Skip to content

හැමදාටම ජීවත් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

හැමදාටම ජීවත් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

බයිබලයේ ඒ ගැන කියන දේ

 “දෙවිගේ කැමැත්ත කරන” අයට සදහටම ජීවත් වෙන්න අවස්ථාවක් තියෙනවා කියලා බයිබලේ පොරොන්දු වෙනවා. (1 යොහන් 2:17) එහෙනම් දෙවියන්ගේ කැමැත්ත කියන්නේ මොකක්ද? දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

  •   අපි දෙවියන් ගැනත් දෙවියන්ගේ පුත්‍රයා වන යේසුස් ගැනත් ඉගෙනගන්න ඕනේ. යේසුස් මේ විදිහට දෙවියන්ට යාච්ඤා කළා. “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.” (යොහන් 17:3) අපිව නිර්මාණය කරලා අපිට ජීවිතේ දීපු යෙහෝවා දෙවියන් කැමති අකමැති දේවල් මොනවාද කියලා සඳහන් වෙන්නේ බයිබලයේ. (ක්‍රියා 17:24, 25) ඒ නිසා දෙවියන්වත් යේසුස්වත් ‘දැන හඳුනා ගන්න’ නම් අපි බයිබලය අධ්‍යයනය කරන්න ඕනේ. බයිබලයේ මඟ පෙන්වලා තියෙන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්නත් ඕනේ. a දෙවියන්ගේ පුත්‍රයා වන යේසුස් ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. “සදාකාල ජීවනයට මඟ” මොකක්ද කියලා යේසුස් අපිට කියලා දීලා තියෙනවා.—යොහන් 6:67-69.

  •   අපි යේසුස්ගේ ජීවිත පූජාව මුළු හදින්ම විශ්වාස කරන්න ඕනේ. යේසුස් මේ පොළොවට ආවේ “සේවය කරන්න හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.” (මතෙව් 20:28) ඒ ජීවිත පූජාව නිසා තමයි මේ පොළොවේ හැමදාටම ජීවත් වෙන්න මිනිසුන්ට අවස්ථාව ලැබෙන්නේ. b (ගීතාවලිය 37:29) “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි” කියලා යේසුස් කිව්වා. (යොහන් 3:16) අපි යේසුස්ව විශ්වාස කරනවා නම් ඔහුගේ ඉගැන්වීම්වලටත් දෙවියන්ගේ කැමැත්තටත් එකඟව ජීවත් වෙන්න ඕනේ.—මතෙව් 7:21; යාකොබ් 2:17.

  •   අපි දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඕනේ. අපි දෙවියන්ට ළං වෙලා ඔහුගේ මිතුරන් වෙනවාට දෙවියන් කැමතියි. (යාකොබ් 2:23; 4:8) දෙවියන් කවදාවත් මිය යන්නේ නැහැ. දෙවියන්ගේ පැවැත්ම සදාකාලිකයි. ඒ නිසා තමන්ගේ මිතුරනුත් සදහටම ජීවත් වෙනවාට දෙවියන් කැමතියි. දෙවියන්ට ළං වෙන්න කැමති හැමෝටම දෙවියන් කියන්නේ “ඔබේ සිත් සදහටම ප්‍රාණවත්ව තිබේවා” කියලයි.—ගීතාවලිය 22:26.

හැමදාටම ජීවත් වෙන එක ගැන තියෙන වැරදි මත

 වැරදි මතය: හැමදාටම ජීවත් වෙන්න පුළුවන් විදිහක් මිනිසුන් හොයාගනීවි.

 ඇත්ත මේකයි: වෛද්‍ය විද්‍යාවේ සමහර සොයාගැනීම් නිසා ඉදිරියේදී මිනිසුන්ගේ ආයු කාලය වැඩි කරන්න පුළුවන් වෙයි කියලා කිව්වාට, මිනිසුන්ව හැමදාටම ජීවත් කරවන්න කාටවත් පුළුවන්කමක් නැහැ. ඒක කරන්න පුළුවන් දෙවියන්ට විතරයි. මොකද “ජීවිතයේ උල්පත” දෙවියන් විතරයි. (ගීතාවලිය 36:9) “මරණය සදහටම ගිල දමා” විශ්වාසවන්ත මිනිසුන්ට හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව දෙන්න දෙවියන් පොරොන්දු වෙනවා.—යෙසායා 25:8; 1 යොහන් 2:25.

 වැරදි මතය: සමහර ජාතීන්වලට අයිති අය විතරයි සදාකල් ජීවත් වෙන්න සුදුසුකම් ලබන්නේ.

 ඇත්ත මේකයි: දෙවියන් වෙනස්කම් කරන්නේ නැහැ. “කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.” (ක්‍රියා 10:34, 35) කොයි ජාතියට, සංස්කෘතියට අයිති වුණත් කෙනෙක් දෙවියන්ට කීකරු වෙනවා නම් එයාට හැමදාටම ජීවත් වෙන්න පුළුවන්.

 වැරදි මතය: හැමදාටම ජීවත් වෙන එක නීරස අද්දැකීමක් වෙයි.

 ඇත්ත මේකයි: සදහටම ජීවත් වෙන්න අපිට අවස්ථාව දෙන්නේ අපිට ගොඩක් ආදරේ කරන, අපි සතුටින් ඉන්නවාට කැමති අපේ දෙවියන්. (යාකොබ් 1:17; 1 යොහන් 4:8) අරමුණක් ඇතිව වැඩ කරන්න පුළුවන් නම් අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා දෙවියන් දන්නවා. (දේශනාකාරයා 3:12) ඒ නිසා සදහටම ජීවත් වෙද්දී අපිට සතුටින් කරන්න පුළුවන් අර්ථවත් වැඩ තියෙයි කියලා දෙවියන් පොරොන්දු වෙනවා. ඒ වැඩවලින් අපිට විතරක් නෙමෙයි අපි ආදරේ කරන අයටත් ගොඩක් ප්‍රයෝජන ලැබෙයි.—යෙසායා 65:22, 23.

 ඒ විතරක් නෙමෙයි, මේ පොළොවේ හැමදාටම ජීවත් වෙන අයට දෙවියන් ගැන සහ දෙවියන්ගේ අපූරු නිර්මාණ ගැන අලුත් දේවල් ගොඩක් ඉගෙනගන්නත් පුළුවන් වෙයි. දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඔහු ගැන ඉගෙනගනිමින් සදහටම ජීවත් වීමේ ආසාව ඇතුවයි. ඒත් ‘සැබෑ දෙවි කළ සෑම ක්‍රියාවක්ම තේරුම්ගැනීමට මිනිසා කිසිදා සමත් වන්නේ නැහැ.’ (දේශනාකාරයා 3:10, 11) ඒ නිසා හැමදාම ජීවත් වෙන අයට කවදාවත් ඒ ජීවිතය එපා වෙන්නේ නැහැ.

a බයිබලයේ තියෙන දේවල් දැනගන්න කැමති ඕනෑම කෙනෙකුට ඒ ගැන කියලා දෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමතියි. ඒකට මුදල් අය කරන්නේ නැහැ. ඔයා ඒ ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ කියන වීඩියෝ එක බලන්න.

b‘යේසුස් ගළවයි!’—ඒ කෙසේද?” කියන ලිපිය බලන්න.