Skip to content

කේන්ති ගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

කේන්ති ගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 කේන්තිය පාලනය කරගන්න බැරි එක කේන්ති ගන්න කෙනාටත් එයා අවට ඉන්න අයටත් අනතුරුදායකයි කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 29:22) සමහර අවස්ථාවලදී කේන්ති යන්නේ සාධාරණ හේතුවක් නිසා වෙන්න පුළුවන්. ඒත් දිගින් දිගටම ‘හදිසි කෝපයෙන්’ ක්‍රියා කරන අයට දෙවියන්ගේ අනුමැතිය ලැබෙන්නේ නැහැ. (ගලාති 5:19-21) කේන්තිය පාලනය කරගන්න අපිට උදව් වෙන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා.

 කේන්ති යන එක වරදක්ද?

 නැහැ. සමහර අවස්ථාවලදී කේන්ති යන්නේ සාධාරණ හේතුවක් නිසා වෙන්න පුළුවන්. උදාහරණයකට දෙවියන්ගේ සෙනඟට පීඩා, හිරිහැර කරනවා දෙවියන්ගේ සේවකයෙක් වුණ නෙහෙමියාට ආරංචි වුණා. ඒ වෙලාවේ එයාට “මහත් කෝපයක් ඇති” වුණා කියලා බයිබලේ කියනවා.—නෙහෙමියා 5:6.

 සමහර අවස්ථාවලදී දෙවියන්ටත් කෝපයක් ඇති වෙලා තියෙනවා. උදාහරණයකට අතීතයේ හිටපු ඊශ්‍රායෙල් සෙනඟ, දෙවියන්ට විතරක් සේවය කරනවා කියලා පොරොන්දු වුණා. හැබැයි එයාලා ඒ පොරොන්දුව කඩ කරලා බොරු දෙවිවරුන්ට සේවය කරන්න පටන්ගත්තා. ‘යෙහෝවා දෙවි ඒ ගැන බොහෝ සෙයින් උදහස් වුණා.’ (විනිශ්චයකරුවෝ 2:13, 14) ඒ වුණත් උදහස දෙවියන්ගේ ප්‍රධාන ගුණාංවලින් එකක් නෙමෙයි. දෙවියන්ට කෝපයක් ඇති වෙන්නේ සාධාරණ හේතුවක් නිසා විතරයි. ඒ වගේම ඒක පාලනය කරගන්න දෙවියන්ට පුළුවන්.—නික්මයාම 34:6; යෙසායා 48:9.

 කේන්ති ගන්න එක වැරදි වෙන්නේ කොයි අවස්ථාවේදීද?

 අපිට කේන්තිය පාලනය කරගන්න බැරි නම්, අපි නිකරුණේ කේන්ති ගන්නවා නම් ඒක වැරදියි. පාපය උරුම කරගෙන ඉන්න නිසා ගොඩක් වෙලාවට මිනිස්සු හැසිරෙන්නේ ඒ විදිහට තමයි. උදාහරණයකට:

  •   කායින්ගේ පූජාව දෙවියන් පිළිගත්තේ නැහැ කියලා දැනගත්තාම එයා ’මහත් සේ කෝපයට පත් වුණා.’ ඇති වුණ කේන්තිය පාලනය කරගත්තේ නැති නිසා අන්තිමේදී කායින් එයාගේ සහෝදරයාව මරලා දැම්මා.—උත්පත්ති 4:3-8.

  •   නිනිවය කියන නගරයේ වැසියන්ට දෙවියන් සමාව දුන්නාම යෝනා කියන අනාගතවක්තෘවරයා ’බොහෝ සෙයින් කෝප වුණා.’ ඒ අවස්ථාවේදී යෝනා හිතපු විදිහ නිවැරදි කරන්න දෙවියන් එයාගෙන් මෙහෙම ඇහුවා. “ඔබට කෝප වීමට සාධාරණ හේතුවක් තිබෙනවා කියා ඔබ සිතනවාද?” වැරදි කරපු ඒ සෙනඟ පසුතැවිලි වෙච්ච නිසා එයාලට අනුකම්පා කරන්න ඕනෙ කියන පාඩම දෙවියන් යෝනාට කියලා දුන්නා.—යෝනා 3:10–4:1, 4, 11. a

 “කෝප වීමෙන් මිනිසෙකුට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව කටයුතු කළ නොහැක” කියන කාරණය ඒ උදාහරණවලින් පැහැදිලි වෙනවා.—යාකොබ් 1:20.

 කේන්තිය පාලනය කරගන්නේ කොහොමද?

  •   කේන්තිය පාලනය කරගන්න බැරි නම් අනතුරුදායකයි. හිතේ හයිය තියෙන අය තමයි කේන්තිය භය නැතුව පිට කරන්නේ කියලා සමහරු හිතනවා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. කේන්තිය පාලනය කරගන්න බැහැ කියන්නේ ලොකු දුර්වලකමක්. “මිනිසෙකු තමාවම පාලනය කර නොගන්නේ නම් ඔහු පවුර කඩා බිඳ දැමූ නුවරක් මෙනි.” (හිතෝපදේශ 25:28; 29:11) ඒත් කේන්තිය පාලනය කරන්න අපි පුරුදු වුණොත් අපිට ඇත්තටම ශක්තිමත් පෞරුෂත්වයක් සහ හොඳ වටහාගැනීමේ හැකියාවක් තියෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන් වෙයි. (හිතෝපදේශ 14:29) “ඉක්මනින් කේන්ති නොගන්න තැනැත්තා බලවන්තයෙකුට වඩා ශක්තිමත්” කියලා බයිබලයේ කියලා තියෙන්නේ ඒ නිසයි.—හිතෝපදේශ 16:32.

  •   පස්සේ දුක් වෙනවාට වඩා කේන්තිය පාලනය කරගන්න එක හොඳයි. “කෝප වීමෙන් වළකින්න. උදහස් වීම අත්හරින්න. මන්ද කෝපය නපුරකට මඟ පාදන්නේය” කියලා ගීතාවලිය 37:8 කියනවා. ඒ කියන්නේ, අපිට කේන්ති ගිය වෙලාවක දරුණු දෙයක් කරන්න පෙලඹෙන්න කලින් කේන්තිය නිවාගන්න අපිට පුළුවන්. හැබැයි ඒ තීරණය අපේ අතේ තමයි තියෙන්නේ. එෆීස 4:26 මෙහෙම කියනවා. “ඔබ තුළ කෝපයක් ඇති වුණත් පව් නොකරන්න.”

  •   පුළුවන් නම් කේන්තිය වැඩි වෙන්න කලින් එතැනින් යන්න. “රණ්ඩු දබර ඇති වන්නේ වේල්ලකින් වතුර බිඳී යන්නාක් මෙනි. එහෙයින් රණ්ඩුවක් හටගැනීමට පෙර එතැනින් අහක්ව යන්න” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 17:14) මතභේද ඉක්මනින් විසඳගන්න එක ඥානවන්ත දෙයක්. හැබැයි සමහර අවස්ථාවලදී දේවල් සන්සුන්ව කතා කරන්න පුළුවන් වෙන්නේ දෙන්නා අතර ඇති වෙච්ච කේන්තිය ටිකක් නිවුණාට පස්සෙයි.

  •    ඇත්ත මොකක්ද කියලා හරියට දැනගන්න. හිතෝපදේශ 19:11 කියනවා, “වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි” කියලා. යම් නිගමනයකට එන්න කලින් ඇත්ත මොකක්ද කියලා හරියටම දැනගන්න එක ඥානවන්ත දෙයක්. අදාළ කාරණයේ හැම පැත්තක් ගැනම හොඳට හිතලා අනිත් කෙනා කියන දේට හොඳින් ඇහුම්කන් දුන්නොත් කේන්තියෙන් ඉන්න සාධාරණ හේතුවක් නැහැ කියලා අපිට තේරෙයි.—යාකොබ් 1:19.

  •    සන්සුන්ව ඉන්න දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. දෙවියන්ට යාච්ඤා කරන එක “දෙවි ලබා දෙන . . . කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානය” අද්දකින්න ඔයාට උදව් වෙයි. (ෆිලිප්පි 4:7) අපිට දෙවියන්ගේ බලය ලබාගන්න පුළුවන් ප්‍රධාන විදිවලින් එකක් තමයි යාච්ඤාව. සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම සහ තමාව පාලනය කරගැනීම වගේ ගුණාංග වර්ධනය කරගන්න දෙවියන්ගේ බලය අපිට උදව් වෙනවා.—ලූක් 11:13; ගලාති 5:22, 23.

  •   ඔයා ආශ්‍රය කරන්නේ කොයි වගේ අයද කියලා හොඳට හිතන්න. ගොඩක් වෙලාවට අපි ආශ්‍රය කරන අයගේ ගතිපැවතුම් දන්නෙම නැතුව අපිටත් එනවා. (හිතෝපදේශ 13:20; 1 කොරින්ති 15:33) “ඉක්මනින් කෝප වන තැනැත්තෙකු සමඟ මිත්‍ර නොවන්න. හදිසි කෝපයෙන් ක්‍රියා කරන්නෙකු සමඟ ඇසුරු නොකරන්න.” ඇයි එහෙම කියන්නේ? “ඔහුව ඇසුරු කළොත් ඔබ ඔහුගේ මාර්ගවලට හුරු වී උගුලකට හසු වනු ඇත” කියලා බයිබලයේ අනතුරු අඟවලා තියෙනවා.—හිතෝපදේශ 22:24, 25.

a යෝනා දෙවියන් කියපු දේ පිළි අරන් කේන්තිය නිවාගත්තා කියලා හිතන්න පුළුවන්. මොකද බයිබලයට ඇතුළත් පොතක් ලියන්න දෙවියන් යෝනාව පාවිච්චි කළා.