Skip to content

වසංගත ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

වසංගත ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 අවසාන කාලයේදී ලෝකේ පුරාම ලෙඩ රෝග සහ වසංගත ඇති වෙනවා කියලා බයිබලේ කලින්ම කියලා තියෙනවා. (ලූක් 21:11) වසංගත ඇති වෙන්නේ දෙවියන් මිනිසුන්ට දඬුවම් කරන නිසා නෙවෙයි. ළඟදීම දේවරාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරද්දී වසංගත ඇතුළුව හැම අසනීපයක්ම සම්පූර්ණයෙන්ම නැති කරනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.

 වසංගත ඇති වෙනවා කියලා බයිබලයේ කලින්ම කියලා තිබුණාද?

 කෝවිඩ්-19, ඒඩ්ස් සහ ස්පාඤ්ඤ උණ වගේ ලෙඩ රෝග නැත්නම් වසංගත ඇති වෙනවා කියලා බයිබලේ කලින්ම නම් වශයෙන් කියලා නැහැ. ඒත් “වසංගත” සහ “මාරාන්තික වසංගත” ඇති වෙනවා කියලා බයිබලේ කලින්ම කියලා තියෙනවා. (ලූක් 21:11; එළිදරව් 6:8) ඒ වසංගත ඇති වෙන එක “අවසාන කාලය” එහෙමත් නැත්නම් “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” හඳුනගන්න තියෙන ලකුණට ඇතුළත් එක දෙයක්.—2 තිමෝති 3:1; මතෙව් 24:3.

 දෙවියන් ලෙඩ රෝගවලින් මිනිසුන්ට දඬුවම් කරලා තියෙනවාද?

 දෙවියන් මිනිසුන්ට ලෙඩ රෝගවලින් දඬුවම් කරපු අවස්ථා කීපයක් ගැන බයිබලේ සඳහන් වෙනවා. උදාහරණයකට දෙවියන් සමහර අයට ලාදුරු රෝගය වැලඳෙන්න සලස්වලා තියෙනවා. (ගණන් කතාව 12:1-16; 2 රාජාවලිය 5:20-27; 2 ලේකම් 26:16-21) කොහොමවුණත් අවස්ථා කිහිපයකදී සිද්ධ වුණු ඒ දේවලින් අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ. ඒ වෙනුවට දෙවියන් ඒ විදිහට දඬුවම් කළේ ඔහුට අකීකරු වුණ අයට විතරයි.

 මේ කාලේ ඇති වෙන වසංගත දෙවියන් දෙන දඬුවමක්ද?

 නැහැ. සමහර අය කියනවා දෙවියන් දඬුවමක් විදිහට මිනිසුන්ට වසංගත සහ අනිත් ලෙඩ රෝග ඇති කරනවා කියලා. ඒත් බයිබලේ තියෙන අදහස්වලට අනුව එයාලා කියන දේ වැරදියි. එහෙම කියන්නේ ඇයි?

 එහෙම කියන්න එක හේතුවක් තමයි අතීතයේ හිටපු දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ට වගේම අද ඉන්න අයටත් ලෙඩ රෝග වැලඳෙන එක. උදාහරණයකට දෙවියන්ට විශ්වාසවන්ත කෙනෙක් වන තිමෝති “නිතරම අසනීප” වුණා කියලා බයිබලේ සඳහන් වෙනවා. (1 තිමෝති 5:23) ඒත් එහෙම වුණේ එයාට දෙවියන්ගේ අනුමැතිය නැති වුණු නිසයි කියලා බයිබලේ කියන්නේ නැහැ. ඒ වගේ අදත් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න සමහර අය වසංගතවලට, ලෙඩ රෝගවලට ගොදුරු වෙලා තියෙනවා. හුඟක් වෙලාවට එහෙම වෙන්නේ එයාලා වැරදි වෙලාවේ වැරදි තැන හිටපු නිසයි.—දේශනාකාරයා 9:11.

 තවත් හේතුවක් තමයි දුෂ්ට අයට දඬුවම් කරන්න දෙවියන් නියම කරලා තියෙන කාලය තවම ඇවිල්ලා නැහැ කියලා බයිබලේ උගන්වන එක. ඒ වෙනුවට අපි ජීවත් වෙන්නේ “ගැලවීම ලබා දෙන දිනයෙයි” කියලා බයිබලේ කියනවා. ඒ කියන්නේ දෙවියන් තමන්ට ළං වෙලා ගැලවීම ලබාගන්න කියලා හැම කෙනෙක්ටම ආරාධනා කරන කාලෙකයි අපි දැන් ජීවත් වෙන්නේ. (2 කොරින්ති 6:2) “රාජ්‍යය පිළිබඳ ශුභාරංචියට” ඇහුම්කන් දෙන්න ලෝකේ පුරාම ඉන්න මිනිසුන්ට අවස්ථාව ලබා දෙන එක දෙවියන් ඒ දේ කරන එක විදිහක්.—මතෙව් 24:14.

 වසංගත නැති කාලයක් කවදා හරි එයිද?

 ඔව්. බයිබලේ කියනවා කිසි කෙනෙක් අසනීප වෙන්නේ නැති කාලයක් ළඟදීම එනවා කියලා. දෙවියන්ගේ රාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරන කාලෙදී දෙවියන් හැම අසනීපයක්ම සුව කරනවා. (යෙසායා 33:24; 35:5, 6) ඔහු මේ පොළොවෙන් දුක, වේදනාව සහ මරණය පවා නැති කරනවා. (එළිදරව් 21:4) ඒ වගේම දෙවියන් මිය ගිය අයට ආපහු ජීවිතය ලබා දීලා ඒ අයට නිරෝගීව මේ පොළොවේ හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙනවා.—ගීතාවලිය 37:29; ක්‍රියා 24:15.

 ලෙඩ රෝග ගැන සඳහන් බයිබල් පද

 මතෙව් 4:23: “යේසුස් සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය ගැන දේශනා කරමින්ද ජනයාට වැලඳී තිබූ සියලු ආකාර රෝග සහ ආබාධ සුව කරමින්ද මුළු ගලීලය පුරාම සංචාරය කළේය.”

 තේරුම: දෙවියන්ගේ රාජ්‍යයෙන් ඉදිරියේදී මේ පොළොව පුරාම ඉන්න මිනිසුන් වෙනුවෙන් කරන්න යන දේවල් යේසුස් කරපු ආශ්චර්යයන්වලින් පැහැදිලි වුණා.

 ලූක් 21:11: “වසංගත . . . ඇති වෙයි.”

 තේරුම: ලෝකේ පුරාම වසංගත ඇති වෙන එක අවසාන කාලය හඳුනගන්න උදව් වෙන ලකුණේ එක කොටසක්.

 එළිදරව් 6:8: “බලන්න! සුදුමැලි අශ්වයෙකු මම දුටුවෙමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාගේ නම මරණයයි. මිනී වළද ඔහු පසුපසින්ම ගියේය. පොළොවෙන් හතරෙන් කොටසක් කෙරෙහි තම අණසක පැතිරවීමට ඔවුන්ට අවසර දෙන ලදි. එසේ කළේ . . . මාරාන්තික වසංගතයෙන් . . . මිනිසුන්ව මරා දැමීමටය.”

 තේරුම: අසරුවන් හතරදෙනා ගැන එළිදරව් පොතේ සඳහන් වෙන අනාවැකියෙන් පැහැදිලි වෙනවා අපේ කාලෙදි වසංගත ඇති වෙනවා කියලා.