Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

කොලොස්සි 3:23 - ‘ඔබ කරන කොයි දෙයක් වුවත් මුළු සිතින් කරන්න’

කොලොස්සි 3:23 - ‘ඔබ කරන කොයි දෙයක් වුවත් මුළු සිතින් කරන්න’

 “ඔබ කුමක් කළත් මිනිසුන්ට නොව යෙහෝවා දෙවිට කරන්නා සේ මුළු හදවතින්ම එය කරන්න.”—කොලොස්සි 3:23, ‘නව ලොව පරිවර්තනය.’

 “ඔබ කරන කොයි දෙයක් වුවත්, මනුෂ්‍යයන් උදෙසා නොව, ස්වාමීන් වහන්සේ උදෙසා කරන දෙයක් මෙන් මුළු සිතින් කරන්න.”—කොලොස්සි 3:23, ‘පොදු නව අනුවාදය.’

කොලොස්සි 3:23 අදහස

 ක්‍රිස්තියානියෙක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. මොකද වැඩ කරන එක ගැන එයාට තියෙන ආකල්පය යෙහෝවා දෙවියන්ට එයා කරන නමස්කාරයට කෙලින්ම බලපානවා.

 “ඔබ කුමක් කළත්.” යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන කෙනෙක් මොන දේ කළත් බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවා. ඒ වගේ කෙනෙක් ගෙදරදී, වැඩපොළේදී, ඉස්කෝලේදී විතරක් නෙවෙයි හැම අවස්ථාවකදීම අවංක වෙන්න, කඩිසරව වගේම වගකීමෙන් වැඩ කරන්න මහන්සි වෙනවා.—හිතෝපදේශ 11:13; රෝම 12:11; හෙබ්‍රෙව් 13:18.

 “මුළු හදවතින්ම එය කරන්න.” “මුළු හදවතින්ම” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක යෙදුමේ තේරුම “කෙනෙක් එයාගේ උපරිම වැර යොදලා දෙවියන්ගේ කැමැත්ත කරන්න මුළු ජීවිතේම කැප කරනවා” කියන එක. a

 ඒ වගේ කෙනෙක් එයාට ලැබෙන ඕනම වැඩක්, ඕනම පැවරුමක් වෙනුවෙන් එයාගේ හැකියාවන්, දක්ෂතාවයන් උපරිමෙන්ම පාවිච්චි කරනවා. ඒ වගේම හොඳට හිතලා බලලා, හොඳට අවධානය දීලා ඒක උපරිමයෙන්ම කරනවා. ‘පැරණි අනුවාදයේ’ “මුළු හදවතින්ම” කියන යෙදුම පරිවර්තනය කරලා තියෙන්නේ “සිතෙන්” කියලා.

 “මිනිසුන්ට නොව යෙහෝවා දෙවිට කරන්නා සේ.” ක්‍රිස්තියානියෙක්ට මොන වැඩේ ලැබුණත් එයා ඒක ගොඩක් බැරෑරුම්ව සලකනවා. මොකද එයා දන්නවා එයා ඒ වැඩේ කරන විදිහ දෙවියන් එක්ක එයාට තියෙන බැඳීමට කෙලින්ම බලපානවා කියලා. ඒ වගේ කෙනෙක් එයාගේ රැකියාවේ ස්වාමියාව නැත්තම් වෙන අයව සතුටු කරනවාට වඩා වැඩියෙන්ම හිතන්නේ දෙවියන්ව සතුටු කරන එක ගැන. ඉතින් ඒ විදිහට ක්‍රිස්තියානියෙක් එයාගේ වැඩ පිළිවෙළට සහ වගකීමෙන් ඉටු කරනවා නම්, හරි චේතනාවෙන්, සතුටින් කරනවා නම් එයාට හොඳ නමක් ඇති වෙනවා විතරක් නෙවෙයි එයා නමස්කාර කරන දෙවියන්වත් ගෞරවයට පත් වෙනවා. ක්‍රිස්තියානියෙක් ඒ විදිහට වැඩ කරද්දී ‘දෙවියන්ගේ නාමය කිසි ලෙසකින්වත් දෝෂාරෝපණයට ලක් වන්නේ නැහැ.’—1 තිමෝති 6:1; කොලොස්සි 3:22.

කොලොස්සි 3:23 අවට පද

 පාවුල් කොලොස්සි පොත ලිව්වේ අතීතයේ කොලොස්සි නගරයේ ජීවත් වුණ ක්‍රිස්තියානීන්ට. b පේන විදිහට එයා ඒක ලියලා තියෙන්නේ මුල් වතාවට රෝමයේ හිරගත වෙලා නිදහස් වෙන්න ටික කාලෙකට කලින්. ඒ ක්‍රි.ව. 60-61 අතර කාලේ.

 කොලොස්සි සභාවේ විවිධ පසුබිම්වලට අයිති, විවිධ ප්‍රශ්නවලට මුහුණ දුන්න ක්‍රිස්තියානීන් හිටියා. පාවුල් මේ ලිපියේ දුන්න උපදෙස් දෙවියන්ට එක්සත්ව නමස්කාර කරන්න එයාලට උදව් වුණා. (කොලොස්සි 3:11) ඒ වගේම ආදරය, කරුණාව, දයාව වගේ දෙවියන්ගේ ගුණාංග පෙන්නන එකේ වැදගත්කම ගැනත් පාවුල් මේ ලිපියේ කතා කරලා තියෙනවා. (කොලොස්සි 3:12-14) ඒ විතරක් නෙවෙයි දෙවියන්ට කරන නමස්කාරය අපේ ජීවිතේ හැම කාරණයකටම සම්බන්ධ වෙන විදිහ එයා මේකේ ලස්සනට පැහැදිලි කළා.—කොලොස්සි 3:18–4:1.

 කොලොස්සි පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a 1993 ප්‍රකාශයට පත් කරපු Exegetical Dictionary of the New Testament කියන ශබ්දකෝෂයේ 3වෙනි වෙළුමේ 502වෙනි පිටුව.

b දැන් ඒ ප්‍රදේශය හඳුන්වන්නේ තුර්කිය කියලා.