Skip to content

Albert Wright/iStock via Getty Images

නිර්මාණයක්ද?

මැලී කම්මැලි නොවී හදන කූඩුව

මැලී කම්මැලි නොවී හදන කූඩුව

 මැලී කියන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කුරුලු විශේෂයක්. ඌ උගේ කූඩුව හදන විදිහ හරිම පුදුමයි. ඌට පුළුවන් උගේ කූඩුව සෙල්සියස් අංශක 34ක (93°F) සාමාන්‍ය උෂ්ණත්වයකින් දිගටම තියාගන්න. ඒ උෂ්ණත්වය එහේ මෙහේ වෙනවා නම් වෙන්නේ සෙල්සියස් අංශක 2-3කින් විතරයි. මැලී කුරුල්ලා මේ විදිහට දිවා රෑ දෙකේම එකම උෂ්ණත්වයකින් උගේ කූඩුව තියාගන්නේ කොහොමද?

 හැම සීත ඍතුවකදීම මේ කුරුල්ලා මීටර් තුනක් පළල, මීටරයක් ගැඹුරු වළක් හාරනවා. ඊටපස්සේ ගස්වල කොළ, තණකොළ ඇතුළු වෙනත් දේවල්වලින් මේ වළ පුරවනවා. සීත ඍතුව අවසානයේදී ඌ ඒවා වැස්සට තෙමෙන්න ඉඩ හැරලා ඒවා හොඳට තෙමුණාට පස්සේ ගැහැනු සතාට බිත්තර දාන්න පුළුවන් වෙන්න ඒකේ තවත් වළක් හාරනවා. ඊළඟට ඌ ඒක සම්පූර්ණයෙන්ම වැලිවලින් වහනවා. එහෙම කරද්දී අර පුරවපු කොළ දිරාපත් වෙන්න පටන් අරන් එතන ගොඩක් උණුසුම් වෙනවා. ඒ විදිහට බිත්තර රකින්න ඕන කරන වටපිටාව ඌ සකස් කරගන්නවා.

(1) මැලී කුරුල්ලා බිත්තර දාන තැන. (2) දිරාපත් වෙන කුණු රොඩු. (3) කූඩුව උඩින් තියෙන වැලි තට්ටුව. (4) මැලී කුරුල්ලා කකුලෙන් විශාල වැලි ප්‍රමාණයක් පහුරු ගාලා එහෙට මෙහෙට කරනවා

 ගැහැනු සතා බිත්තරයක් දාන්න ලෑස්ති වුණාම පිරිමි සතා අර පුරවපු වැලි අයින් කරලා බිත්තර දාන වළ පාදලා දෙනවා. බිත්තරේ දාලා ඉවර වුණ ගමන්ම ආයෙත් ඌ වැලිවලින් ඒ වළ වහනවා. මේ විදිහට සැප්තැම්බර් ඉඳන් පෙබරවාරි අතර කාලයේදී ගැහැනු සතා බිත්තර 35ක් විතර දානවා. a

 මැලී කුරුල්ලා සැරින් සැරේ උගේ හොට වැලි අතරට දාලා උෂ්ණත්වය මනිනවා. ඊටපස්සේ කූඩුවේ උෂ්ණත්වය එකම මට්ටමක තියාගන්න ඒ ඒ ඍතුවට අනුව ඌ වැලි අඩු වැඩි කරනවා. ඒක තේරුම්ගන්න මේ උදාහරණ බලන්න.

  •   වසන්ත ඍතුව වෙද්දී කූඩුව ඇතුළේ තියෙන කොළ රොඩු දිරාපත් වෙන නිසා කූඩුවේ උෂ්ණත්වය ගොඩක් ඉහළ යනවා. ඒ නිසා පිරිමි සතා බිත්තර තියෙන හරියට උඩින් තියෙන රත් වෙච්ච වැලි අයින් කරලා ඒ වෙනුවට සීතල වැලි පුරවනවා.

  •   ගිම්හාන ඍතුවේදී රස්නේ හුඟක් වැඩි නිසා බිත්තර හිරු රශ්මියෙන් ආරක්ෂා කරගන්න පිරිමි සතා වැඩිපුර වැලි ඒක උඩින් ගොඩගහනවා. හැබැයි රැයක් ගෙවිලා පහුවදා උදේ වෙද්දී ඒ අවට තියෙන වැලියි, උගේ කූඩුවයි සීතල වෙලයි තියෙන්නේ. ඒ නිසා ඌ පාන්දරින්ම ඇවිල්ලා ඒ වැලි ටික පහුරු ගාලා ඊට උඩින් අලුත් වැලි පුරවනවා.

  •   ශරත් ඍතුව වෙද්දී අර කොළ රොඩු ඔක්කොම දිරාපත් වෙලා ඉවරයි. ඒ නිසා වළ ඇතුළේ උණුසුම අඩු වෙනවා. ඉතින් ඌ වැලි තට්ටුව පුළුවන් තරම් තුනී කරලා හිරු රශ්මියෙන් බිත්තරවලට උණුසුම ලැබෙන්න සලස්වනවා. හැබැයි රෑට ගොඩක් සීතල නිසා දවල් කාලේදී උණුසුම් වුණ වැලිවලින් ඌ ආයෙත් වළ පුරවනවා. ඒ නිසා රාත්‍රී කාලේදීත් බිත්තරවලට ඕන කරන උණුසුම ලැබෙනවා.

 මේ විදිහට මැලී කුරුල්ලා කිසිම කම්මැලිකමක් නැතුව දවසට පැය පහක් විතර වැලිත් එක්ක ඔට්ටු වෙනවා. හැම දවසකම ඌ අයින් කරන සහ පුරවන වැලිවල ප්‍රමාණය කිලෝ 850ක් (රාත්තල් 1,874ක්) විතර වෙනවා. ඌ එහෙම කරන එකෙන් තවත් ප්‍රයෝජනයක් තියෙනවා. ඌ වැලි එහෙට මෙහෙට කරන නිසා ඒ අවට පස හුඟක් බුරුල්. ඒ නිසා බිත්තරවලින් එන පැටවුන්ට වැලි හාරගෙන උඩට එන්නත් හරිම ලේසියි.

 මැලී කුරුල්ලා වැලි පහුරු ගාන විදිහ මේ වීඩියෝ එකෙන් බලන්න

 ඔයාගේ නිගමනය මොකක්ද? මැලී කුරුල්ලාට උගේ කූඩුවේ උෂ්ණත්වය පාලනය කරන්න හැකියාව ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඒක නිර්මාණයක්ද?

a පැටව් බිත්තරවලින් එළියට එන්න සති හතක්, අටක් යන නිසා පිරිමි කුරුල්ලාට මේ විදිහට වළ සකස් කරන වැඩේ අප්‍රියෙල් මාසේ වෙන කල්ම කරන්න වෙනවා.