Skip to content

පටුනට යන්න

65වෙනි පාඩම

එස්තර් එයාගේ සෙනඟව බේරගත්තා

එස්තර් එයාගේ සෙනඟව බේරගත්තා

එස්තර් හැදුණේ වැඩුණේ පර්සියානු නගරයක් වන ෂූෂන්වල. අවුරුදු ගාණකට කලින් නෙබුකද්නෙෂර් රජ එස්තර්ගේ පවුලේ අයව යෙරුසලමෙන් අරන් ඇවිත් තිබුණා. එස්තර්ව හදාගත්තේ එයාගේ නෑදෑයෙක් වුණු මොර්දෙකයි. එයා අහෂ්වේරොෂ් රජුගේ සේවකයෙක්.

අහෂ්වේරොෂ් රජට අලුත් රැජිනක් ඕන වුණා. ඒ නිසා එයාගේ සේවකයන් ඒ දේශයේ හිටිය ලස්සනම ගැහැනු අයව අරන් ආවා. ඒ අතරේ හිටිය එස්තර්වයි රජ තෝරගත්තේ. මොර්දෙකයි එස්තර්ට කිව්වා එයා යුදෙව්වෙක් කියලා කාටවත්ම කියන්න එපා කියලා.

දේශයේ උසස් නිලධාරීන්ගේ නායකයා වුණු හාමාන් කැමති වුණේ අනිත් අය තමන් ඉස්සරහ වැඳ වැටිලා ආචාර කරනවාටයි. ඒත් මොර්දෙකයි ඒක කළේ නැති නිසා හාමාන්ට ඕනෙ වුණා මොර්දෙකයිව මරන්න. මොර්දෙකයි යුදෙව්වෙක් නිසා දේශයේ හිටපු හැම යුදෙව්වෙක්වම මරන්න එයා කුමන්ත්‍රණය කළා. එයා රජුට කිව්වා ‘යුදෙව්වෝ හරි භයානකයි. එයාලව විනාශ කරන්න’ කියලා. හාමාන්ට කැමති දෙයක් කරන්න රජු අවසර දුන්නම ආදාර් මාසේ 13වෙනිදාට හැම යුදෙව්වෙක්වම මරන්න එයා නීතියක් හැදුවා.

ඒ නීතිය ගැන එස්තර් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මොර්දෙකයි නීතියේ පිටපතක් දීලා එස්තර්ට කිව්වා ‘රජුව හම්බවෙන්න යන්න’ කියලා. එස්තර් මෙහෙම කිව්වා. ‘අවසරයක් නැතුව රජු ළඟට යන අයව මරණවා. දවස් 30කින් රජු මට එන්න කියලා නෑ. ඒත් මං යන්නම්. රජු ඔහුගේ යෂ්ටිය මං දිහාට දික් කළේ නැත්නම් මාව මරයි.’

එස්තර්, රජුව හම්බවෙන්න ගියා. රජ එස්තර්ව දැකලා එයාගේ යෂ්ටිය දික් කරලා ඇහුවා ‘ඔයාට මගෙන් මොනවද ඕනෙ’ කියලා. ‘රජතුමෙනි, මං ලෑස්ති කරලා තියෙන භෝජන සංග්‍රහයට හාමාන් එක්ක එන්න පුළුවන්ද’ කියලා එස්තර් ඇහුවා. සංග්‍රහය අතරතුරේදී එස්තර්, රජුට කිව්වා හෙටත් භෝජන සංග්‍රහයකට එන්න කියලා. දෙවෙනි දවසෙත් රජ එස්තර්ගෙන් ඇහුවා ‘ඔයාට මගෙන් මොනවද ඕනෙ’ කියලා. ‘කෙනෙක් මාවයි මගේ සෙනඟවයි මරන්න යන්නේ. අපිව බේරගන්න’ කියලා එස්තර් කිව්වාම රජ ඇහුවා ‘කවුද ඒ කෙනා’ කියලා. එතකොට එස්තර් කිව්වා ‘මේ හාමාන් තමයි ඒ කෙනා’ කියලා. අහෂ්වේරොෂ් රජට කේන්ති ගිහිල්ලා හාමාන්ව මරන්න අණ කළා.

ඒත් හාමාන් දාපු නීතියට රජ අවසර දුන්නු නිසා ඒක වෙනස් කරන්න රජටවත් බැරි වුණා. ඒ නිසා රජ මොර්දෙකයිව උසස් නිලධාරීන්ගේ නායකයා විදිහට පත් කරලා එයාට කිව්වා අලුත් නීතියක් හදන්න කියලා. යුදෙව්වන්ට එයාලගේ සතුරන් එක්ක සටන් කරන්න පුළුවන් වෙන විදිහට මොර්දෙකයි අලුත් නීතියක් හැදුවා. යුදෙව්වන් ආදාර් මාසේ 13වෙනිදා එයාලගේ සතුරන්ව පරාජය කරලා හැම අවුරුද්දෙම ඒක සැමරුවා.

“මා නිසා ඔබව ආණ්ඩුකාරයන් හා රජුන් ඉදිරියට ඇදගෙන යනු ලබයි. එය ඔවුන්ටත් ජාතීන්ටත් මා ගැන සාක්ෂි දරන්න ඔබට හොඳ අවස්ථාවක්.”—මතෙව් 10:18