Skip to content

නව නිවහනකට ගිය ස්පාඤ්ඤ භාෂා පරිවර්තන කණ්ඩායම

නව නිවහනකට ගිය ස්පාඤ්ඤ භාෂා පරිවර්තන කණ්ඩායම

යේසුස් කිව්වේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය පොළොව පුරාම ඉන්න සියලු ජාතීන්ට දේශනා කරන්න කියලයි. (මතෙව් 24:14) ලෝකයේ වැඩියෙන්ම කතා කරන භාෂාව, චීන භාෂාවයි. දෙවෙනි ස්ථානය ගන්නේ ස්පාඤ්ඤ භාෂාවයි. ස්පාඤ්ඤ භාෂාව කතා කරන අය මිලියන 500ක් විතර ලෝකය පුරාම ඉන්නවා. ඒ නිසා 1909 ඉඳන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් තොරතුරු ඇතුළත් පොත් පත් ස්පාඤ්ඤ භාෂාවෙනුත් පරිවර්තනය කරන්න පටන්ගත්තා. ඔවුන් එහෙම කළේ ලොව පුරා ඉන්න ඒ අයට තමන්ගේ මව් භාෂාවෙන්ම රාජ්‍යය පිළිබඳ පණිවිඩය දැනුම් දෙන්නයි.

ස්පාඤ්ඤ පරිවර්තන කණ්ඩායමේ සේවය කරන විලියම් කියන දේ බලන්න. “ස්පාඤ්ඤ භාෂාව කියන්නේ ජාත්‍යන්තර භාෂාවක්. විවිධ සංස්කෘතිවලට අයත් රටවල් කිහිපයකම ඉන්න අය ස්පාඤ්ඤ භාෂාව කතා කරනවා. අපේ අරමුණ වුණේ ඕනම පසුබිමක, ඕනම අධ්‍යාපන මට්ටමක, ඕනම තරාතිරමක ඉන්න අයගේ හදවතට කාවදින විදිහට අපේ පොත් පත් පරිවර්තනය කරන්නයි.” ඒ අරමුණ ඉටු කරගන්න ආර්ජන්ටිනාව, උරුගුවේ, එක්සත් ජනපදය, එල් සැල්වඩෝර්, කොලොම්බියාව, ග්වාතමාලාව, පෝටෝ රිකෝ, මෙක්සිකෝව, වෙනිසියුලාව සහ ස්පාඤ්ඤය වැනි රටවල්වලින් පැමිණි අය ස්පාඤ්ඤ පරිවර්තන කණ්ඩායමේ සේවය කරනවා.

ආර්ජන්ටිනාවේ, මෙක්සිකෝවේ සහ ස්පාඤ්ඤයේ සිටින පරිවර්තකයන්ගේ උදව් ඇතුව දශක ගණනාවක් යෙහෝවාදෙවිගේ සාක්ෂිකරුවන් ස්පාඤ්ඤ භාෂාවට පොත් පත් පරිවර්තනය කළේ එක්සත් ජනපදයේ සිටයි. නමුත් 1993දී ස්පාඤ්ඤ පරිවර්තන කණ්ඩායම එකම ස්ථානයක සිට පරිවර්තන කටයුතු කිරීම සඳහා පෝටෝ රිකෝවලට ගියා.

2012 මාර්තු මාසයේදී එම පරිවර්තන කණ්ඩායම ස්පාඤ්ඤයේ ශාඛා කාර්යාලයට මාරු කළ යුතුයි කියා තීරණය කළා. එඩ්වඩ් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “අපිට කණ්ඩායමේ අයව වගේම එයාලගේ බඩුමුට්ටු, උපකරණ වගේ දේවලුත් අරන් යන්න වුණා. ඒ විතරක් නෙමෙයි අපේ පරිවර්තනවලට නැතුවම බැරි පුස්තකාලයත් අරන් යන්න වුණා.” ඒ පුස්තකාලයේ ස්පාඤ්ඤ භාෂාවෙන් පරිවර්තනය කළ විවිධ බයිබල් සියයක් ඇතුළුව පොත් පත් 2,500ක් විතර තිබුණා.

ස්පාඤ්ඤයේ බෙතෙල් පවුලේ සාමාජිකයන් විසින් ඔවුන්ව උණුසුම්ව පිළිගත්තා

2013 මැයි මාසයේ ස්පාඤ්ඤ පරිවර්තන කණ්ඩායම තම අලුත් නවාතැන වන බෙතෙල් නිවසට ආවා. බෙතෙල් පවුලේ සාමාජිකයන් ඔවුන් හැම කෙනෙක්වම උණුසුම්ව පිළිගත්තා. හැම දෙයක්ම හොඳින් සැලසුම් කළ නිසා පරිවර්තන වැඩවලට කිසිම බාධාවක් ඇති වුණේ නැහැ. “රාජ්‍යය ගැන පණිවිඩය දැනුම් දීම තමයි හැම දේකටම වඩා වැදගත්ම දේ. අපිට අවශ්‍යය වුණේ පුළුවන් තරම්, ස්පාඤ්ඤ භාෂාව කතා කරන අයට ඒ පණිවිඩය දෙන්නයි” කියලා එඩ්වඩ් තවදුරටත් කිව්වා.