Skip to content

පටුනට යන්න

1වෙනි පරිච්ඡේදය

‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’

‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා හා එය අපේ කාලයට අදාළ වන ආකාර

1-6. විවිධ තත්වයන් යටතේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අත් නෑර ශුභාරංචිය දේශනා කරන බවට උදාහරණ දෙන්න.

ඝානාවේ ජීවත් වන රෙබෙකා නම් සාක්ෂිකාර දැරිය පාසැල සලකන්නේ ඇයට සාක්ෂි දැරීමට තිබෙන ප්‍රදේශය ලෙසයි. ඇය බයිබලය මත පදනම් පොත් පත් හා සඟරා නිතරම ඇගේ පාසැල් බෑගයේ තබාගන්නේ ඒ නිසයි. විවේක කාලයේදී සෙසු සිසු සිසුවියන්ට සාක්ෂි දැරීමට අවස්ථාවන් සොයන ඇයට, මේ වන විට බයිබල් පාඩම් කිහිපයක්ම ආරම්භ කිරීමට හැකි වී තිබෙනවා.

2 අප්‍රිකාවේ ගිනිකොන වෙරළබඩ තීරයේ පිහිටි මැඩගස්කරය නමැති දූපතේ ජීවත් වන පුරෝගාමි යුවළක් තද අව් රශ්මිය නොතකා කිලෝමීටර් 25ක් දුරින් පිහිටි පිටිසර ගම්මානයක් වෙතට නිතිපතා පයින් ගමන් කරනවා. බයිබලය ගැන ඉගෙනගැනීමට උනන්දුව දක්වන කිහිපදෙනෙක්ම එම ගම්මානයේ ජීවත් වෙනවා. එම යුවළ එතරම් දුරක් ගෙවාගෙන යන්නේ ඔවුන් සමඟ බයිබල් පාඩම් පැවැත්වීමටයි.

3 පැරගුවේ හා පැරනා නම් ගංගාවන් අවට ජීවත් වූ මිනිසුන්ට ශුභාරංචිය දේශනා කිරීම සඳහා පැරගුවේ රටේ සාක්ෂිකරුවන් හා ස්වේච්ඡාවෙන් සේවය කිරීමට තවත් රටවල් 15කින් පැමිණි සාක්ෂිකරුවන් එකතු වුණා. ඔවුන් එක්ව ටොන් 45ක ධාරිතාවක් ඇති 12දෙනෙකුට ගමන් කළ හැකි බෝට්ටුවක් සෑදුවා. එම බෝට්ටුවේ උපකාරයෙන් කලින් යෑමට නොහැකි වූ ප්‍රදේශවල සිටින මිනිසුන්ට ශුභාරංචිය දේශනා කිරීමට ඒ උද්‍යෝගිමත් පිරිසට හැකි වුණා.

4 ගිම්හාන කාලයේදී ඇලස්කාවේ පවතින උණුසුම් දේශගුණය නිසා සංචාරකයන් බොහෝදෙනෙක් නැව්වලින් ඇලස්කාවට පැමිණෙනවා. විවිධ රටවලට අයත් මිනිසුන්ට දේශනා කිරීම සඳහා තමන්ට ලැබෙන ඒ මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා සාක්ෂිකරුවන්, විවිධ භාෂාවලින් යුත් සඟරා හා පොත් පත් අතැතිව ඔවුන් එන තුරු වරායේ මඟ බලා සිටිනවා. එම රටේ ජීවත් වන සාක්ෂිකරුවන් හුදෙකලා ප්‍රදේශවල ජීවත් වන මිනිසුන්ට ශුභාරංචිය දේශනා කිරීමටත් මහත් වෑයමක් දරනවා. ඔවුන් ගුවන් යානයකින් එම හුදෙකලා ප්‍රදේශවලට ගොස් දේශනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස උලූට්, ඇතුබැස්කන්, චිම්ෂීයන් හා ක්ලින්කෙට් යන ජන පිරිස්වලටත් ශුභාරංචියට සවන් දීමට හැකි වී තිබෙනවා.

5 ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් නම් ප්‍රදේශයේ ජීවත් වන ලැරීට දේශනා කිරීම සඳහා විශේෂ ප්‍රදේශයක් තිබෙනවා. ඒ විශේෂ ප්‍රදේශයට අයත් වන්නේ ඔහු ජීවත් වන සාත්තු නිවාසයයි. අනතුරකින් ආබාධිතව සිටින ලැරී, රෝද පුටුවක් ආධාරයෙන් ගමන් කර එහි සිටින අය සමඟ මහත් උද්‍යෝගයෙන් දේවරාජ්‍යය ගැන කතා කරනවා. ඔහුට තිබෙන බලාපොරොත්තුව එනම් දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී තමන්ට නැවත ඇවිදින්න හැකි වන බව ඔහු මහත් විශ්වාසයකින් යුතුව අන් අය සමඟ බෙදාගන්නවා.—යෙසා. 35:5, 6.

6 මියන්මාරය රටේ සාක්ෂිකාර කණ්ඩායමක් උතුරු මියන්මාරයේ පවත්වන එක්රැස්වීමකට සහභාගි වීම සඳහා මන්ඩලේ නම් ස්ථානයේ සිට දින තුනක් බෝට්ටුවක ගමන් කළා. දේශනා කිරීම සඳහා මහත් උද්‍යෝගයෙන් සිටි ඔවුන්, ගමන අතරතුරේ බෙදා දීම සඳහා සඟරා හා පොත් පත්ද රැගෙන ගියා. ඔවුන් සමඟ බෝට්ටුවේ ගමන් කළ අනික් අයට ඔවුන් ඒවා බෙදා දුන්නා. කුඩා නගරයක් අසල හෝ ගම්මානයක් අසල පිහිටි තොටුපොළක බෝට්ටුව නතර කළ හැම වාරයකදීම ඔවුන් බෝට්ටුවෙන් බැස ඉක්මනින්ම ඒ අවට තිබූ නිවෙස්වලට ගොස් සඟරා, පොත් පත් බෙදා දුන්නා. ඒ සෑම අවස්ථාවකදීම බෝට්ටුවත් අලුත් මඟීන්ගෙන් පිරුණා. ඔවුන්ටත් දේශනා කිරීමට මේ සාක්ෂිකාර කණ්ඩායම අවස්ථාව උදා කරගත්තා.

7. දේශනා කිරීම සඳහා සාක්ෂිකරුවන් යොදාගන්නා ක්‍රම මොනවාද? ඔවුන් සියලුදෙනාට තිබෙන අරමුණ කුමක්ද?

7 යෙහෝවා දෙවිට මහත් උද්‍යෝගයෙන් සේවය කරන ලොව වටා සිටින ඔහුගේ සේවකයන් අන් අයට ‘දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක් ලබා දෙමින් සිටින’ බව එම උදාහරණවලින් පැහැදිලි වෙනවා. (ක්‍රියා 28:23) ඔවුන් ගෙයින් ගෙට ගොස්, වීථිවලට ගොස් හා දුරකථනය මාර්ගයෙන් මිනිසුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරනවා. බස් එකක ගමන් කරන විටත් පයින් ගමන්බිමන් යන විටත් රැකියා කරන ස්ථානයේ විවේක කාලයේදීත් දේවරාජ්‍යය ගැන අන් අයට පැවසීමට ඔවුන් ප්‍රස්තාවන් සොයනවා. ශුභාරංචිය දේශනා කිරීමට විවිධ ක්‍රම භාවිත කළත් ඔවුන් සියලුදෙනාටම තිබෙන්නේ එකම අරමුණයි. එය නම් මිනිසුන් සිටින ඕනෑම තැනකදී ඔවුන්ට ශුභාරංචිය දේශනා කිරීමයි.—මතෙ. 10:11.

8, 9. (අ) ශුභාරංචිය ලොව පුරාම ව්‍යාප්ත වී තිබෙන්නේ ආශ්චර්යවත් අයුරින් කියා පැවසිය හැක්කේ ඇයි? (ආ) මතු වන ප්‍රශ්නය කුමක්ද? ඊට පිළිතුරු සොයාගත හැක්කේ කෙසේද?

8 මේ වන විට ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට රටවල් 235ක සිටින පිරිසක් හවුල් වෙනවා. ඔබත් ඔවුන්ගෙන් කෙනෙක්ද? එසේනම් ලොව පුරාම ශුභාරංචිය ව්‍යාප්ත කිරීමේ කාර්යයට ඔබත් හවුල්කරුවෙක්. ඇත්තෙන්ම ශුභාරංචිය ලොව පුරාම ව්‍යාප්ත වී තිබෙන ආකාරය දෙස බලන විට එය ආශ්චර්යවත් අයුරින් සිදු වී තිබෙනවා කියා පැවසිය හැකියි. විවිධ අභියෝග හා ප්‍රශ්න ගැටලු මැද සමහර අවස්ථාවලදී තහංචි හා දැඩි විරුද්ධවාදිකම් මැද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේවරාජ්‍යය ගැන ඉතා පැහැදිලි සාක්ෂියක් සියලු ජාතීන්ට ලබා දෙමින් සිටිනවා.

9 දැන් මතු වන ප්‍රශ්නය වන්නේ සාතන් විවිධ ප්‍රහාර එල්ල කළත් විවිධ අභියෝග පැමිණියත් ඒ කිසිම දෙයකට දේශනා කිරීමේ කාර්යය නතර කිරීමට නොහැකි වී තිබෙන්නේ ඇයි යන්නයි. ඊට පිළිතුරු සොයාගැනීමට අපි පළමුවෙනි සියවසට යමු. ඇත්තටම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අප කරගෙන යන මෙම කාර්යය ආරම්භ වුණේ ඒ කාලයෙයි.

අපේ කාලය දක්වා දිව එන කාර්යයක්

10. යේසුස් ඔහුගේ මුළු ජීවිතයම කැප කළේ කුමක් සඳහාද? ඔහු ආරම්භ කළ කාර්යය ගැන ඔහු දැන සිටියේ කුමක්ද?

10 මෙම කාර්යය ආරම්භ කළේ ක්‍රිස්තියානි සභාව පිහිටෙවූ යේසුස් විසිනුයි. ඔහු ඔහුගේ මුළු ජීවිතයම දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කිරීම වෙනුවෙන් කැප කළා. ඒ බව ඔහු පැවසූ මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය . . . දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි.” (ලූක් 4:43) තමා ආරම්භ කළ මෙම කාර්යය අනාගතයේදී ඉතා පුළුල් අයුරින් සිදු වන බව යේසුස් හොඳින් දැන සිටියා. ඔහු මිය යෑමට පෙර දින රාත්‍රියේදී දේවරාජ්‍යය ගැන ශුභාරංචිය “සියලු ජාතීන්ට” දේශනා කළ යුතුයි කියා පැවසුවේ ඒ නිසයි. (මාක් 13:10) නමුත් යේසුස්ගේ මරණින් පසු මෙම කාර්යය ඉටු කරන්නේ කවුද? එය කරන්නේ කෙසේද?

‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න.’—මතෙව් 28:19

11. යේසුස් තම ගෝලයන්ට භාර දුන් බැරෑරුම් කාර්යය කුමක්ද? එය ඉටු කිරීමට ඔවුන්ට හැකි වන්නේ කෙසේද?

11 නැවත නැඟිටීමෙන් පසු යේසුස් තම ගෝලයන්ට මෙසේ පැවසුවා. “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න. මෙයද මතක තබාගන්න. මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා.” (මතෙ. 28:19, 20) ඔහු එම බාරදූර කාර්යය තම ගෝලයන්ට භාර දුන් බව ඉන් පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කිරීම හා මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වීමට උපකාර කිරීම ඉතා බැරෑරුම් කාර්යයක්. මන්ද කලින් අවස්ථාවක යේසුස් මෙවැනි දෙයක්ද පවසා තිබුණා. “ඔබ මගේ නාමය දරන නිසා සියලු ජාතීන් ඔබට වෛර කරයි.” (මතෙ. 24:9) නමුත් යේසුස් ඔවුන්ට මෙසේ පොරොන්දු වුණා. “මම . . . ඔබ සමඟ සැමදා සිටිනවා.” ඒ අනුව යේසුස් භාර දුන් කාර්යය සාර්ථකව ඉටු කිරීමට ඔහුගේ පූර්ණ සහයෝගය ඔවුන්ට අනිවාර්යයෙන්ම ලැබෙනවා. එය මොන තරම් දිරිගන්වනසුලු පොරොන්දුවක් වුණාද! තමන්ගේ සහයෝගය පමණක් නොව දෙවිගේ බලයේ උපකාරයත් අනිවාර්යයෙන්ම ඔවුන්ට ලැබෙන බව යේසුස් පැවසුවා. “පොළොවේ දුර ඈත කෙළවර” දක්වා යේසුස් ගැන පැහැදිලි සාක්ෂියක් දරන්න ඔවුන්ට හැකි වන්නේ ඒ නිසයි.—ක්‍රියා 1:8.

12. පිළිතුරු දැනගත යුතු වැදගත් ප්‍රශ්න මොනවාද? ඒවාට පිළිතුරු දැනගැනීම වැදගත් වන්නේ ඇයි?

12 යේසුස් භාර දුන් මෙම කාර්යය ඔහුගේ නියෝජිතයන් හා එවකට සිටි ඔහුගේ ගෝලයන් ඉතා බැරෑරුම් කාර්යයක් ලෙස සැලකුවාද? කුඩා කණ්ඩායමක්ව සිටි ඔවුන්ට ප්‍රබල පීඩා මැද පවා දේවරාජ්‍යය ගැන පැහැදිලි සාක්ෂියක් දැරීමට හැකි වුණාද? මෙම කාර්යය ඉටු කිරීමට යේසුස් පොරොන්දු වූ සහයෝගය හා දෙවිගේ බලයේ උපකාරය ඇත්තටම ඔවුන්ට ලැබුණාද? එම ප්‍රශ්නවලට හා ඒ හා සමාන වෙනත් ප්‍රශ්නවලට පිළිතුරු බයිබලයේ ක්‍රියා පොතෙන් සොයාගත හැකියි. ඇත්තෙන්ම ඒ ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීම ඉතා වැදගත්. මන්ද යේසුස් ආරම්භ කළ මෙම කාර්යය “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම” සිදු වන බව ඔහු පැවසුවා. ඉන් පෙනී යන්නේ මේ සමාජයේ අවසාන කාල පරිච්ඡේදයේ ජීවත් වන සියලුම සැබෑ ක්‍රිස්තියානීන් මෙම කාර්යයට හවුල් වන බවයි. ඒ නිසා ක්‍රියා පොතෙහි තිබෙන තොරතුරු අප සෑම කෙනෙකුටම ඉතා ප්‍රයෝජනවත්.

ක්‍රියා පොතට කෙටි හැඳින්වීමක්

13, 14. (අ) ක්‍රියා පොත ලිව්වේ කවුද? එහි ලේඛකයා තම වාර්තාවට තොරතුරු ලබාගත්තේ කෙසේද? (ආ) ක්‍රියා පොතෙහි ඇතුළත් කර තිබෙන තොරතුරු මොනවාද?

13 ක්‍රියා පොත ලියනු ලැබුවේ කවුරු විසින්ද? එය ලියූ තැනැත්තාගේ නම එහි කෙළින්ම සඳහන් වන්නේ නැහැ. නමුත් එහි ආරම්භක වදන්වලින් ලූක් පොත ලියූ ලේඛකයාම ක්‍රියා පොතත් ලියූ බව පැහැදිලි වෙනවා. (ලූක් 1:1-4; ක්‍රියා 1:1, 2) තොරතුරු හොඳින් සොයා බලා නිවැරදිව වාර්තා කරන්නෙකු ලෙස ප්‍රසිද්ධව සිටි “ප්‍රේමණීය වෛද්‍යවරයා” වන ලූක්, ක්‍රියා පොත ලියූ බව අතීතයේ සිටම පිළිගනු ලැබුවා. (කොලො. 4:14) එම පොතේ අවුරුදු 28ක පමණ කාල පරිච්ඡේදයක් පුරා එනම් ක්‍රිස්තු වර්ෂ 33 යේසුස් ස්වර්ගයට ගිය අවස්ථාවේ සිට ක්‍රි.ව. 61 පාවුල් රෝමයේ සිරභාරයේ සිටි කාලය දක්වා සිදු වූ දේවල් වාර්තා කර තිබෙනවා. ක්‍රියා පොතෙහි සඳහන් වාර්තා කිහිපයකම ‘ඔවුන්’ කියා සඳහන් කරනවා වෙනුවට “අපි” කියා පවසා තිබීමෙන් පැහැදිලි වන්නේ එම දේවල් සිදු වන විට ලූක්ද සිටි බවයි. (ක්‍රියා 16:8-10; 20:5; 27:1) ලූක් දේවල් වාර්තා කිරීමට කලින් ඒවායේ නිවැරදිබව හොඳින් සෝදිසි කර බැලුවා. ඒ නිසා ඔහු වාර්තා කළ සමහරක් තොරතුරු පාවුල්, බානබස්, ෆිලිප් හා ක්‍රියා පොතෙහි සඳහන් අනික් අයගෙන් අසා දැනගන්න ඇති බව නිසැකයි.

14 ක්‍රියා පොතෙහි ඔහු ඇතුළත් කළේ මොන වගේ තොරතුරුද? ඔහු ලියූ ලූක් පොතෙහි යේසුස් කළ කී දේවල් ඇතුළත් කළා. ක්‍රියා පොතෙහි ඔහු සඳහන් කළේ යේසුස්ගේ අනුගාමිකයන් කළ කී දේවලුයි. එසේනම්, “වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය” මිනිසුන් පිරිසක් සිතාගන්නවත් නොහැකි කාර්යයක් ඉටු කළ ආකාරය ගැන එහි සඳහන් වෙනවා කියා පැවසිය හැකියි. (ක්‍රියා 4:13) ක්‍රිස්තියානි සභාව ආරම්භ වූ ආකාරය හා එය ව්‍යාප්ත වූ ආකාරය ගැනත් පළමුවෙනි සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට දේශනා සේවය ගැන තිබූ ආකල්පය හා ඒ සඳහා ඔවුන් යොදාගත් ක්‍රම ගැනත් ක්‍රියා පොතෙන් දැනගත හැකියි. (ක්‍රියා 4:31; 5:42) ශුභාරංචිය පැතිර යෑමට දෙවිගේ බලය ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් එයින් තේරුම්ගත හැකියි. (ක්‍රියා 8:29, 39, 40; 13:1-3; 16:6; 18:24, 25) දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය දෙවිගේ අරමුණට කෙළින්ම සම්බන්ධ වන නිසා ක්‍රියා පොත මගින් දෙවිගේ ශ්‍රේෂ්ඨ අරමුණ කාවද්දනවා. දැඩි විරුද්ධවාදිකම් මැද පවා ශුභාරංචිය පැතිර ගිය ආකාරය ගැනත් එහි සඳහන් වෙනවා.—ක්‍රියා 8:12; 19:8; 28:30, 31.

15. ක්‍රියා පොතෙහි සඳහන් තොරතුරු සෝදිසි කර බැලීම අපට ප්‍රයෝජනවත් වන්නේ ඇයි?

15 ක්‍රියා පොතෙහි සඳහන් වාර්තා සෝදිසි කර බැලීම රසවත් අද්දැකීමක් වන බවට සැකයක් නැහැ. එසේ කිරීමෙන් දෙවි කෙරෙහි අපට ඇති විශ්වාසය තව තවත් ශක්තිමත් වන බව නිසැකයි. යේසුස්ගේ අනුගාමිකයන් පෙන්වූ නිර්භීතකම හා ඔවුන් තුළ තිබූ උද්‍යෝගය අපට මහත් දිරිගැන්වීමක්. ඔවුන් තුළ තිබූ විශ්වාසය ආදර්ශයට ගැනීමට එම වාර්තා අපව පොලඹවනවා. මිනිසුන්ට යේසුස්ගේ “ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියා යේසුස් දුන් පැවරුම සාර්ථකව ඉටු කිරීමට ඒ සෑම දෙයක්ම අපව සූදානම් කරනවා. ඔබ දැන් කියවමින් සිටින මේ පොත පිළියෙල කර තිබෙන්නේ ක්‍රියා පොතෙහි සඳහන් එම තොරතුරු ගැඹුරින් සෝදිසි කර බැලීමට ඔබට උපකාරයක් ලෙසයි.

අපට අත්වැලක්

16. මෙම පොත පිළියෙල කර තිබෙන්නේ කුමන අරමුණු තුන ඇතුවද?

16 මෙම පොත පිළියෙල කර තිබෙන්නේ ප්‍රධාන අරමුණු තුනක් ඇතුවයි. (1) ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය හා මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වීමට උපකාර කිරීමේ කාර්යය ඉටු කිරීම සඳහා දෙවිගේ බලයේ උපකාර අනිවාර්යයෙන්ම ලැබෙනවා යන අපේ විශ්වාසය තව තවත් ශක්තිමත් කිරීමටයි. (2) පළමුවෙනි සියවසේ සිටි යේසුස්ගේ අනුගාමිකයන්ගේ ආදර්ශය මගින් දේශනා සේවය කෙරෙහි අපට තිබෙන උද්‍යෝගය තවත් වැඩි කිරීමටයි. (3) දෙවිගේ සංවිධානය කෙරෙහි අපට තිබෙන අගය හා දේශනා සේවයේ මෙන්ම සභාවේ පෙරමුණ ගෙන ක්‍රියා කරන අයට තිබෙන ගෞරවය තවත් වැඩි කිරීම සඳහායි.

17, 18. මෙම පොතේ තොරතුරු පෙළගස්වා තිබෙන්නේ කෙසේද? පෞද්ගලික අධ්‍යයනයට උපකාරවත් වන්නේ මොන වගේ දේවල්ද?

17 මෙම පොතේ පරිච්ඡේද කොටස් අටකට බෙදා තිබෙන බව ඔබ දකින්න ඇති. ඒ සෑම කොටසකින්ම ක්‍රියා පොතේ පරිච්ඡේද කිහිපයක් ආවරණය කරනවා. නමුත් පදයෙන් පදයට මෙහි සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වෙනුවට ක්‍රියා පොතෙහි සඳහන් යම් සිදුවීම් විස්තර කර ඒවායින් අපට ඉගෙනගත හැකි පාඩම් පැහැදිලි කර දෙනවා. එමෙන්ම ඒවා අපේ ජීවිතයට පෞද්ගලිකව අදාළ කරගත හැකි ආකාර තේරුම්ගැනීමටත් උපකාර කරනවා. සෑම පරිච්ඡේදයකම ආරම්භයේදී පරිච්ඡේදයේ අරමුණ හා සාකච්ඡා කරන ක්‍රියා පොතෙහි කොටස සඳහන් වෙනවා.

18 පෞද්ගලික අධ්‍යයනයට උපකාරවත් වන තවත් දේවල්ද මෙම පොතෙහි ඇතුළත් වෙනවා. මෙහි දක්නට ලැබෙන අලංකාර පින්තූර ක්‍රියා පොතෙහි සඳහන් රසවත් සිදුවීම් සිතින් මවාගැනීමට උපකාරයක්. පරිච්ඡේද බොහොමයකම අමතර තොරතුරු ඇතුළත් කොටු දක්නට තිබෙනවා. ආදර්ශයට ගත යුතු බයිබල් චරිතයක් ගැන විස්තර සමහර කොටුවල ඇතුළත් වන අතර තවත් සමහර කොටුවල ස්ථාන ගැන, සිදුවීම් ගැන, චාරිත්‍ර වාරිත්‍ර ගැන හෝ වෙනත් චරිත ගැන වැඩි විස්තර සඳහන් වෙනවා. කෙටි සටහන් ගැනීම සඳහා පිටුවල පළල් තීරු තිබෙනවා.

ඔබට පවරා තිබෙන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම කල් නොදැමිය යුතු දෙයක් ලෙස සලකන්න

19. කුමන කාරණා සම්බන්ධයෙන් අප අපවම සෝදිසි කර බැලිය යුතුද?

19 අපට අපවම සෝදිසි කර බැලීමට පෙලඹීමක් ඇති කිරීම මෙම පොතේ තවත් විශේෂ ලක්ෂණයක්. අප කොතරම් කාලයක් පුරා යෙහෝවා දෙවිට සේවය කරමින් සිටියත් අපේ ජීවිතයේ මුල් තැන හිමි වී තිබෙන්නේ කුමන දේවලටද කියා විටින් විට සෝදිසි කර බැලීම ඉතා වැදගත්. සේවය සම්බන්ධයෙන් අපට තිබෙන ආකල්පය ගැනත් සෝදිසි කර බැලීම වටිනවා. (2 කොරි. 13:5) ඒ නිසා අප අපෙන්ම මෙවැනි ප්‍රශ්න අසාගැනීම ප්‍රයෝජනවත්. ‘මම සේවයේ හවුල් වන්නේ මහත් උද්‍යෝගයකින්ද? එය කල් නොදමා කළ යුතු කාර්යයක් කියා මට හැඟෙනවාද? (1 කොරි. 7:29-31) මම ශුභාරංචිය දේශනා කරන්නේ මහත් විශ්වාසයකින් යුතුවද? (1 තෙස. 1:5, 6) ශුභාරංචිය දේශනා කිරීමට හා මිනිසුන්ට ගෝලයන් වීමට උපකාර කිරීමට මට කළ හැකි උපරිමය මම කරනවාද?’—කොලො. 3:23.

20, 21. අපට පවරා තිබෙන කාර්යය කල් නොදමා ඉටු කළ යුත්තේ ඇයි? අපේ අධිෂ්ඨානය කුමක්ද?

20 යේසුස් අපට භාර දී තිබෙන්නේ ඉතා බැරෑරුම් කාර්යයක් බව අපි නිතරම මතකයේ තබාගනිමු. ගෙවී යන සෑම දවසක් දවසක් පාසාම එම කාර්යය ඉටු කිරීමේ හදිසිතාවද වැඩි වෙනවා. මේ දුෂ්ට සමාජයේ අවසානය ශීඝ්‍රයෙන් ළඟා වන නිසා බොහෝදෙනෙකුගේ ජීවිත තිබෙන්නේ අනතුරෙයි. තව කීදෙනෙකු අප දේශනා කරන පණිවිඩය පිළිගනීද කියා අප දන්නේ නැහැ. (ක්‍රියා 13:48) නමුත් අවසානය පැමිණීමට කලින් එවැනි අයට උපකාර කිරීම අපේ වගකීමයි.—1 තිමෝ. 4:16.

21 එසේනම් මහත් උද්‍යෝගයෙන් දේශනා සේවයේ හවුල් වූ පළමුවෙනි සියවසේ සිටි අයගේ ආදර්ශය අනුගමනය කිරීම මොන තරම් වැදගත් දෙයක්ද! මෙම පොත හොඳින් අධ්‍යයනය කරන්න. නිර්භීතව හා මහත් උද්‍යෝගයෙන් යුතුව දේශනා සේවයේ හවුල් වීමට එය ඔබට උපකාරයක් වන බව නිසැකයි. ‘දෙවිගේ රාජ්‍යය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂියක් ලබා දීමට’ ඔබ ගෙන තිබෙන අධිෂ්ඨානයද එමගින් තව තවත් ශක්තිමත් වන බවට සැකයක් නැහැ.—ක්‍රියා 28:23.

ක්‍රිස්තියානි සභාවේ ඉතිහාසයේ වැදගත් සිදුවීම්

  1. 33

    යේසුස්ව නැවත නැඟිටුවයි

    මිනිසුන්ව යේසුස්ගේ ගෝලයන් කිරීමේ කාර්යය යේසුස් ගෝලයන්ට පවරයි

    පෙන්තකොස්ත දවසේදී ගෝලයන්ව දෙවිගේ බලයෙන් අභිෂේක කරයි

    ක්‍රිස්තියානි සභාව පිහිටුවයි

  2. 33 පමණ-34

    ස්තේපන්ව මරා දමයි

    ඉතියෝපියානු නිලධාරියාව බව්තීස්ම කරයි

  3. 34දී පමණ

    ටාසස්හි සාවුල් ක්‍රිස්තියානියෙකු වෙයි

  4. 34 පමණ-36

    සාවුල් දමස්කයේ දේශනා කරයි

  5. 36දී පමණ

    ක්‍රිස්තියානියෙකු ලෙස පාවුල් පළමු වරට යෙරුසලමට යයි

    යෙරුසලමේදී පාවුල් පේතෘස්ව හමු වීමට යයි (ගලා. 1:18)

  6. 36

    කොර්නේලියස් ක්‍රිස්තියානියෙකු වෙයි

    වෙනත් ජාතීන් ක්‍රිස්තියානීන් වෙයි

  7. 41දී පමණ

    මතෙව් පොත ලියනු ලබයි

    පාවුල් දර්ශනයක් දකියි (2 කොරි. 12:2)

  8. 44දී පමණ

    සාගතයක් ඇති වන බව අගබස් පවසයි

    යාකොබ්ව (සෙබදීගේ පුත්) මරා දමයි

    පේතෘස්ව සිරගත කරයි, ආශ්චර්යවත් ලෙස ඔහුව නිදහස් කරයි

  9. 44

    පළමුවෙනි හෙරොද් අග්‍රිපාගේ මරණය

  10. 46දී පමණ

    පැවසූ සාගතය පැමිණෙයි

    පාවුල් සහනාධාර යෙරුසලමට රැගෙන එයි

  11. 47 පමණ-48

    පාවුල්ගේ පළමු ගමන

  12. 49දී පමණ

    අන්තියෝකියේදී චර්මච්ඡේදනය පිළිබඳව ප්‍රශ්නයක් මතු වෙයි

    තීරණයක් ගැනීමට යෙරුසලමේදී එක් රැස් වෙයි

    පාවුල් පේතෘස්ව නිවැරදි කරයි (ගලා. 2:11-14)

  13. 49 පමණ-52

    පාවුල්ගේ දෙවෙනි ගමන

    බානබස් හා මාක් සයිප්‍රසයේදී දේශනා කරයි

  14. 49 පමණ-50

    ක්ලෝදියස් යුදෙව්වන්ව රෝමයෙන් පිටමං කරයි

  15. 50දී පමණ

    ලූක් ත්‍රෝවසේදී පාවුල්ට එකතු වෙයි

    පාවුල් මැසිඩෝනියානු මිනිසෙකුව දර්ශනයකින් දකියි

    පාවුල් ෆිලිප්පියට යයි

    ෆිලිප්පි සභාව පිහිටුවයි

    තෙසලෝනික සභාව පිහිටුවයි

    පාවුල් ඇතන්ස් නුවරට යයි

  16. 50 පමණ-52

    පාවුල් කොරින්තියට යයි

    1 තෙසලෝනික පොත ලියනු ලබයි

    ගලාති පොත ලියනු ලබයි

  17. 51දී පමණ

    2 තෙසලෝනික පොත ලියනු ලබයි

  18. 52 පමණ-56

    පාවුල්ගේ තුන්වෙනි ගමන

  19. 52 පමණ-55

    පාවුල් එෆීසයට යයි

  20. 55දී පමණ

    1 කොරින්ති පොත ලියනු ලබයි

    තීතස්ව කොරින්තියට යවයි

    2 කොරින්ති පොත ලියනු ලබයි

  21. 56දී පමණ

    රෝම පොත ලියනු ලබයි

    පාවුල් ත්‍රෝවසේදී යුතිකස්ව නැවත නැඟිටුවයි

    ෆිලිප් සමඟ පාවුල් හා ලූක් සිසේරියේ නතර වෙයි

    පාවුල්ව යෙරුසලමේදී අත්අඩංගුවට ගනියි

  22. 56 පමණ-58

    පාවුල් සිසේරියේ අත්අඩංගුවේ

    ලූක් පොත ලියනු ලබයි

  23. 58දී පමණ

    ෆීලික්ස්ට පසුව ෆෙස්ටස් ආණ්ඩුකාරයා වෙයි

  24. 58

    දෙවෙනි හෙරොද් අග්‍රිපා පාවුල්ට සවන් දෙයි

  25. 59 පමණ-61

    රෝමයේ පාවුල්ව සිරගත කළ පළමු වතාව

  26. 60 පමණ-61

    කොලොස්සි පොත ලියනු ලබයි

    එෆීස පොත ලියනු ලබයි

    ෆිලෙමොන් පොත ලියනු ලබයි

    ෆිලිප්පි පොත ලියනු ලබයි

  27. 60 පමණ-65

    මාක් පොත ලියනු ලබයි

  28. 61දී පමණ

    ක්‍රියා පොත ලියනු ලබයි

    හෙබ්‍රෙව් පොත ලියනු ලබයි

  29. 61 පමණ-64

    1 තිමෝති පොත ලියනු ලබයි

    තීතස්ව ක්‍රීට්හි නතර කරයි (තීත. 1:5)

    තීතස් පොත ලියනු ලබයි

  30. 62ට පෙර

    යාකොබ් පොත ලියනු ලබයි

  31. 62 පමණ-64

    1 පේතෘස් පොත ලියනු ලබයි

  32. 64දී පමණ

    2 පේතෘස් පොත ලියනු ලබයි

  33. 65දී පමණ

    රෝමයේ පාවුල්ව සිරගත කළ දෙවෙනි වතාව

    2 තිමෝති පොත ලියනු ලබයි

    තීතස් දල්මතියාවට යයි (2 තිමෝ. 4:10)

    පාවුල්ව මරා දමයි