Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

මුහුදු බෙල්ලාගේ සිත්කලු හැඩතල

මුහුදු බෙල්ලාගේ සිත්කලු හැඩතල

ගැඹුරු මුහුදේ අධික පීඩනයට ඔරොත්තු දෙන්න මුහුදු බෙල්ලාට පුළුවන් වෙලා තියෙන්නේ උගේ කටුව නිසයි. උගේ කටුව හැදිලා තියෙන විදිහත් ඒකේ හැඩයත් යොදාගෙන වඩාත් ආරක්ෂිත වාහන, ගොඩනැඟිලි නිර්මාණය කරන්න ඉංජිනේරුවන් උත්සාහ කරනවා.

මේ ගැන හිතන්න: ඉංජිනේරුවන් දෙපියන් මුහුදු බෙල්ලන්ව සහ ගොළුබෙලි හැඩැති බෙල්ලන්ව අරන් ඒ ගැන පර්යේෂණය කළා.

දෙපියන් මුහුදු බෙල්ලන් මතට ලොකු පීඩනයක් ආවාම ඒක උගේ කටු දෙක සවි වෙන තැනටත් පිටත දාරවලටත් ගලා යනවා. එහෙම වෙන්නේ උගේ කටුවල තියෙන රැළි හැඩැති හැඩතල නිසයි. ගොළුබෙලි හැඩැති බෙල්ලන්ගේ කටුවේ තියෙන සර්පිලාකාර හැඩතල නිසා ඒ පීඩනය කටුවේ පළල්ම තැනටත් මැදටත් ගලා යනවා. ඒ විදිහට උන්ගේ කටුවල තියෙන ශක්තිමත්ම තැන්වලට ඒ පීඩනය ගලාගෙන යනවා. ඒ නිසා කටුව ඇතුළේ ඉන්න බෙල්ලාට හානියක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

පර්යේෂකයන් පිරිසක් පරිගණක ආධාරයෙන් දෙපියන් බෙල්ලෙකුගෙත් ගොළුබෙලි හැඩැති බෙල්ලෙකුගෙත් ත්‍රිමාන රූප දෙකක් හදලා ඒවාට උන්ගේ හැඩතල ඇතුළත් කළා. ඊටපස්සේ මුහුදු බෙල්ලන්ගේ කටුව හැදිලා තියෙන ද්‍රව්‍යම ඇතුළත් කරලා ඒ බෙල්ලන්ගේ හැඩවලට සමානව අර්ධ ගෝලාකාර රූපයකුත් කේතුවක හැඩැති රූපයකුත් හැදුවා. ඒත් ඒවාට කිසිම හැඩතලයක් ඇතුළත් කළේ නැහැ. ඊටපස්සේ ඒ රූපවලට එක හා සමාන පීඩනයක් මුදාහැරියා. ඒකෙන් ඔප්පු වුණේ හැඩතල නැති රූපවලට දරාගන්න පුළුවන් වගේ දෙගුණයක පීඩනයක් හැඩතල තියෙන රූපවලට දරාගන්න පුළුවන් කියලයි.

මේ පර්යේෂණය ගැන එක සඟරාවක මෙහෙම සඳහන් වුණා. “දවසක ඔයාට මුහුදු බෙල්ලෙක්ගේ හැඩයට හදපු කාර් එකක යන්න ලැබෙනවා කියලා හිතන්න. හැමෝගෙම ඇස් ඒ වෙතට ඇඳිලා යයි. උපරිම ආරක්ෂාවකුත් ලැබෙයි.”—Scientific American.

ඔයාගේ නිගමනය මොකක්ද? මුහුදු බෙල්ලාගේ හැඩතල ඌට ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් කවුරු හරි ඒවා නිර්මාණය කළ නිසාද?