන 50කට වඩා වැඩියෙන් බයිබලය සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් බෙදාහැර තිබෙනවා. “සෑම වසරකම වාගේ වැඩියෙන්ම අලෙවි වෙන පොත බයිබලය” බව එක් සඟරාවක වාර්තා වෙනවා.—එම සඟරාව The New Yorker.

  • බයිබලය සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් භාෂා 2,400කට වඩා වැඩි සංඛ්‍යාවකට පරිවර්තනය කර තිබෙනවා. මේ අනුව ලෝකයේ ජීවත් වන අයගෙන් සියයට 90කට වඩා වැඩිදෙනෙකුට තමන්ගේම භාෂාවෙන් බයිබලය කියවීමට හැකියාව ලැබී තිබෙනවා.

  • බයිබලයට ඇතුළත් වන පොත් 66න් අඩක්ම වාගේ ලියා අවසන් කර තිබෙන්නේ චීන දාර්ශනිකයෙක් වන කොන්ෆියුසියස් හා බුදු දහමේ කර්තෘ වන ගෞතම බුදුන් ඉපදීමටත් පෙරයි.

  • බයිබලය ආශ්‍රයෙන් ලොව ප්‍රසිද්ධ සාහිත්‍ය කෘති, ගීත හා චිත්‍ර බොහොමයක් බිහි වී තිබෙනවා.

  • බයිබලයක් ළඟ තබාගැනීම සමහර ආණ්ඩු විසින් තහනම් කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි එහි ඉගැන්වීම් විවේචනයට පවා ලක් වී තිබෙන අතර ආගමික විරුද්ධවාදීන් විසින් පුළුස්සා දමාද තිබෙනවා. මෙවැනි විරුද්ධවාදිකම් මැද වුවත් අද වන තුරුම බයිබලය ආරක්ෂා වී තිබීම පුදුමයට හේතුවක් නොවෙයිද!

ඉහත සඳහන් කළ තොරතුරු අපේ සැලකිල්ලට ගැනීම වටින්නේ නැද්ද? එවැනි සිත්ගන්නා තොරතුරු මෙන්ම සංඛ්‍යාලේඛන මගින් පමණක් බයිබලය විශ්වාස කිරීමට හැකි පොතක් බව තහවුරු වෙන්නේ නැහැ. නමුත් මිලියන ගණනක් මිනිසුන් බයිබලය විශ්වාස කිරීමට හේතු පහක් අප ඊළඟ ලිපිවලින් සලකා බලමු.