Skip to content

පටුනට යන්න

ඒලියස් හියුටර් හෙබ්‍රෙව් භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ අපූරු බයිබල්

ඒලියස් හියුටර් හෙබ්‍රෙව් භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ අපූරු බයිබල්

කවදාහරි දවසක ඔයා හෙබ්‍රෙව් බයිබලයක් කියවලා තියෙනවාද? සමහරවිට ඔයා හෙබ්‍රෙව් බයිබලයක් දැකලාවත් නැතුව ඇති. ඒ කොහොම වුණත් 16වෙනි සියවසේ විශාරදයෙක් වුණ ඒලියස් හියුටර් සංස්කරණය කළ හෙබ්‍රෙව් බයිබල් දෙක ගැන විස්තර දැනගත්තාම බයිබලය ගැන ඔයාගේ අගය තවත් වැඩි වෙයි.

ඒලියස් හියුටර් ඉපදුණේ 1553 ජර්මනියේ කුඩා නගරයක් වන ගෝර්ලිට්ස්වලදී. දැන් ඒ නගරය තියෙන්නේ පෝලන්තය සහ චෙක් ජනරජයේ දේශ සීමාවට කිට්ටුවෙන්. ඔහු ජීනාවල ලූතරන් විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා හැදෑරුවා. අවුරුදු 24ක් වෙද්දී ඔහු ලිප්සිග්වල හෙබ්‍රෙව් භාෂාව සම්බන්ධයෙන් මහාචාර්යවරයෙක් විදිහට පත් වුණා. හියුටර් ඉගනගන්න පහසු අලුත් ක්‍රම හඳුන්වා දුන්නා. නියුරම්බර්ග්වල ඔහු ආරම්භ කළ පාසැල ඒකට හොඳ උදාහරණයක්. ඒ පාසැලෙන් ඔහු හෙබ්‍රෙව්, ග්‍රීක, ලතින් සහ ජර්මන් කියන භාෂා 4 අවුරුදු 4ක් තරම් කෙටි කාලයක් ඇතුළත ඉගෙනගන්න පහසු ක්‍රමයක් හඳුන්වලා දුන්නා. වෙන කිසිම පාසැලකින්වත් විශ්වවිද්‍යාලයකින්වත් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වුණේ නැහැ.

“අපූරු සංස්කරණයක්!”

1587දී හියුටර් ප්‍රකාශයට පත් කළ හෙබ්‍රෙව් බයිබලයේ පළවෙනි පිටුව

1587දී හියුටර් බයිබලයේ පරණ ගිවිසුම විදිහට හඳුන්වන කොටස හෙබ්‍රෙව් භාෂාවෙන් ප්‍රකාශයට පත් කළා. ඔහු ඒකට “ශුද්ධ මඟ” කියන තේරුම තියෙන ‘ඩෙරෙක් හා කෝදෙෂ්’ යන නම දැමුවා. ඒ නම අරන් තියෙන්නේ යෙසායා 35:8න්. විවිධ අකුරු රටා නිසා ඒ සංස්කරණය තවත් ලස්සන වුණා. හුඟදෙනෙක් කිව්වේ “ඒක ඇත්තටම අපූරු සංස්කරණයක්!” කියලා. ඒත් ඒ සංස්කරණය විශේෂ වුණේ ශිෂ්‍යයන්ට ඒක පාවිච්චි කරලා හරිම ලේසියෙන් හෙබ්‍රෙව් භාෂාව ඉගෙනගන්න පුළුවන් වුණ නිසයි.

අලුතෙන් හෙබ්‍රෙව් භාෂාව ඉගෙනගන්න කෙනෙක්ට තියෙන අභියෝග 2ක් ගැන බලමු. පළවෙනි එක, හෙබ්‍රෙව් හෝඩිය වෙනස් වගේම නුහුරු එකක් වීම. දෙවෙනි එක, වචනයක මුලට සහ අගට එකතු වෙන උපසර්ග සහ නිපාත වගේ පද යෙදීම නිසා ප්‍රධාන වචනය වෙන් කර හඳුනගන්න බැරි වීම. උදාහරණයකට “ජීවය” කියන මූලික අදහස ඇති නෙෆෙෂ් (נפשׁ) කියන හෙබ්‍රෙව් වචනය ගැන බලමු. එසකියෙල් 18:4 ඒකට “හා” (ה) කියන පදය එකතු කර “හන්-නෙෆෙෂ්” (הנפשׁ) කියලා යොදලා තියෙනවා. ඒකේ අදහස “ජීවිතය” කියන එකයි. හෙබ්‍රෙව් භාෂාව අලුතෙන්ම ඉගෙනගන්න කෙනෙක්ට හිතෙන්නේ “හන්-නෙෆෙෂ්” (הנפשׁ) කියන්නේ අලුත්ම වචනයක් කියලා මිසක් නෙෆෙෂ් කියන වචනයෙන් ආපු එකක් කියලා නෙවෙයි.

හියුටර් තමන්ගේ ශිෂ්‍යයන්ට භාෂාව ඉගෙනගන්න පහසු වෙන විශේෂ මුද්‍රණ තාක්ෂණයක් හොයාගත්තා. ඔහුගේ සංස්කරණයේ ප්‍රධාන වචනය තද පාටිනුත් උපසර්ග සහ නිපාත පද ලා පාටිනුත් මුද්‍රණය කරලා තියෙනවා. මේ නිසා හෙබ්‍රෙව් භාෂාවේ ප්‍රධාන වචන මොනවාද කියලා වෙන් කරලා හඳුනගන්නත් භාෂාව ලේසියෙන් ඉගෙනගන්නත් පුළුවන් වුණා. යොමු සටහන් සහිත ඉංග්‍රීසි බයිබලයේ (‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’) ඒ හා සමාන ක්‍රමයක් යොදාගත්තා. ඒ බයිබලයේ පාදසටහන්වල සහ හියුටර්ගේ සංස්කරණයේ එසකියෙල් 18:4 සඳහන් වෙන විදිහ පින්තූරයෙන් පෙන්වලා තියෙනවා.

“අලුත් ගිවිසුම” හෙබ්‍රෙව් භාෂාවෙන්

ඔහු 1599 නියුරම්බර්ග්වලදී බයිබලයේ අලුත් ගිවිසුම කියන කොටස සංස්කරණය කළා. ඒකට භාෂා 12ක් ඇතුළත් කර තිබුණා. (නියුරම්බර්ග් පොලිග්ලෝට්) ඒ වගේම හියුටර්ට ඕන වුණා හෙබ්‍රෙව් භාෂාවෙනුත් පරිවර්තනයක් ඒකට ඇතුළත් කරන්න. ඒත් “මුළු සේසතම දුන්නත්” ඒ වගේ පරිවර්තනයක් හොයාගන්න නම් බැරි වෙයි කියලා ඔහු කිව්වා. * අන්තිමට ඔහුම ඒක පරිවර්තනය කරන්න තීරණය කළා. අනිත් හැම වැඩක්ම පැත්තකට දාලා ඒ වැඩේට අවධානය දුන්න නිසා අවුරුද්දකින් ඒක ඉවර කරන්න පුළුවන් වුණා.

හියුටර් හෙබ්‍රෙව් භාෂාවට පරිවර්තනය කළ ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ල කොයි තරම් සාර්ථක වුණාද? 1891 හිටපු විශාරදයෙක් වුණ ෆ්‍රාන්ට්ස් ඩෙලිට්ෂ් කියන්නේ මෙහෙමයි. “හෙබ්‍රෙව් භාෂාව ගැන මනා දැනුමක් ඔහුට තිබුණ බව ඔහුගේ පරිවර්තනයෙන් පැහැදිලි වෙනවා. ඔහු නිකම්ම ක්‍රිස්තියානීන්ට හුරු යෙදුම් යොදාගන්නවා වෙනුවට වඩාත්ම නිවැරදි සහ ගැළපෙන වචන යොදාගත්තා. ඒක අපේ කාලෙටත් වටින පරිවර්තනයක්.”

වටිනාකම කවදාවත් නැති වෙන්නේ නැහැ

හියුටර් මොන තරම් වෙහෙසක් දැරුවත් ඔහුගේ පරිවර්තනවලට ඒ තරම් ඉල්ලුමක් නම් තිබුණේ නැහැ. ඒත් ඔහු ප්‍රකාශයට පත් කළ බයිබල්වල වටිනාකම කවදාවත් නැති වෙන්නේ නැහැ. අලුත් ගිවිසුම හෙබ්‍රෙව් භාෂාවට පරිවර්තනය කරද්දී ඔහු යොදාගත්තේ මුල් ග්‍රීක අත්පිටපත්. හෙබ්‍රෙව් ලියවිල්ලෙන් උපුටා දක්වන තැන්වලදීත් දෙවියන් ගැන කෙළින්ම සඳහන් වෙන තැන්වලදීත් “ස්වාමීන්” (“කිරියොස්”) සහ “දෙවි” (“තෙයොස්”) කියලා සඳහන් කරනවා වෙනුවට ඔහු “යෙහෝවා” (יהוה, ය්හ්ව්හ්) කියන දෙවියන්ගේ නම ඇතුළත් කළා. බොහෝ පරිවර්තනවල අලුත් ගිවිසුමේ දෙවියන්ගේ නම සඳහන් නොවුණත් හියුටර්ගේ පරිවර්තනයේ ඒක ඇතුළත් කරලා තියෙන එක සැලකිල්ලට ගන්න ඕන දෙයක් නෙවෙයිද? ඔහු පරිවර්තනය කළ මේ අලුත් ගිවිසුම 1661දී විලියම් රොබට්සන් විසිනුත් 1798දී රිචඩ් කැඩික් විසිනුත් සංශෝධනය කර නැවත මුද්‍රණය කළා.

ඊළඟ වතාවේ ඔයා බයිබලේ ග්‍රීක ලියවිල්ල කියවද්දී යෙහෝවා කියන දෙවියන්ගේ නම දැක්කම ඒලියස් හියුටර් ප්‍රකාශයට පත් කළ අපූරු බයිබල් ගැන මතක් කරගන්න.

^ 9 ඡේ. පේන විදිහට මේ වෙද්දීත් කීපදෙනෙක් ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ල හෙබ්‍රෙව් භාෂාවට පරිවර්තනය කර තිබුණා. උදාහරණයකට බයිසැන්තියානු පැවිද්දෙක් වුණ සයිමන් ඕටියුමේනස් (1360දී පමණ) සහ ජර්මානු විශාරදයෙක් වුණ ඔස්වල්ඩ් ෂ්‍රෙකන්ෆුක්ස් (1565දී පමණ) එම ලියවිලි පරිවර්තනය කළත් ඒවා කවදාවත් ප්‍රකාශයට පත් වුණේ නැහැ. අද වෙද්දී ඒවා හොයාගන්නත් නැහැ.