Skip to content

අලුත් විදිහට සාක්ෂි දරන්න වසංගතය බාධාවක් වුණේ නැහැ

අලුත් විදිහට සාක්ෂි දරන්න වසංගතය බාධාවක් වුණේ නැහැ

 කොරෝනා වසංගතය නිසා අපේ සහෝදර සහෝදරියන්ට සිද්ධ වුණා එයාලා දේශනා කරන විදිහ වෙනස් කරන්න. පොදු සේවයයි, ගෙයින් ගෙට සේවයයි දැන් කරන්න බැරි නිසා ලියුම්වලින් සහ ටෙලිෆෝන් එකෙන් සාක්ෂි දරන්න එයාලා පුරුදු වුණා. a එයාලා කරපු දේ ගැන හුඟක් අය හොඳ කිව්වා. යෙහෝවා දෙවියනුත් එයාලට අඩුවක් නැතුව ආශීර්වාද කෙරුවා. (හිතෝපදේශ 16:3, 4) අපි දැන් අද්දැකීම් කීපයක් බලමු. මේ අද්දැකීම් දූපතක ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ.

 වසංගතයට කලින් හෙලන් කියන සාක්ෂිකාරිය විවාහක තරුණ කාන්තාවක් එක්ක කිහිප සැරයක්ම බයිබලය ගැන කතා කෙරුවා. බයිබලේ පාඩම් කරන්න කැමතිද කියලා අහපු එක වතාවකවත් ඒ කාන්තාව කැමැත්තක් පෙන්නුවේ නැහැ. හැබැයි ලොක්ඩවුන් එකකට කලින් දවසේ හෙලන් එයාට බයිබලේකුයි, ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ පොතකුයි දුන්නා. ලොක්ඩවුන් එක අතරතුර හෙලන් ආයෙත් ඇහුවා බයිබලය ඉගෙනගන්න කැමතිද කියලා. හැබැයි පාඩම කරන්න වෙන්නේ ෆෝන් එකෙන් කියලත් කිව්වා. ඒ සැරේ නම් එයා පාඩමක් කරන්න කැමති වුණා. ඉගෙනගත්ත දේවල් ගැන එයාගේ හිත කොච්චර ඇදිලා ගියාද කියනවා නම් එයා හෙලන්ට කිව්වා හැම දවසකම පාඩම කරමු කියලා. වරද්දන්නෙ නැතුව ටෙලිෆෝන් එකෙන් රැස්වීම්වලට හවුල් වෙන්නත් ගත්තා. ඒ විතරක් නෙමෙයි එයා ඉගෙනගන්න දේවල් ජීවිතයට අදාළ කරගන්න ගමන් අනිත් අයට කියන්නත් පටන්ගත්තා.

 තව සාක්ෂිකරුවන් කීපදෙනෙක් එයාලගේ පැත්තේ තියෙන පොලීසියේ නිලධාරීන්ට ලියුම්වලින් සාක්ෂි දැරුවා. ඒ ලියුම්වල පොලීසියෙන් සමාජයට කරන සේවය ගැනත් අගය කරලා තිබුණා. ඒවා කියවලා පොලිස් නිලධාරීන් පුදුම වුණා. එක නිලධාරියෙක් ජෙෆසන් කියන වැඩිමහල්ලාට මෙහෙම කිව්වා. “මං හිතුවේ සාක්ෂිකරුවෝ පොලීසියට කැමති නැහැ කියලනේ.” ඒක වැරදි වැටහීමක් කියලා අපේ වැඩිමහල්ලා ඒ නිලධාරියාට පැහැදිලි කෙරුවා. ඒ ලියුම්වල තිබුණ දේවල් ගැන පොලිස් නිලධාරීන් කොච්චර පැහැදුණාද කියනවා නම් ඒවා පොලිස් ස්ථානයට ඇතුල් වෙන තැන තියෙන බෝඩ් එකේ එල්ලුවා. “මිනිස්සුන්ට අපි ගැන තියෙන වැරදි වැටහීම් අයින් කරගන්න මේ ලියුම් උදව් වෙයි” කියලා තවත් නිලධාරියෙක් කිව්වා.

 එඩ්නා සහ එඩ්නලින් කියන දෙන්නා ස්ථාවර පුරෝගාමීන්. b එයාලට ඉන්ටනෙට් පහසුකම් නැති හින්දා වීඩියෝ කොන්ෆරන්සිං හරහා රැස්වීමට හවුල් වෙන්න බැරි වුණා. ඉතින් එයාලා අල්ලපු ගෙදර කාන්තාවගෙන් ඇහුවා එයාගේ වයිෆයි එක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඒකට යන වියදමත් දෙන්නම් කියලා කිව්වා. ඒ කාන්තාව සල්ලි ගන්නේ නැතුවම වයිෆයි එක පාවිච්චි කරන්න ඉඩ දුන්නා. ඒ දෙන්නා කාන්තාවට රැස්වීමට එන්න කියලා ආරාධනා කෙරුවා. දැන් ඒ කාන්තාවයි, එයාගේ යෞවන පුතෙකුයි, මිනිබිරියෝ දෙන්නෙකුයි බයිබලය පාඩම් කරනවා. දිගටම රැස්වීමුත් එනවා.

 එක සභාවක ඉන්න සහෝදර සහෝදරියෝ කීපදෙනෙක් එකතු වෙලා සති අන්තයේ පවත්වන බයිබල් දේශනයට එන්න කියලා ගෙවල් ළඟ දන්න අඳුනන අයට, වැඩපොළේ ඉන්න අයට ආරාධනා කෙරුවා. ඉලේන් කියන සහෝදරිය වැඩ කෙරුවේ එයාගේ ගෙවල් පැත්තේ තිබුණ ඉස්පිරිතාලෙක. මුලදී එයත් එක්ක වැඩ කරන අයට ආරාධනා කරන්න එයා ටිකක් පස්ස ගැහුවා. මොකද එයා හිතුවා සමහර දොස්තරලාට සාක්ෂිකරුවන් ගැන එච්චර හොඳ හැඟීමක් නැතුව ඇති කියලා. කොහොමවුණත් එයා ලස්සන පොඩි ආරාධනාවක් හදලා ඒක දොස්තරලාට මෙසේජ් කෙරුවා. එයා වැඩියෙන්ම අදිමදි කෙරුවේ ඉස්පිරිතාලේ ඉන්න දොස්තරලා දෙන්නෙක්ට ආරාධනා කරන්න. ඒ දෙන්නා විවාහක යුවළක්. ඒත් ඉලේන් ගොඩක් යාච්ඤා කරලා එයාලටත් ආරාධනාවක් යැව්වා. දොස්තරගේ බිරිඳ මෙහෙම පණිවිඩයක් එව්වා. “එතකොට ඔයා කියන්නේ මටත් ඔයාගේ ආගමට එන්න කියලාද?” එතකොට ඉලේන් කාරුණිකව දැන්නුවා සාක්ෂිකරුවන්ට විතරක් නෙමෙයි, ඕන කෙනෙක්ට රැස්වීමට එන්න පුළුවන් කියලා. ඊළඟ දවසේ ඒ ජෝඩුව කලින්ම රැස්වීමට කනෙක්ට් වෙලා ඉන්නවා දැක්කාම ඉලේන්ට අදහාගන්න බැරි වුණා. ඉලේන් මෙහෙම කියනවා. “රැස්වීම ඉවර වෙන්නත් කලින් දොස්තරගේ බිරිඳ මට මෙසේජ් එකක් එව්වා. ඒකෙ තිබුණේ ‘මේක තමයි මම සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ආපු පළවෙනි වතාව. ඒක නියමෙට තිබුණා. ආපු එක ගැන අපිට හරිම සතුටුයි. ආරාධනා කෙරුවට තැන්ක්යූ’ කියලා.”

ඉලේන්

 ආරාධනා කරපු දොස්තරලා 20දෙනාගෙන් 16දෙනෙක්ම රැස්වීමට කනෙක්ට් වුණ එක ගැන ඉලේන්ට ගොඩක් සතුටුයි. පාවුල් කියපු දෙයක් මතක් කරලා ඉලේන් මෙහෙම කියනවා. “මාත් එක්ක එකට වැඩ කරන අයට ‘දෙවිගේ ශුභාරංචිය ගැන නිර්භීතව කතා කරන්න’ පුළුවන් වුණ එක ගැන මගෙ හිතට දැනෙන්නෙ ලොකු සතුටක්.”—1 තෙසලෝනික 2:2.

 මේ වසංගත කාලය හැමෝටම අමාරු කාලයක්. ඒත් මේ දූපතේ ඉන්න සහෝදර සහෝදරියන් විතරක් නෙමෙයි ලෝකෙ වටේම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් අයට සහනයක් ලබා දෙන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. (ක්‍රියා 20:35) එහෙම කරන එක සතුට දිගටම තියාගන්නත් සිද්ධ වෙන දේවල් දිහා සුබවාදීව බලන්නත් එයාලට උදව් වෙලා තියෙනවා.

a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ සේවය කරන්නේ අනිත් අයගේ තොරතුරුවල රහස්‍යභාවය සම්බන්ධයෙන් රටේ තියෙන නීති කඩ නොවන විදිහටයි.

b පුරෝගාමීන් කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණකාලීන සේවකයන්ටයි.