Skip to content

පටුනට යන්න

අධ්‍යාපනයෙන්, සල්ලිවලින් සුරක්ෂිත අනාගතයක් ලැබෙයිද?

අධ්‍යාපනයෙන්, සල්ලිවලින් සුරක්ෂිත අනාගතයක් ලැබෙයිද?

හුඟක් අය හිතනවා විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙනගෙන උපාධියක් ගත්තොත් පවුලටත් සමාජයටත් හොඳක් වෙනවා කියලා. ඊටපස්සේ ලොකු පඩියක් හම්බ වෙන රස්සාවක් කරලා සතුටින් ඉන්න පුළුවන් කියලත් එයාලා හිතනවා.

හුඟක් අය කරන දේ

චීනයේ ජීවත් වෙන සෙන් චෙන් මෙහෙම කියනවා. “මං හිතුවේ දුප්පත්කමෙන් ගොඩ ඇවිත් සතුටින් ඉන්න විශ්වවිද්‍යාලේ ගිහින් හොඳ පඩියක් හම්බ වෙන ජොබ් එකක් කරන්න ඕනෙ කියලා.”

සමහරු අනාගතේ සුරක්ෂිත කරගන්න කියලා හිතාගෙන ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවලට, පිටරටවල තියෙන විශ්වවිද්‍යාලවලට වුණත් යනවා. ඒක රැල්ලක් වගේ එන්න එන්නම වැඩි වුණා. කොරෝනා වසංගතය ඇවිල්ලා රටවල් අතර සංචරණ සීමා වැටුණාට පස්සේ තමයි ඒක නතර වුණේ. ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය 2012දී නිකුත් කරපු වාර්තාවක කියනවා “පිටරටවලට ගිහින් ඉගෙනගන්න දරුවන් අතරින් 52%ක්ම ආසියාවෙන් ආපු අය” කියලා.

පිටරටවල්වල තියෙන විශ්වවිද්‍යාලවලට දරුවන්ව යවන්න දෙමාපියන් සෑහෙන්න කැප කිරීම් කරනවා. තායිවානයේ ජීවත් වෙන ෂිශැන්ග් ඒ ගැන කියන දේ බලන්න. “අපේ පවුලේ දරුවෝ හතරදෙනෙක් ඉන්නවා. මගේ අම්මායි තාත්තායි එච්චර පොහොසත් අය නෙමෙයි. හැබැයි එයාලා අපි හතරදෙනාවම ඇමරිකාවට යවලා ඉගැන්නුවා.” හුඟදෙනෙක් කරනවා වගේ ඒ දෙමාපියන්ටත් සිද්ධ වුණා ඒ වෙනුවෙන් සෑහෙන්න ණය වෙන්න.

ප්‍රතිඵල මොනවාද?

අධ්‍යාපනය, සල්ලි පස්සේ දුවපු හුඟක් අයට ඉතුරු වෙලා තියෙන්නේ වේදනාව විතරයි

හොඳට ඉගෙනගන්න එකෙන් හුඟක් ප්‍රයෝජන තියෙනවා තමයි. හැබැයි ශිෂ්‍යයන් ඒකෙන් බලාපොරොත්තු වෙන දේ කොයි වෙලෙත් ඒකෙන් ලැබෙන්නේ නැහැ. උදාහරණෙකට සමහරු අවුරුදු ගාණක් තිස්සේ හුඟක් මහන්සි වෙලා, ණය වෙලා හොඳට ඉගෙනගත්තත් බලාපොරොත්තු වුණ විදිහේ රස්සාවක් හොයාගන්න එයාලට පුළුවන් වෙලා නැහැ. “රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංඛ්‍යාව දැන් එන්න එන්නම වැඩි වෙනවා” කියලා සිංගප්පූරුවේ පුවත්පතක සඳහන් වෙනවා. (Business Times) තායිවානයේ ඉන්න ආචාර්ය උපාධියක් ලබලා තියෙන ජියෙන්ජා මෙහෙම කියනවා. “උපාධි අරන් තියෙන හුඟක් අය කරන්නේ ඒකට ගැළපෙන රස්සාවල් නෙමෙයි. අකමැත්තෙන් වුණත් එයාලට ඒක කරන්න වෙලා තියෙනවා.”

අනිත් අතට උපාධියක් තියෙන අයට ගැළපෙන රස්සාවක් ලැබුණත් ඒකෙන් එයාලා බලාපොරොත්තු වුණ දේ ලැබිලා නැහැ. විශ්වවිද්‍යාලයකින් ඉගෙනගන්න තායිලන්තයේ ඉඳලා යුරෝපයට ගිය නිරාන් ඒ වගේ කෙනෙක්. එයා මෙහෙම කියනවා. “මං හිතුවා වගේම උපාධිය නිසා මට හොඳ පඩියක් ලැබෙන ජොබ් එකක් ලැබුණා. ඒත් මට මැරීගෙන වැඩ කරන්න වුණා. කිසි විවේකයක් තිබ්බේ නෑ. කාලයක් යද්දී හුඟක් අයව ජොබ් එකෙන් අස් කළා. ඒකට මාවත් අහු වුණා. එතකොටයි මට තේරුණේ මොන ජොබ් එක කළත් ඒකෙන් අනාගතේ සුරක්ෂිත වෙන්නෑ කියලා.”

හුඟක් පොහොසත් අයට, නියම ජීවිතයක් ගත කරනවා කියලා හිතන් ඉන්න අයට වුණත් පවුල් ප්‍රශ්න, අසනීප තියෙනවා. කොච්චර සල්ලි තිබුණත් එයාලා තාමත් සල්ලි ගැන වධ වෙනවා. ජපානයේ කට්සුටෝෂි මෙහෙම කියනවා. “අත දිග ඇරලා වියදම් කරන්න මට ඕන තරම් සල්ලි තිබුණා. ඒත් හුඟක් අය මට ඊර්ෂ්‍යා කළා. මගේ හිතේ කිසි සතුටක් තිබුණෙත් නෑ.” වියට්නාමයේ ලෑම් කියන කාන්තාව කියන්නේ මෙහෙමයි. “හොඳට සල්ලි හම්බ කරන්, බයක් සැකක් නැතුව ජීවත් වෙන්න කියලා හිතාගෙන හුඟක් අය ලොකු ලොකු ජොබ් පස්සේ යනවා. හැබැයි, අන්තිමේදී වෙන්නේ එයාලගේ මානසික පීඩනය තව වැඩි වෙලා ලෙඩ වෙන එක විතරයි.”

ජීවිතේ සාර්ථක කරගන්න හොඳ අධ්‍යාපනයක් ලබන එක, ගොඩක් සල්ලි තියෙන එක විතරක් මදි කියලා ෆ්‍රැන්ක්ලින් වගේ හුඟක් අය තේරුම් අරන් තියෙනවා. තවත් අය හිතනවා සල්ලි පස්සේ දුවනවා වෙනුවට කාටත් කරදරයක් නැතුව යහපත් ජීවිතයක් ගත කරනවා නම් සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඒත් එහෙම ජීවිතයක් ගත කළා කියලා අනාගතය සුරක්ෂිත වෙයිද? ඒකට උත්තරේ ඊළඟ ලිපියෙන් දැනගන්න.